වෛද්‍ය සැපයුම් අධ්‍යක්‍ෂ කපිල ප්‍රධාන සිද්ධි වූ 2022 දී තනතුරු දරා නෑ – ඇප ඉල්ලමින් නීතිඥයා උසාවියට කියයි

605

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා කරමින් සිය සේවාදායකයාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇතත් එයට අදාළ සියලුම ප්‍රධාන සිද්ධීන් සිදුවී ඇති 2022 වසරේ දී ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෝ වෛද්‍ය සැපයුම් අංශයේ කිසිදු තනතුරක් දරා නොමැති බවත් එම වසරේ ඔහු විදේශයක රැකියාවක නිරතව සිට ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. එම්. සුහයිර් මහතා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඇප අයැදුම් පත්‍රයක් ඉදිරිපත් කරමින් පැවසීය.

නඩුවට පාදක වූ සියලුම ප්‍රධාන සිදුවීම් සිදුවී ඇති වකවානුවේ සිය සේවාදායකයා එක්සත් රාජධානියේ රැකියාවක නිරතව සිට ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළ විමර්ශන වාර්තා අනුව පවා පෙනී යන බවත් එබැවින් හා එකී එන්නත් සැපයූ සැපයුම්කරු වෛද්‍ය සැපයුම් අංශයට ඉදිරිපත් කර ඇතැයි කියන ව්‍යාජ ලියවිල්ල සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් ආධාර අනුබල දුන් බවට කිසිදු සාක්‍ෂියක් නොමැතිව සිය සේවාදායකයා අත්අඩංගුවට ගෙන ඇති බවත් එබැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප මත මුදාහරින ලෙසත් ජනාධිපති නීතිඥවරයා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියගෙන් ඉල්ලා සිටියේය.

සිය සේවාදායකයාට එරෙහිව කිසිදු නීතියක් යටතේ ගැනෙන සාපරාධී වරදක් සම්පාදනය කර නොමැති බැවින් විමර්ශන අවසන් වී නොමැති යැයි කියන පදනම මත දිගින් දිගට ම රක්‍ෂිත බන්ධනාගාරගත කළ නොහැකි බවත් ඔහුට ඇප ප්‍රතික්‍ෂේප කිරීමට ඇප පනතේ 14 වැනි වගන්තියේ කිසිදු හේතුවක් අදාළ නොවන බවත් අධිකරණයට පැවසූ ජනාධිපති නීතිඥ එම්. එම්. සුහයිර් මහතා සැකකරු ඇප මත මුදාහරින ලෙසට ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් වූ පසුව ඉදිරි කටයුතු සඳහා ඖෂධ නිෂ්පාදන හා සැපයුම් නියාමන අංශය මගින් ප්‍රසම්පාදන ගොනුවේ සහතික පිටපතක් 2022.11.02 වැනිදා වෛද්‍ය සැපයුම් අංශය වෙත යොමු කර ඇති බවත් එන්නත් සැපයුම්කරු විසින් ඉදිරිපත් කළ බවට චෝදනා එල්ල වී ඇති ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතිකය ව්‍යාජ එකක් නම් සැපයුම්කරු විසින් වංචා කර ඇත්තේ වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන්ට බවත් එම අංශයේ කිසිදු නිලධාරියකුට ඒ සඳහා ආධාර අනුබල දුන් බවට සාක්‍ෂි නොමැති නම් එම නිලධාරීන් නඩුවේ වැදගත් සාක්‍ෂිකරුවන් විය හැකි බවත් එම ඇප ඉල්ලුම් පත්‍රය මගින් ජනාධිපති නීතිඥවරයා කියා තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment