සරසවි සඳැස 03

236

වරදක් සිදු වුව ද ඒ වරද, වරදක් සේ නො සැලැකීම වර නමින් හැඳින් වේ- එළිසමය රකිනු පිණිස කවියාට එළිවර හිමි වේ- පණකුරු, ඇදුම, හැසුම සහ නො පදකුරු යෙදුම් යනුවෙන් එළිවර සතරකි-

1- පණකුරු එළිවරය

වියරණය නො තකා එළිසමය රකිනු පිණිස පණකුරක් වෙනස් කිරීමට කවියාට ලැබෙන වරය පණකුරු එළිවරය යි-

‘අ’ – ‘ඉ’ බවට පත් වීම

තැන තැන කෙළන මියුලඟනන් ගෙ උදුළිය
දිගු නෙත් කැලුම් දෙන වරැ තගෙ ගතැ රැළිය
පුන් සඳ විලස පෑ සස ලපිනි බැබැළිය
ගෙවමින් යතුරු කර පඟුරන් වෙල් එළිය

‘උදුළ’ යන්නෙහි අග වූ ‘අ’ අකුර එළිවැට රකිනු පිණිස ‘ඉ’ බවට කිරීමට කවියාට වරයක් හිමි වේ- එබැවිනි, ‘උදුළ’ යන වදන මෙහි ‘උදුළි’ ලෙස යෙදුණේ- මේ අයුරින් පණකුරක් එළිය රකිනු පිණිස වෙනස් කිරීමට කවියා ලබන වරය පණකුරු එළිවර ලෙස හැඳින් වේ-

2- ඇදුම

ලුහු අකුරක් යෙදියැ යුතු තැන එළිය රකිනු පිණිස ගුරු අකුරක් ලෙස තැබීමට කවියාට හිමි වරය ඇදුම නමින් හැඳින් වේ- පිය අග ඇදුම සහ පිය මැද ඇදුම යනුවෙන් ඇදුම දෙආකාර ය-

පිය අග ඇදුම
කියමින් ගී රස මියුරූ
තබමින් පද තල අනුරූ
බඳිමින් දන මන නුවරූ
කෙළිමින් යෙති බැඳැ බහුරූ

මෙම කවියෙහි මියුරු යන වදන එළිය සඳහා මියුරූ යනුවෙන් දිගු වේ- මෙය පිය අග ඇදුම සඳහා නිදසුනකි-

පිය මැද ඇදුම
බඹදත් රදන් රදුනට විස යෙදූ සඳ
එපවත් අසා සෙද සෙබළුන් යවා තද
මහසත් ගුණෙන් යුතු මහ ඔසු පඬී සඳ
දියසෙත් කෙළේ එක් කිරිඳකු සදා වෙද

ඉහත කවියෙහි පඬි යන වදන පඬී යනුවෙන් ලූහු ව ගුරු අකුරක් කොට යොදා ගෙන තිබේ- මෙය පිය මැද සිදු කළ ඇදුමකි-

3- හැසුම

ගුරු අකුරක් යෙදියැ යුතු තැන එය ලූහුවක් බවට පත් කොට එළිවැට රැකීමට කවියාට ඇති වරය හැසුම නමින් හැඳින් වේ-

ඔහු දුරැ දැකැ නරසි
නුවණින් මැ දැනැ තතු ලෙසි
දහස කහවණු නිසි
ලියට කී දැයි කියා පිළිවිසි

‘නරසී ’ යන වදන ‘නරසි’ ලෙස ගුරු අකුර ලූහු අකුරක් බවට පත් ව ඇති හෙයින් මෙය හැසුමට නිදසුනකි-

4- නොපද’කුරු එළි වරය

පදයකට අයත් නොවන අකුරක් එළිවැට පිණිස යොදා ගැනීමට කවියාට ඇති වරය නොපදකුරු එළි වරය ලෙස හැඳින් වේ-

සුවඳැල් ගිතෙල් රුසි
ලූණැඹුල් සුං කසා පැසි
එළවළු දුරු මිරිසි
මෙ ඇම වියදම දෙවා එ දවසි

මෙකවියෙහි මිරිස්, දවස් යන දෙවදනෙහි ම මිරිසි, දවසි යනුවෙන් යෙදී ඇත්තේ එවදන් අගට ‘ ඉ ’ අකුර එකතු වීමෙනි- ‘ඉ’ අකුර ‘මිරිස් ’යන වදනට අයත් නොවන අකුරක් බැවිනි එය නොපද’කුරක් සේ සැලැකෙනුයේ- දවස් යන පදයට අයත් නොවන ‘ඉ’ අකුරක් එකතු වී ‘දවසි ’ යනුවෙන් යෙදුණු බැවින් එය ද නොපද’කුරකි-

වෙහෙසකින් තොර ව එළිවැට තැබීමට සුදුසු පද සිතට නිකම් ම වාගේ ගලා ගෙන ඒම කවිකම පළ කරන ලකුණකි- ඒ කිව් බව නිතර නිතර කවි පැබැඳීමෙන් දියුණු කරගත යුතුය-

ආචාර්ය විරාජ් ධර්ම ශ්‍රී
ගා/ අත්‍ථදස්සි ක. වි.

සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment