සාරධර්ම ඔපවත් කරන සිංහල අලුත් අවුරුද්ද සමරන්නේ ඇයි?

458

සීත සුළං රැලි ගත දැවටෙද්දී, එරබදු මල් රත් පැහැයෙන් එබී බලද්දී, කොවුල් කූජනය සවනත වැටෙද්දී, තුරුලතා මලින් පලින් බර වෙද්දී, අටුකොටු අස්වැන්නෙන් පිරෙද්දී, ගෙයින් ගෙය වර්ණවත් වෙද්දී, ස්වභාව ධර්මයා සමග අපි සියලු දෙනා ම මේ සැරසෙන්නේ බක්මස උදාවන හෙළයේ මහා මංගල්‍යය වන සිංහල අලුත් අවුරුද්ද සමරන්නට බව නොදන්නා කෙනෙක් ලොව නැති තරම් ය.

ස්වභාව ධර්මයාගේ ආශිර්වාදයත්, සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ප්‍රවිෂ්ට වීමත් අපිට ම ආවේණික වූ හෙළ සංස්කෘතියෙන් ආහාර රටාවේත් සාරධර්ම චාරිත්‍ර වාරිත්‍රවල එකතුවත් මේ සිංහල අලුත් අවුරුද්ද ලෙස අර්ථ දැක්විය හැකිය.

ජීවිතය යනු අත්දැකීම් සමුදායකි. එහි යහපත් දේ මෙන්ම අයහපත් දේ ද අඩංගුව ඇත. අපේ පැරණි මුතුන්මිත්තෝ ඒ අත්විඳි සියලුම යහපත් දේ අනාගත පරපුරට තම දූ දරුවන්ට අත්විඳීමට සැලැස්වීම ඔවුන්ගේ අභිප්‍රාය වන්නට ඇත. සිංහල අලුත් අවුරුද්ද තුළින් ඒ සියලුම දේ අපට ඔවුන් දායාද කරන්නේ මෙවැනි වටිනා උතුම් දේ ජනගත කිරීමේ හොඳම ක්‍රමවේදය සිංහල අලුත් අවුරුද්ද නිවැරදිව සමරන්නට සැලැස්වීම නිසා විය හැකිය. බුදු දහමේ උතුම් හර පද්ධතීන් සමග බැඳුණු සිංහල අලුත් අවුරුද්දේ සිරිත් විරිත් හා සාරධර්ම, චාරිත්‍ර වාරිත්‍ර ගැන අධ්‍යතන සමාජය තුළ ජීවත්වන තරුණ පිරිස් දැකින්නේ පුහු දේවල් සහ විකාර වැඩ හැටියට. ඒ මන්ද යත් ඔවුන් විදේශවල ඇති උප සංස්කෘතීන්වලට ගිජු වී ඒවා අනුගමනය කිරීම ඔවුන්ගේ ජීවන රටාවේ කොටසක් බවට පෙරළා ගෙන සිටි නිසාය. එදා අපේ මුතුන් මිත්තෝ අත්විඳි නිදහස, සැනසීම, තෘප්තිකර බව සහ සහජීවන පැවැත්ම අද වර්තමාන පරපුරේ අයට නැත. එදා ඔවුන් කිසිමදාක නෑසූ අත්නොවිඳි සිදුවීම් වාර්තා වේ. එවැනි සමාජ රටාවක් අද අධ්‍යයතන සමාජ රටාව තුළින් නිර්මාණය වී ඇත.

අද සිටින බොහෝ අය ජීවිතය විඳිනවා වෙනුවට විඳවන බව පෙනෙන්නට ඇත. එදා ගහේ කොළේ සෑදුණු දෙයක් කා බී යහගුණ ධර්මවලින් හෙබි උගත්, බුද්ධිමත් දූ දරුවන් සමාජයට දායද කොට, අන්‍යොන්‍ය සහයෝගීතාවයෙන් ජීවත් වූ අපේම

පැරැන්නෝ ජීවිතයේ භුක්ති වින්දේ සතුට, සැනසිල්ල යන ආත්ම තෘප්තිමත් බවය. ඔවුන් තුළ වූ ඒ උතුම් ගුණධර්ම සහ අධ්‍යාත්මික තෘප්තිමත්බව නිසා ම ඔවුන් බොහෝ කල් ජීවත් වූහ. නිරෝගී වූහ.

එහෙත් අද ඇත්තේ ඊට ඉඳුරාම වෙනස් වූ සමාජ රටාවහි සංස්කෘතියකි. සැකය, ක්‍රෝධය, පළිගැනීම, තරගය සහ අතෘප්තිමත් බව තරුණ ජීවිතවලට කිඳාබැස ඇත. සහයෝගිතා එකිනෙකාට ගරු කිරීම, වැඩිහිටියන්ගේ දෙමාපියන්ගේ බසට අවනත වීම, ඉවසීම, උපේක්‍ෂා සහගත බව අද සමාජය තුළ නැති තරම් ය. එම නිසා මේ සමාජ රටාව තුළ ජීවත්වන බොහෝ දෙනා සිටින්නේ දැඩි මානසික පීඩනයකිනි. ආතතියකිනි. අතෘප්තිමත් බව ජීවිත පුරා ම විසිරී ඇත. මේ නිසා ම සියදිවි හානිකර ගන්නා මෙන්ම මානසික රෝගවලින් පීඩා විඳින අය කොතරම් සිටී දැයි මාධ්‍ය තුළින් අපට දැන ගත හැකිය.

සමාජයක් තුළ ආකල්පමය වෙනසක් ඇති කරීම එතරම් පහසු දෙයක් නොවේ. සමාජය තුළ ඇති මේ වැරදි දැනුම සහ ආකල්ප වෙනස් කිරීමට ඇති පහසුම

මඟ නම් වැඩිහිටි අයගේ පූර්වාදර්ශය තුළින් තරුණ ජීවිත හැඩගස්වා ගැනීමය. එසේ නැතිව නීතිරීති එනවා හෝ දඬුවම් පමුණුවා මේවා වෙනස් කරගත හැකි දේ නොවේ. ඉතා සරලව තරුණ ජීවිතවලට අපේ මේ උතුම් සංස්කෘතියත්, සිරිත විරිත් හා චාරිත්‍ර වාරිත්‍ර ඇතුළත් කළ යුතුය.

එයට සුදුසුම ක්‍රමවේදය අපේ සිංහල අලුත් අවුරුද්ද තුළ ගැබ් වී ඇත.

ගස්වැල්වල පරණ කොළ වැටී අලුතින් දලු ලා වැඩී මල් පුබුදන්නේ යම් සේ ද, අපි ද අපේ නොවන දේවල් ජීවිතවලින් බැහැර කොට අපේ ම දේවල් ජීවිත තුළ ම උකහා ගනිමින් ඒවා වැඩිදියුණු කරමින් ඉදිරියට යා යුතු වේ.

අපේ අවුරුද්දේ සිරිත් විරිත් හා චාරිත්‍ර වාරිත්‍ර මෙයට උපයෝගී කොටගත හැකිය. මේ අනුව මුලින්ම උදාවන නොනගතය නම් චාරිත්‍රයේ දී පවුලේ සියලුම දෙනාම නව පැතුම් හදෙහි දරාගෙන තම ආගම ධර්මය සිහිපත් කර නව අවුරුද්ද සුබ වීමට ප්‍රාර්ථනා කළ යුතුය. ඒ අවස්ථාවේ ඇතිවන හැඟීම සහ සංහිඳියාව තුළින් යහපත් කෙනෙකු නිර්මාණය විය හැක. එසේම සෙසු චාරිත්‍ර වන ළිප ගිනි මෙළවීම්, ආහාර අනුභවය, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, නෑ ගමන් යෑම රැකියා සඳහා පිටවීම වැනි සියලුම කටයුතු කළ යුත්තේ සියලුම දෙනාගේ සහභාගිත්වයෙන් සහ යහපත් සිතිවිලි සිත්හි දරාගෙනය. මෙහි දී අපේ දරුවන් අත්විඳින ඒ සුබවාදී අත්දැකීම නව වසරේ ඔවුන් සුමඟට යොමු කරයි.

එසේම අපේ ම දේ තුළින් සාදන ආහාර රටාවන්වලට යොමු වීම සහ හිසතෙල්

ගෑමේ චාරිත්‍රය ද මෙහිදී වැදගත් වන බව අත්දැකීම් සමග එමගින් සිදුවන යහපත අනාගත දූ දරුවන්ට පැහැදිලි කළ යුතුය. එසේ ම ජන ක්‍රීඩා, අවුරුදු උළෙල සඳහා සහභාගි වීම තුළින් ලබන සතුට පමණක් නොව, ශාරීරිකව අප සුවපත් වන බව ද අනාගත පරපුරට තේරුම් කරදිය යුතුය. සාමය, සමගිය සහජීවනය සහ තෘප්තිමත් භාවය ද යහපත් සිතුවිලි සහ ආකල්ප ද නව වසරක් තුළින් අපට ලැබෙන දායාද බව ද අප සැලකිල්ලට ගත යුතුය.

මේ අනුව බලන කළ සිංහල අලුත් අවුරුද්ද යනු හුදෙක් උත්සවයක් පමණක් ම නොව, ඊට එහා ගිය අපේම සංස්කෘතියන්, සදාචාරයන්, සාරධර්මත්, යුතුකම් සහ වගකීම්වල මෙතෙක් කල්

රැකගෙන ආ අප ඉදිරියටත් රැකගත යුතු වටිනාකම් රාශියකින් සපිරි උතුම් ගණයේ ගනුදෙනුවක් බව අභිමානයෙන් යුතු පැවසිය හැක. ඒ නිසා එය පරපුරෙන් පරපුරට පවත්වා ගැනීමට අපේ දූ දරුවන් දැනුවත් කිරීමට සිංහල අවුරුද්දේ සැමරුම අපි හැමදාම කළ යුතු වෙමු.

මල්ලිකා ගීගනආරච්චි
කොළඹ ආනන්ද විද්‍යාලයේ
හිටපු ආචාරිණී

advertistmentadvertistment
advertistmentadvertistment