සැඟවූ සහල් තොග සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සොයා පාරිභෝගික අධිකාරිය රටම පීරයි

354

රජයේ පාලන මිල ඉක්මවා වැඩි මිලට සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය විකිණූ වෙළෙඳුන් රැසක්  පාරිභෝගික සේවා අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

 සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඟවා තබා ගනිමින් මෙලෙස වැඩි මිලට අලෙවි කර ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරයි.

සැඟවූ සහල් තොග සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සොයා පාරිභෝගික අධිකාරිය රටම පීරයි

මොනරාගල නගරයේ පෙරේදා (12 දා) සිදුකළ වැටලීමකදී තොග වෙළෙඳසලක සඟවා තිබූ කිලෝ 25 කීරි සම්බා වර්ගයේ සහල් මිටි එකසිය එකක් (101) පාරිභෝගික අධිකාරියේ මොනරාගල දිස්ත්‍රික් ක්‍ෂේත්‍ර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් එම තොග වෙළෙඳසලට ගොස් සහල් ඉල්ලා ඇති අතර වෙළෙඳසල් හිමියා සහල් නොමැති බව දැනුම් දී ඇත. පසුව එහි ගබඩාව පරීක්‍ෂා කිරීමේදී සඟවා තිබූ මෙම සහල් තොග හමු වී ඇත.

 මේ අතර රජයේ පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ ස්ථාන වටලා එහි හිමිකරුවන්ට නඩු පැවරීමට පාරිභෝගික අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් ද කටයුතු කර ඇත. ඉකුත් 12 දා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරු මත මෙම වැටලීම් සිදුකරන ලදි.

 මේ අනුව පුත්තලම නගරයේ ව්‍යාපාරික ස්ථානවලට උපාය දූතයන් යොදවා වැඩි මිලට සහල් අලෙවි කරන ස්ථාන සනාථ කර ගැනීමෙන් පසු නඩු පැවරීම් සිදුකරන බව නිලධාරීන් පැවසූහ.

 මෙම වැටලීමේදී ස්ථාන ගණනාවකට දැඩි අවවාද කර ඉන් වැඩි මිලට සහල් අලෙවි කළ ස්ථාන තුනකට නඩු පැවරීමට කටයුතු කර ඇත. මෙම වැටලීම සඳහා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පුත්තලම මූලස්ථාන පොලිසියේ ද සහාය ලබාගෙන තිබේ.

 පාරිභෝගික අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් ප්‍රධානි ජේ. එම්. ජේ. එම්. යූ. ජයසුන්දර මහතා කියා සිටියේ මෙසේ වැඩි මිලට සහල් අලෙවි කරන ස්ථාන සොයා දිගින් දිගටම වැටලීම් සිදුකරන බවයි. එහිදී අදාළ ව්‍යාපාරික ස්ථාන හිමිකරුවන් වරදකරුවන් වුවහොත් රුපියල් ලක්‍ෂයේ සිට ලක්‍ෂ පහ දක්වා දඩ මුදල් නියම වන බවත් දඩ මුදල් නොගෙවන්නේ නම් මාස හයක සිර දඬුවම් හිමිවන බවත් හෙතෙම පැවසීය.

 මෙම වැටලීම සඳහා පාරිභෝගික අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ විමර්ශන නිලධාරීන් වන ඩබ්ලිව්. පී. ලියනගේ, එම්. එම්. එස්. යූ. කුමාරදාස, ආර්. එම්. පී. කේ. රත්නායක, ඩබ්ලිව්. යූ. පී. එම්. වන්නිනායක, අයි. පී. මුදලිගේ යන මහත්වරු එක්ව සිටියහ.

 කඹුරුපිටිය නගරයේ වෙළෙඳුන් පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවිකරන බවට සහ සහල් තොග සඟවාගෙන සිටින බවට පාරිභෝගික සේවා අධිකාරියට ලැබී තිබූ පැමිණිලි අනුව පසුගිය 12 වැනිදා පාරිභෝගික සේවා අධිකාරියේ මාතර කාර්යාලයේ නිලධාරි කණ්ඩායමක් විසින් කඹුරුපිටිය නගරයේ සිදුකළ වැටලීමකදී සඟවා තිබූ කිලෝ 6000 කට අධික සහල් ප්‍රමාණයක් සොයාගෙන ඇත.

 පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් උපාය දූතයන් ලෙස වෙළෙඳසල තුළට යවා සහල් මිලදී ගැනීමට යෑමේදී ඒ අවස්ථාවේ වෙළෙඳසලේ සිටි කාන්තාව සහල් නොමැති බව පවසා තිබිණි. පසුව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් වෙළෙඳසල තුළට ගොස් පරීක්‍ෂා කිරීමේදී එතුළ තිබූ සහල් තොගය සොයාගෙන තිබිණි.

 කිලෝ 10 සහ කිලෝ 50 වශයෙන් අසුරා තිබූ මෙම කිසිදු සහල් මල්ලක මිල සඳහන් කර නොතිබිණි.

 මෙම සහල් තොගය අලෙවි කිරීම සඳහා මිල දී ගත් නමුත් ගත් මිල අනුව රුපියල් 210 පාලන මිලට අලෙවි කිරීමට නොහැකි නිසා මිලදී ගත් ස්ථානයටම නැවත රැගෙන යෑම සඳහා ගබඩා කර තිබූ බව එම අවස්ථාවේ වෙළෙඳසල භාරව සිටි අය පවසා තිබිණි. නමුත් ඒ බව සනාථ කිරීමට අවශ්‍ය ලියැකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකිවීම නිසා එම වෙළෙඳසලට එරෙහිව නීතිමය කටයුතු කිරීමට පියවර ගෙන තිබේ.

 යාපනයේ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකදී සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඟවාගෙන වැඩි මිලට අලෙවි කළ වෙළෙඳසල් 7 ක හිමිකරුවන්ට එරෙහිව 12 දා නීති මගින් කටයුතු කොට තිබේ.

 මෙම නිලධාරීන් විසින් යාපනයේ සිදුකළ වැටලීමේදී වෙළෙඳසල් 32 ක් නීති විරෝධී ක්‍රියාවල නිරතව භාණ්ඩ අලෙවි කරන බවට ද තොරතුරු වාර්තා වී තිබේ.

 එම වැරදි කාලීන ගැටලුවට බලපෑමක් සිදු නොකරන නිසා ඔවුන්ට තරයේ අවවාද කළ නිලධාරීන් අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා වැඩි මිලට අලෙවි කළ යාපනයේ වෙළෙඳසල් හතක හිමිකරුවන්ට පමණක් නීති මගින් කටයුතු කොට තිබේ.

 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් යාපනය දිසාපතිවරයාගේ දැනුම්දීමකට අනුව මෙම වැටලීම සිදුකොට තිබේ.

 රජයේ පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කිරීම හා මිල ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධයෙන් වෙළෙඳුන් 13 දෙනකු පසුගිය දින 12 ක් තුළදී කොටුකර ගැනීමට හැකි වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

 රජයේ උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් වෙළෙඳුන් 06 දෙනකු කොටුකරගෙන තිබූ අතර මෙම වෙළෙඳුන් අතර මහා පරිමාණ සහල් වෙළෙඳුන් ද සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. මිල ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධයෙන් සහල් වෙළෙඳුන් 07 දෙනකු කොටුකරගෙන ඇත.

 මේ අතර කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම, වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම ඇතුළු පාරිභෝගික නීති රීති උල්ලංඝනය කරමින් ආහාර අලෙවි කළ වෙළෙඳුන් 15 දෙනකු කොටුකර ගැනීමට හැකි වූ බව ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. ගාල්ල, අහංගම, දික්කුඹුර, බද්දේගම සහ හික්කඩුව යන ප්‍රදේශවලදී මෙකී වැටලීම් සිදුකරනු ලැබීය. වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා අඛණ්ඩව වැටලීම් සිදුකරන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

 (පසුබිම් වාර්තා – දිනසේන රතුගමගේ, බඩල්කුඹුර රවිඳු ගුණතිලක, මහවැව – අමරනන්ද විජේසේකර, කඹුරුපිටිය – පී. එල්. ජයවර්ධන සහ ගාල්ල – ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි)

advertistmentadvertistment
advertistmentadvertistment