ශූරයා තීරණය වන රාජ්කොට් සටන අද

281

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 3කින් යුත් පන්දු වාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය ඉන්දියාවේ රාජ්කොට් හිදී අද (07 වැනිදා) ප.ව.7.00ට පැවැත්වේ.

තරගාවලියේ පළමු තරගය ඉන්දියාව ජයගත් අතර පෙරේදා පැවති තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි වීම හේතුවෙන් කණ්ඩායම් දෙකම අද රාජ්කොට් වෙත ගමන් කරන්නේ මෙම තරගය ජයගෙන තරගාවලිය ජයග්‍රහණය කිරීමේ අරමුණෙනි.

පූනේ හිදී පෙරේදා පැවැති තරගය ශ්‍රී ලංකාව ලකුණු 16න් ජයග්‍රහණය කිරීමට සමත්වූ අතර එම ජයග්‍රහණය වසර හතකට පසුව ශ්‍රී ලංකාව ඉන්දියාවේ දී ලැබූ පළමු පන්දුවාර විස්සයි විස්ස තරග ජයග්‍රහණය ලෙස වාර්තා පොත් අතරට එක් විය.

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනසකින් තොරව පසුගිය තරග දෙකට ක්‍රීඩා කළ කණ්ඩායමම යොදාගනු ඇතැයි බොහෝ දුරට අනුමාන කළ හැක. එහෙත් ඇතැම් විට මේ වනවිට ලකුණු අතර නොසිටින භානුක රාජපක්ෂ හෝ ධනන්ජය ද සිල්වා වෙනුවට සංචිතයේ සිටින අවිශ්ක ප්‍රනාන්දු කැඳවීමට ද ඉඩ ඇත.

ශූරයා තීරණය වන රාජ්කොට් සටන අද

පෙරේදා පූනේ හිදී පැවති තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම පන්දු සංඛ්‍යාවකදී අර්ධ ශතකයක් වාර්තා කරන ලද පිතිකරුවාගේ වාර්තාව තමන්ගේ නම ඉදිරියේ ලියා ගැනීමට නායක දසුන් ශානක සමත් වූයේය. එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 කට ලකුණු 206 ක් ලබා ගත් අතර ඉන්දියාවට නියමිත පන්දුවාර 20 අවසනදී රැස් කරගත හැකි වූයේ කඩුලු 8 කට ලකුණු 190 ක් පමණි.

පන්දුවෙන් දක්වන ලද දක්ෂතාවයට අමතරව පිත්තද අතට ගත් අක්සාර් පටෙල්, පන්දු 31 කදී වේගවත් ලකුණු 65 ක් ලබා ගනිමින් සූර්යකුමාර් යාදව් සමඟ හය වැනි කඩුල්ලට පන්දු 40 කදී වේගවත් ලකුණු 91 ක සම්බන්ධතාවක් පැවැත්වුවද ඊට වඩා ශ්‍රී ලංකා පන්දු යවන්නෝ උපක්‍රමශීලී වූහ. මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 57 ක්ව තිබියදී පිටියට එක්කාසු වන වමත් – දකුණත් පිතිකරු යුගලය කඩා වැටුණු ඉන්දීය ඉනිම ගොඩ ගන්නා ලද්දේ ලකුණු 74 ක්ම හයේ පහර (9) සහ හතරේ පහර (5) එල්ල කරමිනි.

පිටිය සිසාරා එල්ල කරන ලද පහරින් එකක් වැරදී යෑමෙන් යාදව්ගේ ඉනිම නිමාවට පත් වූයේ මදුශංකගේ පන්දුවක් හමුවේය. ඒ වනවිටත් පන්දු 36 කට මුහුණ දී සිටි යාදව් ලබා සිටි ලකුණු 51 සඳහා හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් එල්ල කර තිබුණි. එහෙත් සටන අත්නොහළ අක්සාර් පටෙල් සහ ශිවම් මාවි යළිත් පන්දු 22 කදී ලකුණු 41 ක් රැස් කිරීමට සමත්වීම නිසා අවසන් පන්දුවාරයේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 21 ක් තරම් අවම මට්ටමකට රැගෙන ඒමට ඉන්දියානුවන්ට හැකිවිය.

එහිදී පන්දුව අතට ගත් නායක දසුන් ශානක තෙවැනි පන්දුවේදී පටෙල්ව ද අවසන් පන්දුවේදී ශිවාම් මාවි (26) දවා ගනිමින් එම පන්දුවාරය නිමා කළේ ලකුණු 04 ක් පමණක් ලබා දෙමිනි. මේ සියල්ලටම පෙර තරගයේ දෙවැනි පන්දුවාරයේදීම ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා කසුන් රාජිත වැඩි මෙහෙවරක් ඉටු කරන ලද්දේ එම පන්දුවාරය ඇතුළත ඉෂාන් කිෂාන් සහ ශුබ්මන් ගිල්ගේ කඩුලු දවා ගනිමිනි. එතැන් පටන් ග්‍රහණය තර කළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉන්දීය පිලේ පළමු කඩුලු 5ම උගුල්ලා දමන ලද්දේ පන්දුවාර 10 ක් අවසන් වීමට මත්තෙනි.

දෙවැනියට පන්දු යැවීම අසීරු පුනේ තණතීරුවේදී සත්කාරක නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට භානුක රාජපක්ෂ සහ ධනංජය ද සිල්වා හැර සෙසු සියල්ලෝම පිත්තෙන් තම උපරිමය ලබා දුන්හ. ඒ අතරින් නායක දසුන් ශානක සහ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් අර්ධ ශතක ලබා ගනිමින් කැපී පෙනුණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 තරගයකදී අඩුම පන්දු සංඛ්‍යාවකින් අර්ධ ශතකයක් වාර්තා කරන ලද පිතිකරුවාගේ වාර්තාව සියතට ගනිමින් දසුන් 20 වැනි පන්දුවේදී අර්ධ ශතකය ලැබීය. මීට පෙර මෙම දක්ෂතාව දැක්වීමට සමත්ව තිබුණේ මහේල ජයවර්ධන (2007 දී කෙන්යාවට එරෙහිව) සහ කුමාර් සංගක්කාර (2009 දී ඉන්දියාවට එරෙහිව) ය. ඔවුන් දෙපළ මෙම දස්කම දක්වා තිබුණේ මුහුණ දුන් 21 වැනි පන්දුවේදීය.

මේ අතර දසුන්ගේ ඉනිම ඉන්දියාවට එරෙහිව පිතිකරුවකු ලබාගන්නා ලද දෙවැනි වේගවත්ම අර්ධ ශතකය ලෙසින්ද වාර්තා පොත් අතරට එක් විය. මීට පෙර ඉන්දියාවට එරෙහිව අඩුම පන්දු සංඛ්‍යාවකින් (පන්දු 19 කින්) අර්ධ ශතකයක් රැස්කරගෙන ඇත්තේ ඔස්ටේ්‍රලියානු පිලේ කැමරන් ග්‍රීන් පමණි.

අවසන් පන්දුවත් තර්ඩ් මෑන් කලාපයෙන් හයේ පහරක් බවට පරිවර්තනය කර ගන්නා විටත් දසුන් පන්දු 22 කදී ලකුණු 56 ක් රැස් කරගෙන සිටියේ ඉනිම හයේ පහර 6 කින් සහ හතරේ පහර 2 කින් සරසා ගනිමිනි. දසුන්ගේ රංගනය නිසා අවසන් පන්දු 30 දී ශ්‍රී ලංකා පිලට ලකුණු 77 ක් ලබා ගැනීමට හැකියාව ලැබිණ. ඉන්දීය වේග පන්දු යවන්නන් විසින් ලබා දෙන ලද නිපන්දු 7 ද ශ්‍රී ලංකා පිලේ වාසියට සිටියේය.

අර්ශ්දීප් සිං, උමරන් මලික් සහ ශිවාම් මාවිගේ පන්දුවාර 10 දී ලකුණු 138 ක් උදුරා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වීම කැපී පෙනුණහ. අනෙක් පන්දු යවන්නන් විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 10 දී ලබා දී තිබුණේ ලකුණු 68 ක් පමණි. දසුන්ට පෙර අර්ධ ශතකය වාර්තා කළ කුසල් මෙන්ඩිස් පන්දු 31 කදී ලකුණු 52 ක්ද පැතුම් නිස්සංක පන්දු 35 කදී ලකුණු 35 ක්ද ලබා පළමු කඩුල්ලට ලකුණු 80 ක් එක් කර දුන්හ.

advertistmentadvertistment
advertistmentadvertistment