සර්ප විසෙන් ලෙඩ්ඩු මැරෙන රටේ ලංකාවේ හදන සර්ප විස බෙහෙත් කුණු කූඩෙට

415

ඇසෙන්නේ දුක හිතෙන කතාමය. සමහර විට දුක තුනී කරගන්නට අප දුකට පත් කළ අයගේ බොටුව කඩා ගත යුතු යැයි කිසිවෙකුට හෝ සිතුනි නම් එයද පුදුමයට කාරණයක් නොවේ.

අනුරාධපුරයේ දරුවකු සර්ප විසෙන් මියගියේ පසුගිය සතියේය. ඒ සර්ප විසට බෙහෙත් නොතිබූ නිසාය. ඒවා පිටරටින් ආනයනය කරන්නට ඩොලර් නැති නිසාය. එහෙත් මේ අවාසනාවන්ත සිදුවීම අපට අසන්නට වන්නේ සර්ප විසට අදාළ ප්‍රති විෂ අපේ රටේම නිපදවීමේ හැකියාව වසර දහතුනකට පෙර සිටම අපට තිබියදීමය. ඒ මේ රටේ හැටිය. අප තවමත් දුක් විඳින්නේ එහෙයිනි. මේ ගැන අප සටහන් තබන්නේ ඒ නිසාය.

මේ ගැන මුලින්ම රටට කීවේ ද දිවයින පුවත්පතය.

සර්පයෙකු දෂ්ට කිරීමෙන් අනුරාධපුරයේ මියගිය දරුවාගේ පියා මාධ්‍යයට කියා තිබුණේ පිටතින් ගෙන ඒම සඳහා අනුරාධපුර රෝහලෙන් ලබාදුන් බෙහෙත් වර්ගය කිසිදු ෆාමසියක නොතිබූ බවය. ඒ හේතුවෙන් තමන්ගේ දරුවා මිය ගිය බවය.

පෙර කී පරිදි වසර දහතුනකට පෙර ලංකාවේ සර්පයින්ගේ විෂට ප්‍රතිවිෂ නිෂ්පාදනය කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ උපදේශක වෛද්‍ය ඉන්දික ගවරම්මාන මහතාය.

අද වන විටවත් ප්‍රතිවිෂ නිපදවීමේ ඔවුන්ගේ ක්‍රියාවලිය ලංකාවේ දී ක්‍රියාත්මක නො වෙන්නේ ඩොලර් මිලියන එකොළහක් වැය කරන්නට රජය හෝ රජයේ මැදිහත්වීම හරහා ආයෝජකයෙක් ඉදිරිපත් නොවූ නිසා ය. දෙදහස් නවයේ දී කවරකු හෝ මේ මුදල් යොදවා තිබුණි නම්, අද ලංකාවේ සර්ප ප්‍රතිවිෂ නිපදවන්නේ ය. එසේ නම් ප්‍රතිවිෂ ගෙන්වීම සඳහා ඩොලර් අවශ්‍ය වන්නේ නැත. අනුරාධපුරයේ දරුවාට මියයන්නට සිදු වන්නේ ද නැත. දකුණු ආසියානු සායනික විෂ විද්‍යා පර්යේෂණ සහයෝගිතාවේ අධ්‍යක්ෂ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ උපදේශක වෛද්‍ය ඉන්දික ගවරම්මාන මහතා ලංකාවේ සර්ප විෂට උචිත ප්‍රතිවිෂ නිපදවීම සඳහා වන පර්යේෂණ සාර්ථක ලෙස නිම කළ අයෙකි.

සර්ප විසෙන් ලෙඩ්ඩු මැරෙන රටේ ලංකාවේ හදන සර්ප විස බෙහෙත් කුණු කූඩෙට

ඔහු මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට හැකි උපරිමයෙන් උත්සාහ ගත් අයෙකි. ඩොලර් මිලියන එකොළහක් ලබා ගැනීම සඳහා අපමණ වෙහෙසක් දැරුවේ එම මුදල ලබාදීම සඳහා 2010 සිට මේ තාක් සිටි කිසිදු සෞඛ්‍ය ඇමැතිවරයකු හෝ අගමැතිවරයකු හෝ ජනාධිපතිවරයකු පෙරමුණ ගත්තේ නැත.

සර්ප විෂ වීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෛද්‍ය සහ මහජන සෞඛ්‍ය ගැටලුවක් වේ. ලංකාවේ දළ වශයෙන් වාර්ෂිකව සර්ප දෂ්ට කිරීම් අසූදහසක් (80,000 ක්) පමණ වේ.

ලෝකයේ සර්ප දෂ්ට කිරීම් සඳහා ප්‍රතිකාර කිරීමේ ප්‍රධානතම මූලධර්මය වන්නේ සර්ප ප්‍රතිවිෂය. මෙම ප්‍රතිවිෂ රටකට ආවේණික වන්නේ එක් එක් රටවල් තම තමන්ගේ රටවල සිටින සර්ප වර්ගවලට එරෙහිව ඵලදායී ලෙස තමන්ගේම ප්‍රතිවිෂ නිපදවන බැවිනි. ශ්‍රී ලංකාව තුළ මිනිසුන්ට පීඩා ගෙන දෙන මාරාන්තික විෂ සහිත සර්ප විශේෂ පහක් ඇත. අවාසනාවකට මෙන්, ශ්‍රී ලංකාවට වෙනත් රටවලට මෙන් කිසි දිනෙක තමන්ගේම ප්‍රතිවිෂ තිබුණේ ද නැත. ඒ වෙනුවට මේ වනතුරු භාවිතා කර ඇත්තේ ඉන්දියානු සර්පයන්ට එරෙහිව නිපදවන ලද ප්‍රතිවිෂ ද්‍රව්‍යයකි. මෙම ප්‍රතිවිෂ ලංකාවේ වෙසෙන සර්පයින් දෂ්ට කිරීමේදී ලබාදීමෙන් තරමක ගැටලුකාරී තත්ත්වයන් ඇති කරන බව වෛද්‍යවරු පවසති.

ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන සර්ප දෂ්ටනයට එරෙහිව ඉන්දියානු ප්‍රතිවිෂ ඵලදායී නොවන බව ද පර්යේෂණ මගින් තහවුරු වී තිබේ. මෙම ප්‍රතිකාර නොකළ රෝගීන්ගෙන් සියයට දහයකට වකුගඩු අකර්මණ්‍ය වේ.

ඉන්දියානු ප්‍රතිවිෂ ඉන්දියානු විශේෂ 4කට (ඉන්දියානු නාගයා, රසල් වයිපර්, ඉන්දියන් ක්‍රේට් සහ කියත් පරිමාණ වයිපර්) එරෙහිව නිපදවා ඇති බැවින් එය ශ්‍රී ලංකාවේ සර්පයන්ට එරෙහිව 100%ක් ඵලදායී නොවන බව ද පර්යේෂකයෝ කියති.

එම අකාර්යක්ෂම සහ අනාරක්ෂිත ඉන්දියානු ප්‍රතිවිෂ ආනයනය කිරීම සඳහා පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකා රජයන් සෑම වසරකම සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.3ක් වැය කර ඇත.

මෙම ගැටලුවට විසඳුම වන්නේ සර්ප වර්ග 5ටම එරෙහිව ඵලදායී වන අපගේම ආරක්ෂිත ප්‍රතිවිෂ නිෂ්පාදනය කිරීමයි.

ඇමරිකා එක්සත් ජනපදයේ සත්ව විෂ පර්යේෂණ ජාත්‍යන්තරයේ මහාචාර්ය කලණ මාදුවගේ සහ Costa Rica විශ්වවිද්‍යාලයේ Clodomiro Picado ආයතනය විසින් මීට වසර 10කට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉන්දික ගවරම්මාන මහතා විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව සඳහා ඉතා ආරක්ෂිත සහ ඵලදායී ප්‍රතිවිෂ සහිත පරීක්ෂණ කණ්ඩායමක් නිපදවීමට හැකි වී තිබේ.

ජාතික පර්යේෂණ සභාව මූලික පර්යේෂණ සඳහා රුපියල් මිලියන 50ක් වැය කරමින් එවකට පේරාදෙණියේ නේවාසික රෝගීන් සඳහා ලබාදෙමින් නව ප්‍රතිවිෂ පරීක්ෂා කර ඇත. ව්‍යාපෘතියේ මීළඟ අදියර කරා යා යුතු බැවින් එය ශ්‍රී ලංකාවේ වාණිජමය වශයෙන් ප්‍රතිවිෂ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සියලු යෝජනා 2010 දී එවකට රජයට ඉදිරිපත් කර තිබිණි.

ඒ වනවිට ව්‍යාපෘතියෙන් 60-70% ක් සම්පූර්ණ කර තිබීම ඇති අතර ව්‍යාපෘතිය නිම කිරීම සඳහා ඩොලර් මිලියන 11ක අරමුදල් ලැබෙන තෙක් ව්‍යාපෘති කණ්ඩායම රජයේ වගකිව යුතු සියලුම නිලධාරීන් වෙත යෝජනා ඉදිරිපත් කරමින් සිට ඇත.

ඉතිරිව තිබී ඇත්තේ ද නිෂ්පාදන පහසුකම සම්පූර්ණ කිරීම පමණි.

මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවට ආරක්ෂිත සහ ඵලදායී අත්‍යවශ්‍ය ඖෂධයක් ලබා දීමට පමණක් නොව රැකියා සහ පර්යේෂණ අවස්ථා රැසක් ද නිර්මාණය වන බව නියතය. තවද, නිෂ්පාදන පහසුකම් සංවර්ධනය කිරීම මගින් ශ්‍රී ලංකාව තුළ ප්‍රතිදේහ සම්බන්ධ එන්නත් කළ හැකි ඖෂධ වර්ග වන ජලභීතිකා නාශක එන්නත් වැනි අනෙකුත් සියලුම ඖෂධ නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබෙන බව ව්‍යාපෘතිය භාර පර්යේෂකයින් කණ්ඩායම ප්‍රකාශ කර තිබිණි.

මේ වන විට රටේ ඖෂධ බොහොමයක් හිඟය. ඒ අතර ජලභීතිකා එන්නත සහ සර්ප ප්‍රතිවිෂ හිඟ බවද දැනගන්නට තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහාචාර්ය ඉන්දික ගවරම්මාන මහතා කියා සිටියේ ලංකාව තුළ සර්ප ප්‍රතිවිෂ නිෂ්පාදනය කිරීමට අවස්ථාව සැලසී තිබුණේ නම් මේ වන විට රටට අවශ්‍ය ප්‍රතිවිෂ ප්‍රමාණයන් නිෂ්පාදනය කොට තබන්නට තිබූ බවය. එපමණකුදු නොව වෙනත් රටවල් සඳහා අවශ්‍ය සර්ප ප්‍රතිවිෂ නිෂ්පාදනය කොට එම රටවල්වලට විකිණීමේ හැකියාව ද ව්‍යාපෘති කණ්ඩායමට තිබූ බව හෙතෙම කියා සිටියේය.

“ලංකාවෙත් අවශ්‍ය වන ප්‍රති විෂ නිෂ්පාදන සඳහා ගතවන්නේ මාසයක පමණ කාලයක් පමණයි. ඉතිරි මාස 11 නිපදවන ප්‍රතිවිෂ ලෝකයේ වෙනත් රටවල්වලට විකිණීමේ හැකියාව අපට තිබුණා. නමුත් තාම මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මුදල් අපට ලැබුණේ නැහැ. තවදුරටත් අප බලා සිටින්නේ එම මුදල ලැබී නිෂ්පාදනාගාරය ඉදි කිරීමට අවස්ථාව සැලසේවි කියා…”

මේ වන විට රජයේ රෝහල්වල සර්ප ප්‍රතිවිෂ තිබෙනවා. සර්පයන් දෂ්ට කරන පිරිස් අතරින් කිසියම් ප්‍රමාණයක් මිය යනවා. ඒ ඒ පුද්ගලයින්ගේ සිරුරේ ඇතිවන විවිධ සංකූලතා හේතුවෙන්. කිසිදු අවස්ථාවක සර්පයෙක් දෂ්ට කොට රෝහල් ගත කළ පසු පිටතින් ගෙන ඒම සඳහා බෙහෙත් ලියා දෙන්නේ නැහැ. එසේ ලියා දුන්නේ නම් ඒ වෙනත් හේතුවක් මත විය හැකියි….”

මහාචාර්ය ගවරම්මාන මහතා කියා සිටියේය.

මේ වන විට සර්පයින්ට පමණක් නොව තම නිවසේ සුරතලයට හදන සුනඛයා ද ලංකර ගැනීමට බිය මිනිස්සු ශ්‍රී ලංකාවේ වෙසෙයි. ඒ රෝහල්වල ජලභීතිකා එන්නත ද හිඟව ඇති නිසාය.

ඉහත කී නිෂ්පාදනාගාරය ඉදි කළේ නම් ඒ සියල්ලටම විසඳුම් ලැබෙන්නට තිබිණි. එහෙත් මේ රට පාලනය කළ සහ කරන පාලකයින්ගේ පැහැදිලි දැක්මක් නොමැතිකම මත සියල්ල දියාරු වී ගොස් තිබේ. ඒ රටේත් ජනතාවගේත් අවාසනාවටය.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment