වෛද්‍ය පීඨ අවුල් ලිහන්න GMOA පූර්ණ සහාය

49

අටවැදෑරුම් කොන්දේසිත් දෙයි

රාජ්‍ය වෛද්‍ය පීඨවල මතුව ඇති අර්බුදකාරී තත්ත්වයන් සඳහා වෛද්‍ය සභාවේ මගපෙන්වීම මත ප්‍රායෝගික හා නිත්‍යානුකූල විසඳුම් ලබාදීමේ ක්‍රියාවලියට සිය සංගමය පූර්ණ සහයෝගය ලබාදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙරට වෛද්‍ය අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගුණාත්මකභාවය හා ප්‍රමිතිය රැකගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වන බවත්, ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා පුහුණුව සහ අත්දැකීම් පිරි මහාචාර්යවරුන්, ආචාර්ය මණ්ඩල, සායනික පුහුණුව සඳහා සුදුසු ශික්‍ෂණ රෝහල් සහ උපාධියෙන් පසු අනිවාර්ය සීමාවාසික පුහුණුව සඳහා ගැළපෙන පහසුකම් සහිත රෝහල් පද්ධතියක් ඇතිකරළීම සිය සංගමය හඳුනාගත් ප්‍රධාන සාධක බවත් එම සංගමය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර තිබේ.

රාජ්‍ය නොවන වෛද්‍ය පීඨ ආරම්භ කිරීමේදී සහ වෛද්‍ය අධ්‍යාපන ක්‍ෂේත්‍රය පුළුල් කිරීමේදී ගුණාත්මක වෛද්‍යවරුන් රටට බිහිකිරීමේ ක්‍රියාවලිය තහවුරු කිරීමට ‘අට වැදෑරුම්’ කොන්දේසි පත්‍රයක් ඉදිරිපත් කර ඇතැයි ද එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

මෙරට වෛද්‍ය අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ මේ වනවිට මතුවෙමින් පවතින බැරෑරුම් ප්‍රවණතා පිළිබඳව සිය සංගමය නිරන්තර අවධානයෙන් පසුවන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර සිටී.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment