ශ්‍රී ලංකාව මුල් කරගත් චීන – ඇමරිකා වාග් සංග්‍රාමය

324

ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැරීමෙන් පසු වහාම ෆෙඩරල් උසාවියේ ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පැවරුවේ කවුද? චීනය විසින් දැනටමත් සහල් මෙටි්‍රක් ටොන් 10000ක්, ඩීසල් ලීටර් 9000ක්, ඖෂධ සඳහා රුපියල් බිලියන 5ක් සහ පාසල් නිල ඇඳුම් රෙදි මීටර මිලියන 3ක් තිළිණ කර තිබියදී ශ්‍රී ලාංකීය ජනතාවට උදව් කිරීමට එක්සත් ජනපදය තම ප්‍රකාශ කරන දේ ක්‍රියාවෙන් ඔප්පුකර ඇත්තේ කෙසේදැයි ශ්‍රී ලාංකීය මහජනතාව දැන ගැනීමට කැමතිවනු ඇත.”

ශ්‍රී ලංකාව තරම් අර්බුදයකට නොගියද බංගලාදේශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ ණය ඉල්ලීම සිදුකළේ කොළඹ ආණ්ඩුවේ ණය යෝජනාවට පසුවය. එහෙත් ෂේක් හසිනාගේ ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අමෙරිකානු ඩොලර් බිලියන 3.3ක ණය මුදලක් පසුගියදා අනුමත කරන ලදී. ශ්‍රී ලංකාවේ තත්ත්වයට සාපේක්ෂව බංග්ලාදේශයේ අර්බුදය වෙනස් බැවින් ඔවුන්ට මාස දෙකහමාරක් වැනි කෙටි කාලයක් තුළ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අදාළ ණය මුදල අනුමත කරනු තිබිණි. ශ්‍රී ලංකාවට පෙර බංගලාදේශයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් හිමිකර ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය මහබැංකු අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධනගෙන් කරුණු විමසා තිබුණු අතර ඔහු මෙලෙස අදහස් දක්වා තිබිණි. “වර්තමානයේ ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වීය ණය හිමියන් අතරින් 53%ක ණය ප්‍රතිශතයක් ගෙවීමට ඇත්තේ චීනයට. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේ දී චීනය විසින් ලබාදෙනු ලබන ණය සහතිකය වැදගත්. නමුත් චීනය ප්‍රකාශ කර ඇත්තේ වසර දෙකක කාලයක් ශ්‍රී ලංකාවට ණය ආපසු ගෙවීමේ සහනයක් ලබාදීමට හැකියාව පවතින බව. එහෙත් එය ප්‍රමාණවත් නැහැ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේ දී චීනයෙන් අවශ්‍ය සහතිකය ලබා ගැනීම මේ වන විට විදේශ කටයුතු අමාත්‍යාංශය මතට පැවරී තිබෙනවා. ඒ සඳහා ඔවුන් සතුව ඇති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා උපයෝගි කර ගනිමින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සිදුකළ යුතු යි,”

