සියයට 18 කින් නොවේ ආණ්ඩුව දහ අටයි දශම හතරයි පහකින් වැට් බදු වැඩි කරනවා – ජාජබ විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති

40

ආණ්ඩුව විසින් ජනවාරි මස පළමු වැනිදා සිට වැට් බදු ඉහළ දමන්නේ සියයට 18 කින් නොව සියයට දහ අටයි දශම හතරයි පහක් බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අනාවරණය කළේය.

සමාජ ආරක්ෂණ බද්ධ පනවා ඇති භාණ්ඩ සඳහා බදු අය කිරීමේදී එම තත්ත්වය උදාවන බවත් මේ ආණ්ඩුව බදුවලටත් බදු අය කර නව බදු ක්‍රමයක් හඳුන්වා දී ඇතැයි හෙතෙම කීවේය.

හඳුන්නෙත්ති මහතා පෙරේදා(24දා) එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලෙ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්්‍යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද කීවේය.

ජනවාරි පළවෙනිදා ඉහළ නංවන බදු සම්බන්ධයෙන් ආණ්ඩුව නිරවුල් ලෙස බදු අය කරන ආකාරය කෙසේද යන්න සමාජයට කියා නැහැ. උදාහරණයක් ලෙස ඉන්ධනවලට බදු යම් ප්‍රමාණයක් නිදහස් කරලා තියෙනවා. නමුත් ඩීසල්, පෙට්‍රල්වලට මේ බදු අය කරනවයි කියලා කියනවා. එතකොට ඩීසල්, පෙට්‍රල්වලට අය කරන්නේ කොතෙන්ටද? එතැන ප්‍රශ්නයක් තිබෙනවා. වරායේදී තියෙන මිලටද වැට් බද්ද අය කරන්නේ? එහෙම නැත්නම් වරායෙන් පසු ගාස්තු එකතු කරපු ගණනටද වැට් එක වදින්නේ කියලා කවුරුවත් දන්නේ නෑ. ඒ නිසා මිනිස්සු ව්‍යාකූල තත්ත්වයකට පත්වෙලා.

වැට් බදු ඉහළ නැංවීමේදී සමාජ ආරක්ෂණ බද්ද පනවා ඇති භාණ්ඩවලට බදු අය කළහොත් වැට් බද්දේ සැබෑ වටිනාකම සියයට දහ අටට වඩා ඉහළ යනවා. උදාහරණයක් ලෙස රුපියල් දහසකට ඇති භාණ්ඩෙකට සීයට දහ අටක බදු අය වුවහොත් එහි වටිනාකම එක්දහස් එකසිය අසූවයි. නමුත් එම භාණ්ඩයට සමාජ ආරක්ෂණ බද්ද සියයට දෙකයි දශම පහ පනවා ඇත්නම් එහි වටිනාකම රුපියල් එක්දහස් විසිපහයි. එම මිලට නම් වැට් බද්ද අය කරන්නේ නව මිල එක්දාස් දෙසිය නමයක් වෙනවා. මොකද එක්දාස් විසි පහට තමයි සීයට දහ අටක් අය කරන්නේ.

සමාජ ආරක්ෂණ බද්දට ඇතුල් කරපු භාණ්ඩ සඳහා වැට් බදු අය කළහොත් එය බද්ද සියයට දහ අටට වඩා ඉහළ යනවා. එය පාර්ලිමේන්තුවේ පනවපු දෙයට වඩා වැඩි අගයක්. මේ අනුව සියයට දහ අටේ වැට් බද් දේ ඇත්ත අය කිරීම දහ අටයි දශම හතරයි පහක් වෙනවා.

ආණ්ඩුව දැන් හදලා තියෙන්නේ ආණ්ඩුවට බදු එන අලු‍ත් ක්‍රමයක් මේක. බද්ද ක්‍රියාත්මක වෙනකොටත් බදු ප්‍රතිශතය වැඩි වෙනවා. එය බදුවලටත් බදු ගැසීමක්. එය අතිශය භයානකයි.

මහින්ද රාජපක්ෂ මහත්තයලා පාර්ලිමේන්තුවේ මේවා සම්මත කරන්න අත උස්සලා ‘අර දවල් මිගෙල් රෑ දනියෙල්’ නාට්‍යයක් රඟපානවා. ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේදී වැට් බදු පනතට අත උස්සනවා. මොකද රනිල් වික්‍රමසිංහට විතරක් මේක තනියෙන් සම්මත කරගන්න බෑනේ. හැබැයි දැන් මහින්ද රාජපක්ෂ කණ්ඩායම එළියට ඇවිල්ලා බොරු ටෝක් දෙනවා, අපි නම් වැට් බද්දට විරුද්ධයි කියලා. අපි දැක්කා සමහර ඇමැතිවරු කිව්වා අත උස්සලා එළියට ආවම මෙය වේදනාකාරී කියලා. ඉතින් අත උස්සන්නේ නැතුව ඉන්න තිබ්බනේ. වේදනාකාරී නම් අත ඉස්සුවේ මොකද?
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment