විවාහයට පෙර පොරොන්දම් බලන්න

840

විවාහයක් ඇතිවන්නෙ පොරොන්දම් පරීක්‍ෂාවකින්ම නොවේ. සංසාරයේ පතාගෙන ආ විදියටත් විවාහ සිදු වෙනවා. ඛේමා, උත්පලවන්නා, පටාචාරාලාගේ විවාහයන් අයහපත් වුණාට ඉතාමත් යහපත්ශ්‍රීයෙන් සිදුවූ ඒවා. පතාගෙන ආ විවාහයක් තමයි යසෝදරා – සිද්ධාර්ථ. ඒ වගේ විවාහ ඉතා දුර්ලභයි. මේ එකකටවත් පොරොන්දම් බැලුවේ නැහැ. විවාහය නිසා මැරුම්කාපු අයත් නොසිටියා නොවේ. පොරොන්දම් පරීක්‍ෂාවක් කරන්නෙ සුදුසු ගැළපීමක් බොහෝදුරට සොයාගන්න. පොරොන්දමක් සියයට සියයක් ගැළපුනත් අතරමගදී කැඩුනු විවාහ ගැන අහල ඇතිනේ. විවාහයක් පොරොන්දමකින් තීරණය කළ හැකි ද? ඔන්න ඔබට ප්‍රශ්නයක් මතුවුණා. බැහැ, කොහෙත්ම බැහැ. විවාහයක් නිවැරදිව හරියන්න පොරොන්දම් පරීක්‍ෂාවට එහා ගිය කරුණුත් තිබෙනවා. පොරොන්දම් පරීක්‍ෂාවට ලක්වන්නෙ ලග්නෙන් – චන්ද්‍රයාගෙන් හා සිකුරුගෙන් 1-2-7-8 රාශි විතරයි. කිසියම් ජන්ම පත්‍රයක 6-8-12 දුර්වල වුනොත් ඉවරයිනේ.

ඒ නිසා ඒ රාශි ගැනත්, ඒ ඒ රාශිවල අයිතිකාරයෝ ගැනත් බලන්න ඕනෑනේ. හොඳයි පොරොන්දම් ගැළපුනා කියමුකෝ. පිරිමියාගේ කේන්දරයේ රාහු, සෙනසුරු 9-10 රාශිවල නීච හතුරු වුනොත් බිරිඳගේ මුදල් වලිනුත්, ඇයගේ මඟුල් මුද්දත් උකස් තියලා මත්පැන් බොන කෙනෙක් ස්වාමියා කරගන්න වේවි. මත්පැන් බොනව නොවේ මත්පැන් නාන කෙනෙක් වෙනවා. ස්ත්‍රියගේ කේන්දරයේ 7 වැන්නහි කුජ, ශනි ඉඳලා හත්වැන්නාධිපති ඉන් එකෙකුගේ රාශියේ වුනොත් රටේ ප්‍රසිද්ධ නරක ගැහැනියක් වෙනවා. ඔබ පුත්‍රයෝ ගැන බලන්නෙ පුත්‍ර ස්ථානයෙන් විතරයිනේ. පුත්‍ර ස්ථානය සුබ වෙලා කාම ත්‍රිකෝණය 3-7-11 දුර්වල නම් දරු සම්පත් ඉතා දුර්වල වනවානේ. එතකොට පොරොන්දම වැඩක් තිබෙනවද? පොරොන්දම කිව්වේ මූලික පරීක්‍ෂණයක් විතරයි. පොරොන්දම් බලනකොට ඔබ හිතනවට වඩා දුරට බලන්න ඕනෑ. ග්‍රහ පොරොන්දම් – දස පොරොන්දම් – විසි පොරොන්දම් – නාඩි කුඨය විතරක් බලල මදි. ජන්මයෙන් ලැබුණු ග්‍රහ බලපෑම් බලන්නත් ඕනෑ.

ලංකාවේ ජ්‍යොතිෂය කරන මා සමගම සම්මාන ගත් ප්‍රසිද්ධ මහත්මයෙක්, එක්තරා පොරොන්දමක් එයත් පරීක්‍ෂා කරල වැඩි හොඳට මා වෙතට එව්වා. මමත් පරීක්‍ෂා කරල කිව්වා පතාගෙන ආ කේන්දරයක්. ධර්ම – කර්ම ස්ථාන හොඳයි. විවාහයට සුදුසුයි කියලා. ඒ අයත් සතුටු වෙලා ගියා. අනිත් පාර්ශ්වයටත් පරීක්‍ෂා කරන්න ඕන නිසා ඒ අයගේ කෙනකුටත් පරීක්‍ෂා කර බලන්න දීල තිබෙනවා. ඒක පරීක්‍ෂා කළ ජ්‍යොතිර්වේදියා කියලා තිබෙනවා විවාහක ස්ථානයේ පාපි දෙකක් තිබෙනවා, ඒ නිසා විවාහය කරන්න සුදුසු නැහැ කියලා. කොහොම හරි විවාහය කළේ නැහැ. යෝජිත මහත්මයා කලකිරිලා පිටරට ගියා. කලකට පස්සේ අර උදවිය වෙනත් කරුණකට මා හමුවන්න ආවා. මම නිකමට වගේ ඇහැව්වා, කොහොමද අලුත් ජෝඩුව කියලා. එතකොට සිදුවූ සියල්ල මට කිව්වා. ඒ පාර්ශවය පැත්තෙන් පරීක්‍ෂා කළ අයට මම දුරකථනයෙන් කතා කළා, ඔවුන්ගේ අවසරය ඇතිව, ඔවුන් ඉදිරියේම. එතකොට ඔහු කිව්වා විවාහක ස්ථානයේ පාපි ඉන්න නිසා එපා කිව්වා කියලා. මා ගැන ඔහුට හඳුන්වා දීලා මම ඇහැව්වා දෝෂ භංග වන අයුරු දන්නවද කියලා. ඔහු නැහැ කිව්වා. මම ඒවා පැහැදිලි කලා. ඊට පසු සිදුවූ වරදට ඔහු මගෙන් සමාව ඉල්ලුවා. දැන් ඔහු සමාව ඉල්ලලා වැඩක් නැහැ. සිදුවීම් සිදුවෙලා ඉවරයි. එතකොට ප්‍රමාද වැඩියි. ඒක නිසා පිං අයිති වේවි පොරොන්දම් නිවැරදි පරීක්‍ෂාව දන්නෙ නැතිනම් දැනීම මදිනම්, පොරොන්දම් පරීක්‍ෂාව කරන්න එපා. වැරදුනොත් ප්‍රතිඵලය ලැබෙනකොට ලැබෙන්න හිටපු සුරංගනාවිය නොලැබී ගිහින් යකින්නක් ලැබේවි.

අපි පොරොන්දමක් බලන්න ඕනෑ විවාහයක් සිදුවන අයුරු හිතේ තබාගෙන. වැරදි පැත්ත විතරක් බලන්ට එපා. හොඳටම හොඳ මොනම කේන්දරයක්වත් මේ රටේ නැහැ. විවාහයක් වන මේ දෙදෙනාගේ මූල – ධාතු – හැඟීම්, සම-විශම තත්ත්වයන් පරීක්‍ෂාව තමයි පොරොන්දම් පරීක්‍ෂාව කියන්නේ. පොරොන්දම් කියල කිව්වේ දෙමළ භාෂාවෙන්. සංස්කෘතියෙන් කියන්නෙ නාඩි කුඨය – ලිංග කුඨය කියලා. පුරාණ ශාස්ත්‍ර ක්‍රමය අනුව විවාහ ක්‍රම 8 ක් තිබෙනවා. මනුෂ්‍ය, බ්‍රහ්ම, දේව, අසුර, ප්‍රජාපති, ගාන්ධර්ව, රාක්‍ෂ, ප්‍රේත කියලා. පොරොන්දම් සමසමව තිබුණත් දෙදෙනාගේ අන්‍යොන්‍ය වැටහීම තිබෙනව නම් විවාහක දිවිය සාර්ථක කරගත් අය නැතුව නොවේ. කේන්දර දෙකක් විනාඩි 10 ක් තුළ බලලා හොඳ නරක තීරණය කරන්න අමාරුයි.

පොරොන්දමට අවශ්‍ය කරුණු පරීක්‍ෂා කරල ඊට අමතරව අරිටු යෝග – දරු සම්පත් අහිමි යෝග – ස්ත්‍රී පුරුෂ රෝග වගේ විස්තර ගැනත් බලන්න, පරීක්‍ෂා කරන්න ඕනෑ. “කණකොක් සුද පෙනෙන්න ගන්නේ ඉගිලී යන විටලු” කිව්වා වගේ දෙදෙනාගේ දුර්වලකං පෙනෙන්න ගන්නේ විවාහයෙන් පසු ටික දිනකට පස්සේ. ඊට ඉස්සෙල්ලා ඒ විවාහපේක්‍ෂක දෙදෙනාගේ දුර්වලකං ප්‍රයෝගිකව දැනගන්න අමාරුයි. ඕන කෙනෙක් විවාහයට ප්‍රථම සිල්ගත්ත අය වගෙයි හැසිරීම. නවගුණවැල විතරයි නැත්තේ. විවාහයෙන් ටික දිනකට පසුව තමයි නාට්‍ය රඟදක්වන්නේ. එනිසා ඒවා ගැන විවාහයට කලින් හොද පරීක්‍ෂාවෙන් බලන්න ඕනෑ. මේ දෙපාර්ශ්වයටමයි කියන්නේ. පසුව කලකිරෙන්න එපා.

ගොඩක් ජොතිර්වේදීන් ඉන්නවා පොරොන්දම් ගැළපීමේදී නැකැත් පොරොන්දම විපත හෝ වඳ නම් ඒ කේන්දර පරීක්‍ෂා කරන්නෙ නැහැ. තවත් අය ඉන්නවා සරාගි යෝග – නටාංශක යෝග – කඩහංදිය තිබෙනවා නම් ඒවා බලන්නෙත් නැහැ. එහෙම කරන්න එපා. ඒවාට පිළියම් තිබෙනවා. ඒ පිළියම් නොදන්න නිසයි එහෙම කේන්දර ප්‍රතික්‍ෂේප කරන්නේ. මේ රටේ හිටි ප්‍රසිද්ධ අය එහෙම කළා. පසුව හදාගත්තා. එකකටවත් නොගැළපෙන කේන්දර මෙලොව උපදින්නෙ නැහැ. සමහර කේන්දර ගැළපුනත් ශරීරවල තිබෙන දොස් නිසා විවාහ වුනත් කරදර ඇති වනවා. බොහෝ අය කියන එකක් තමයි කේමදෘම යෝගය තිබුනොත් හිඟාකනවා කියන එක. ඒ කිව්වේ කේන්දරයක චන්ද්‍රයා දෙපස කිසිදු ග්‍රහයකු නොමැතිවීමයි. පංච මහා පුරුෂ යෝගයක ඉපදුනත් ඉතිරි ග්‍රහයෝ නරක නම් ජීවිතයේ ඉදිරි කාලය අයහපත් වනවා. බොහෝ අය 7 වැන්න අඟහරුවා (කුජ) හා සෙනසුරා (ශනි) හිටි පලියට පාපි කේන්දර කියල අයින් කරනවා. එතකොට ඒ අය විවාහ වෙන්නෙ නැද්ද? කොතැනක හරි ග්‍රහයකු හොඳින් ඉන්නවා නම් යහපත ඇතිකරනවා. ඒ ග්‍රහයාම නරක තැනක නරකට ඉන්නවා නම් අයහපත ඇති කරනවා. මූලිකව දැනගත යුත්තේ එච්චරයි. ඔය නාමික වශයෙන් පාපි කිව්වේ කුජ හා ශනි විතරක් නොවේ. ඇයි රවි – අව සඳු – රාහු – කේතු මේවත් පාපි ග්‍රහයෝ තමයි. කුජ හා ශනි 7 වැන්නෙ පිහිටි පලියටම පාපි වන්නෙ නැහැ. එහෙම පිහිටලා පාපි වුනොත් විතරයි පාපි වන්නේ. එහෙම හිටියත් දීප්තිමත් චන්ද්‍රයා – බ්‍රහස්පති දකිනවා නම් ඒ දෝෂය භංග වනවා. දෝෂ භංග වලින් එකක් තමයි ඔය. මේ න්‍යායන් ඉගෙන ගන්නෙ නැතුව නිකං ග්‍රහයෝ හිටි පලියට එක එක නම් දමන එක වැරදියි. තවත් බොහෝ අය කරන එකක් තමයි කාලසර්ප යෝගය පිහිටියොත් ඒ කේන්දර ගන්න එපා කියනවා. මොකද කියල ඇහැව්වාම කාලසර්ප යෝගය පිහිටලාලු. මොකද්ද මේ කාලසර්ප යෝගය කියන්නෙ කියල ඇහැව්වාම උඩ බිම බලනවා. ඕනෑම කේන්දරයක කාලසර්ප යෝගය 12 ආකාරයට පිහිටනවා. ඉන් එක පිහිටීමක් තමයි 3 වැනි රාශියෙන් පටන් අරන් 9 වැනි රාශියෙනුත්, 5 වැනි රාශියෙන් පටන් අරන් 11 වැනි රාහියෙනුත් ඉවර කරන දෙක හැරෙන්ට ඉතිරිවා බලවත් නැහැ. සමහර අය ගොඩක් ආඩම්බර වෙනවා තම පුතුට හෝ දුවට පංච මහා පුරුෂ යෝගයක් පිහිටියාම. ඒක අඥාන කමක්. ගුරු හංස යෝගය පිහිටියාම මාලවි යෝගයේ ඵල ලැබෙන්නෙ නැහැ. අනිත් යෝගත් එහෙමයි. යහපත් ග්‍රහ පිහිටීම් හොඳ ලබාදෙනවා වගේම තමයි නරක ග්‍රහ පිහිටීම් නරක ප්‍රතිඵල ලබාදෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපෙන් වෙන්වූ ලලිත් ඇතුලත්මුදලි මහත්මයා, ශශ යෝගයෙන් උපන් කෙනෙක්. ඒ කේන්දරයේ 7 වැන්නේ සෙනසුරු බලවත්ව ඉන්නවා. ඒ කිව්වේ කුම්භයේ. හොඳට ඉගෙන ගත්තා. බැරිස්ටර් වුණා. නමුත් හදිසියේම අනුන්ට ගහපු බෝම්බයකින් මරණයට පත්වුණා. ශශ යෝගයෙන් සුභඵල ලැබුණත් 11 වැන්නෙ හතුරු අඟහරුවා හා නීච කේතා නිසා ඒකත් පල දුන්නා කෝ ඉතින් පංච මහා ගෝගය කියලා බේරුණා ද? මේවා ගැන හොඳට හිතන්න ඕනෑ. ජ්‍යොතිෂය කිව්වේ මැණික් ගලක් වගේ. හැම පැත්තටම හරව හරවා බලන්නට ඕනෑ. කවුරුහරි නිවැරදිව පොරොන්දමක් පරීක්‍ෂා කළොත් හැංගුණ ප්‍රශ්න මතුවනවා. එහෙම වන්නෙ නියම කරුණු අවබෝධ වුණාමයි.

පොරොන්දම් බැලීමේදී චන්ද්‍රයා ඉතා වැදගත්. කරුණු හෙළි කරනවා. චන්ද්‍රයා කිව්වේ සතුටේ අධිපතියා. හරියට පවුලක අම්මා වගේ. හැබැයි පුර චන්ද්‍රයා වන්ට ඕනෑ. අව චන්ද්‍රයා වුනොත් කෲර නැන්දම්මා වගේ තමයි. මේවා පැහැදිලිව අවබෝධ කරගන්න ඕනෑ. මම ඒකයි කිව්වේ පොරොන්දම්වල කරුණු දැනීම, අභ්‍යාස, න්‍යායයන් හරියටම දන්නෙ නැත්නම් දෙවරක් හිතන්න කියලා. මේ ලෝකෙ හැම දෙයක්ම අපි දන්නෙ නැහැ. දන්න ටික නිවැරදිව වන්න ඕනෑ. මම යමක් දන්නෙ නැත්නම් දන්නෙ නැහැ කියලා පසුව ඒක ඉගෙන ගන්නවා. ඒකට ලජ්ජා විය යුතු නැහැ.

ජ්‍යොතිර්වේදීන් කරන තවත් වැරැද්දක් තමයි ජන්ම පත්‍රයේ 1-4-7-10 යන රාශිවල ග්‍රහයෝ නැත්නම් කේන්දරය පාළුයි කියනවා. ඒ කේන්දර සුදුසු මහණ කරන්නලු. නමුත් ඒක මහණ යෝගයකුත් නොවෙයිලු. යෝග නැත්නම් මහණ වන්නෙ කොහොමද? අපේ බුදුවරයන් වහන්සේගේ හතර කේන්දරය පාළු ද? මේ ප්‍රශ්නයට එකම පිළිතුර තමයි නවාංශකය ටිකක් දුරට අවබෝධ කරගන්න එක. රාශියක ග්‍රහයෙක් පිහිටි විට ඒ ග්‍රහයා කොතැනද ඉන්නෙ කියලා කියන්නෙ නවාංශකයෙන් විතරයි.

නවාංශකයෙන් ගුණ ගැන කියනවා නම් ලග්නෙට වඩා සූක්‍ෂ්මයි. ඒක ඉගෙනගන්නෙ නැතිව, බොත්තම් මිරික මිරිකා බොරු කියනවා. නිවැරදි නවාංශකය හදාගන්නකොට බොහෝදුරට ලග්නෙ පවා වෙනස් වෙනවා. ග්‍රහයෝ විතරක් නොවේ. ඒක පරිගණකයෙන් සිදුවන්නෙ නැහැ. මොකද පරිගණකයේ තිබෙන්නේ අපි ඇතුළත් කළ දත්ත විතරයි. නිවැරදි ජන්ම පත්‍රයක් හදාගන්න බැහැ පරිගණකයෙන්. ඒකෙන් වෙලාව සුද්ධ කිරීමක් සිදුවන්නෙ නැහැ. අද ගොඩක්ම ඉන්නෙ බොත්තම් මිරිකා ගුනාගුණ කියන අයනේ. ඒවා පුරුදු වුණ අයට වඩා පුරුදු කළ අයටයි දොස් කියන්න ඕනෑ.

“දසයද – තුන්වනු ඉරුසඳු ශනි දකිති – සෙනසුරු අටවනු කුජ බුධ දකිති – නවයද ගුරු කිවි පස්වනු දකිති – සත්වනු පස්වනු මේ හැම දකිති” මේ තමයි ග්‍රහ දෘශයි – මේවා කොම්පියුටර වල නැහැ. මේ කවිය බලන ඕනෑම කෙනෙක් කේන්දරයක දෝෂ තිබුණට බොරු භය ගන්න එපා. ඒවා නිදොස් කරන්ට ශාන්තිකර්ම තිබෙනවා.

මම නැවත නැවතත් කියන්නෙ මොන දෝෂ තිබුණත් ඒවා මගහරවා ගන්ට අපේ ගුප්ත ශාස්ත්‍රය පොහොසත්, හැබැයි දක්‍ෂයා තෝරාගන්ට ඕනෑ. පොරොන්දම්වලදී ලිංග පොරොන්දම – යෝනි පොරොන්දම – වෘක්‍ෂ පොරොන්දම හා සුභ චන්ද්‍රයා යහපත් නම් මූලික ලක්‍ෂණ නිවැරදියි. ඔබ ලකුණු මට්ටමට වඩා මේවා ගැන බලන්න. මේ කරුණු යහපත් නම් ලකුණු මට්ටම ටිකක් අඩු වුණාට කමක් නැහැ. මේ දරුවො ගැන කියන ප්‍රශ්න දුර්වල නම් ඒ විවාහය තෝරා ගත්තොත් විවාහ වෙලා අවුරුදු 2 හෝ 3 කින් දෙන්නාගෙන් කෙනෙක් දබර කරගෙන ගෙදර ඒවි. පොරොන්දම් බැලීමේදී මේවා ගැන ඉතා මනා අවබෝධයක් ගන්න.

විවාහයට පෙර පොරොන්දම් බලන්න

පාරම්පරික ජ්‍යොතිෂවේදී/ ගුප්ත විද්‍යාදර
මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න
දු.ක.-0779870007, 0722174553.

advertistmentadvertistment
advertistmentadvertistment