ශ්‍රී ලංකාව මුල් කරගත් චීන - ඇමරිකා වාග් සංග්‍රාමය

පසුගිය සතියේ මෙරටට පැමිණි ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මේ චීන ණය සහතිකය ගැන අවධාරණය කර තිබිණි. ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් ඇමරිකානු උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් කොල්ලුපිටියේ මුවන්පික් හෝටලයේ දී ප්‍රවෘත්ති සාකච්ජාවකට ද සහභාගි වී ප්‍රකාශ කර සිටියේ කවරක්ද? ‘දැන් හැම දෙනාම බලා සිටින්නේ ශ්‍රී ලංකාවට චීනය ණය සහතිකය ලබාදෙන තුරු යනුවෙනි. එහිදී ඇය චීනයට සරදමක් එල්ල කරමින් තමන්ගේ හිතවතා වන ඉන්දියාව අගය කරමින් කතා කළාය. ඇත්තෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාකරන විට ඇමෙරිකාව හා ඉන්දියාව එක් පාර්ශ්වයක් ගන්නේ චීනයට ප්‍රතිවිරුද්ධව යන්න ප්‍රකට කරුණකි. ශ්‍රී ලංකාව මුල් කරගත් රාජ්‍ය තාන්ත්‍රික චීන – ඇමරිකා වාග් සංග්‍රාමය කොල්ලුපිටිය හෝටලයේදීත් දක්නට ලැබිණි. නූලන්ඩ් ලේකම්වරියගේ ප්‍රකාශය මෙසේය. “පැහැදිලිවම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය හිමියන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගින් කටයුතු කරමින් සිටිනවා. ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා ලෙස චීනය එම ණය සහතිකය ලබාදී මෙම වැඩසටහනට එක්වෙනු ඇති බවට අප බලාපොරොත්තු වෙනවා. අපි දකිනවා අනෙකුත් ණය හිමියන් ඉතා කඩිනමින් එම ණය සහතිකය ලබා දෙමින් සිටින බව. දැන් හැම දෙනාම බලා සිටින්නේ චීනය එම ණය සහතිකය ලබාදෙන තුරුයි. චීනය දැනට ලබාදී තිබෙන සහතිකය ප්‍රමාණවත් නැහැ, ශ්‍රී ලංකාවට හිමිවිය යුතු මූල්‍ය අරමුදලේ ගිවිසුම හැකි ඉක්මනින් අවසන් වනු දැකීම ඇමරිකානු අපේක්ෂාව වනවා. ඒ සඳහා අමෙරිකාව කළ යුතු දෑ ඉටුකිරීමට සූදානම්. පැරිස් සමාජයේ පාර්ශ්වකරුවන් ද ඔවුන්ගේ පියවර ගැනීමට සූදානම්. ඉන්දියාව ඒ වෙනුවෙන් දැඩි කැපවීමක් ප්‍රදර්ශනය කළා. ඒ, මූල්‍ය අරමුදල අපේක්ෂා කරන විශ්වාසනීයත්වයකින්” ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන චීනයේ ස්ථාවරය ශ්‍රී ලංකාවට හානියක් වන බවට මෙරට ඇමෙරිකානු තානාපති ජුලි චංග් පසුගියදා බීබීසීයට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබිණි. “චීනය කියන්නේ ඔවුන් ශ්‍රී ලංකාවේ මිතුරෙකු කියලයි. ශ්‍රී ලංකාවේ ජනතාව ඒ කියන දේ ක්‍රියාවට නංවන ආකාරය දකින්න කැමැත්තෙන් පසුවෙන බව මට විශ්වාසයි. ණය සහන ලබාදීම ගැන සහතික වීමටත්, ඉක්මන් ප්‍රතිචාර දැක්වීමටත් පමා නොකිරීමටත් චීනය වගබලාගත යුතුයි. ශ්‍රී ලංකාවට පමාවෙන්න කාලයක් නැහැ. ඔවුන්ට මේ සහතික ඉක්මනින් අවශ්‍යයි” යනුවෙන් ඇමරිකානු තානාපතිනිය පවසා තිබුණාය.

මෙහිදී චීනය සම්බන්ධයෙන් ඇමරිකානු තානාපතිවරිය සිදුකළ ප්‍රකාශය පිළිබඳව කොළඹ චීන තානාපති කාර්යාලය දැඩි ප්‍රකාශයක් නිකුත් කර තිබිණි. එහි මෙසේ සඳහන්ව තිබිණි. “ජුලි චංග් මහත්මියගේ පදනම් විරහිත චෝදනා සහ දේශනවලට පෙර, අපගේ එක්සත් ජනපද සගයා අඩුම තරමින් තමන්ගෙන්ම මෙසේ අසාගත යුතුව තිබුණා IMFහි ප්‍රධාන ප්‍රතිපත්ති තීරණ සම්බන්ධයෙන් නිෂේධ බලයක් ඇති, තනි විශාලතම කොටස් හිමියා කවුද? 2020 දී පමණක් ඩොලර් ටි්‍රලියන 3කට වඩා වැඩි එක්සත් ජනපද ඩොලර් ප්‍රමාණයක් මුද්‍රණය කරන්නේ කවුද? ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය තොගයෙන් ඉහළම පොලී අනුපාත සහිත 40%ක් හිමි එම පුද්ගලික ණය හිමියන් කවුද? ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැරීමෙන් පසු වහාම ෆෙඩරල් උසාවියේ ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පැවරුවේ කවුද? චීනය විසින් දැනටමත් සහල් මෙටි්‍රක් ටොන් 10000ක්, ඩීසල් ලීටර් 9000ක්, ඖෂධ සඳහා රුපියල් බිලියන 5ක් සහ පාසල් නිල ඇඳුම් රෙදි මීටර මිලියන 3ක් තිළිණ කර තිබියදී ශ්‍රී ලාංකීය ජනතාවට උදව් කිරීමට එක්සත් ජනපදය තම ප්‍රකාශ කරන දේ ක්‍රියාවෙන් ඔප්පුකර ඇත්තේ කෙසේදැයි ශ්‍රී ලාංකීය මහජනතාව දැන ගැනීමට කැමතිවනු ඇත.” යනුවෙන් එහි සඳහන්ව තිබිණි.

නූලන්ඩ් ලේකම්වරියගේ ප්‍රකාශට පසු දින එනම් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී එහි මාධ්‍ය ප්‍රකාශිකා මාඕ නින්ග් ගෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහන සඳහා අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාවට විශ්වාසනීය සහ නිශ්චිත සහතික ලබාදීමට චීනය සලකා බලන්නේ කවදාද යන්න ගැනත් ඇමෙරිකාවේ ප්‍රකාශ ගැනත් මාධ්‍යවේදියකු විමසා තිබිණි එහිදී ඇය ‘චීන-ශ්‍රී ලංකා සමීප සහයෝගීතාවට ඇඟිලි ගැසීමට වඩා ලංකාවට අවංක සහයක් දෙන්න යනුවෙන් ඇමරිකාවෙන් ඉල්ලා තිබිණි. චීන විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකාව ලංකාව ගැන සිදු කළ ප්‍රකාශයේ මෙසේ සඳහන්ව තිබිණි. එක්සත් ජනපදයේ පාර්ශ්වයෙන් පැවසූ දේ සත්‍යය පිළිබිඹු නොකරයි. චීනයේ අපනයන-ආනයන බැංකුව දැනටමත් ශ්‍රී ලංකාවට සිය ණය තිරසාරභාවය සඳහා සහාය ප්‍රකාශ කිරීමේ ලිපියක් ලබා දී ඇත. ශ්‍රී ලංකාව ඊට ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති අතර ඒ පිළිබඳව චීනයට ස්තුතිය පළ කර තිබේ ශ්‍රී ලංකාව සමඟ චීනයේ සමීප සහයෝගීතාවයට ඇඟිලි ගැසීමට වඩා, ඇමරිකා එක්සත් ජනපදයට ද යම් අවංකභාවයක් පෙන්විය හැකි අතර වර්තමාන දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට උපකාර කිරීමට යමක් කළ හැකිය “මිත්‍රශීලී අසල්වැසියෙකු සහ සැබෑ මිතුරෙකු ලෙස චීනය, ශ්‍රී ලංකාව මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග සමීපව නිරීක්ෂණය කරමින් අපගේ හැකියාවන්ගෙන් උපරිමයෙන් එහි ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා ආධාර සපයමින් ශ්‍රී ලංකාව චීන පාර්ශ්වයට ඇති ණය සම්බන්ධයෙන්, නිසි විසඳුමක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කිරීමට චීන මූල්‍ය ආයතනවලට අපි සහාය දෙමු.” යනුවෙන් ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

මීට මාස කිහිපයකට පෙර එනම් පසුගිය නොවැම්බර් මාසයේද චීන ආධාර ගැන ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විවිධ චෝදනා ඉදිරිපත් කර තිබූ අවස්ථාවේ චීන රජය පවසා තිබුණේ ශ්‍රී ලංකාව තුළ චීනයේ ආයෝජන සහ මූල්‍යකරණයේ දී කිසිවිටෙකත් ආත්මාර්ථකාමී දේශපාලන වාසි අපේක්ෂා නොකරන බවයි. චීනය, ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දුෂ්කරතා සහ අභියෝග සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කර, ඒවා නිසි ලෙස විසඳීමට අදාළ මූල්‍ය ආයතනවලට සහාය දක්වන බවද එහිදී අවධාරණය කර තිබිණි.

මේ අතර පසුගිය සිකුරාදා කොට්ටාව රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක විහාරයේ පැවති උත්සවයකට සහභාගි වූ මෙරට චීන තානාපති කී සෙන්හොං මහතා මේ ලියුම්කරු සමග ප්‍රකාශ කර සිටියේද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිම විටක චීනයේ ණය සහතිකය ගැන ප්‍රශ්න කිරීමක් සිදු කර නැති බවත් ප්‍රශ්නය ඇති කරන්නේ ඇමරිකානු ආණ්ඩුව විසින් පමණක් බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ණය සහතිකය පිළිබඳව චීන ආණ්ඩුවට කිසිවක් දන්වා නැති බවත් චීන තානාපති කී සෙන්හොං මහතා අවධාරණය කර සිටියේය. රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක විහාරයේදී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධුරන්දර ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේ මුණ ගැසුණු චීන තානාපති කී සෙන්හොං මහතා ප්‍රකාශ කර සිටියේ මේ දුෂ්කර අවස්ථාවේදී චීනය ලංකාවේ හිතවත්ම මිත්‍රයා ලෙසට මෙරට ජනතාව වෙනුවෙන් උදව්කිරීමට කටයුතු කරන බවය. බුදු දහම නිසා දෙරටේ මිතුදම වඩාත් ශක්තිමත්වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය. මෙහිදී ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේද චීනය ලංකාවට සිදුකරන ආධාර උපකාර බෙහෙවින් අගය කළහ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment