සිරුරට නව ජවයක් ඇති කර ගැනීමට ගත හැකි ආහාර පාන

583

ළමා වියෙන් යොවුන් වියට දරුවන් පත්වීම වයස අවුරුදු 18 පමණ වූ විට සිදු වේ. මේ වනවිට ඔවුනගේ බාහිර සිරුරේ බොහෝ වෙනස්කම් සිදුව පවතී. ගැහැනු දරුවකු නම් ඇය වැඩිවියට පත්ව මාසික ඔසප්වීම ක්‍රමවත්ව සිදුවීම ආරම්භ වී ඇත. පිරිමි දරුවන්ගේ ශුක්‍රානු පිටවීමේ හැකියාව ද සක්‍රීය වී පවතී.

සිරුරේ බාහිර පෙනුම ද කැපී පෙනෙන ලෙස වෙනස් වී තිබේ. ගැහැනු දරුවන්ගේ පියයුරු වර්ධනය, උකුල ප්‍රදේශය පළල්ව වර්ධනය වීම දැකිය හැකිය.

පිරිමි දරුවකුගේ මුහුණේ රැවුල වැවීම, උරහිස පළල්ව ශක්තිමත්ව වර්ධනය වීම ආදිය බාහිරින් දැකගත හැකිය.

මෙලෙස සිරුරේ ඇතිවන බොහෝ බාහිර වෙනස්කම් තුළින් තරුණ තරුණියන්ගේ නව යොවුන් විය හඳුනාගත හැකිය. නමුත් ඔවුනගේ බාහිරින් නොදකින මානසික වර්ධනය කොතෙක් දැයි කියා සිතාගැනීම එකවර නොහැකිය.

වර්තමානයේ බෙහෝ තරුණ දූ දරුවන් මත්ද්‍රව්‍ය, මත්පැන් ආදියට වැඩි වශයෙන් යොමුව ඇති බවට පවසන්නේ ඔවුන්ගේ මෙම මානසික වර්ධනය පිළිබඳව ගැටලු නිසාය.

මෙම මානසික වර්ධනය සඳහා ලබාදිය යුතු ප්‍රධානම ප්‍රතිකාරය වන්නේ ඔවුනට තම යොවුන් විය ගැන වටහාදීමය. තමාගේ ශරීර වර්ධනයට, සහ ලිංගික අවයවයන්හි ක්‍රියාකාරීත්වය ශක්තිමත් කරගැනීමට හැකියාව පවතින්නේ පෝෂ්‍යදායී ආහාර පාන ගැනීමෙන් සහ සැහැල්ලු මනසකින් සිටීමෙන් බව අවබෝධ කර දිය යුතුය.

ක්ෂණික ආහාර පාන වර්ග ගැනීම සහ විවිධ උත්තේජක හෝ මත්ද්‍රව්‍ය ගැනීමෙන් නොවන බව වටහා දිය යුතුය.

ක්ෂණික ආහාර පාන, විවිධ උත්තේජක සහ මත්වන ද්‍රව්‍යවල ඇති ප්‍රබල ක්‍රියාකාරීත්වය නිසා සිරුරේ බොහෝ අවයව ක්‍රියාකාරීත්වය දුර්වල වීමට පටන් ගනී. විශේෂයෙන්ම ස්නායු ක්‍රියාකාරීත්වය දුර්වල වේ. මෙය ලිංගික ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමට බලපාන ප්‍රධාන සාධකයකි.

මෙවැනි ආහාර පාන නිසා සිරුර වැහැරීමට පටන්ගනී. එසේ වන්නේ ඒවායේ ඇත්තේ සීමිත පෝෂණ ගුණයක් පමණක් බැවිනි.

වර්තමානයේ විවිධ ලිංගික උත්තේජක වර්ග ගැන ඇතැම් දෙනා පවසති. නමුත් කිසිදු උත්තේජක වර්ගයක් හෝ ඒ සමාන ඖෂධයක් නිසි වෛද්‍ය උපදෙස්වලින් තොරව ලබා නොගත යුතුය.

මහා සෘෂි නාඩි වෛද්‍යවරුන් පවසා ඇත්තේ දරුවනට කුඩා කල සිට පලා වර්ග, කොළ පැහැති ආහාර වර්ග හුරු කිරීම තුළ ඔවුනගේ ශක්තිය වර්ධනය කළ හැකි බවය. ඒ සඳහා ගොටුකොළ, වැල් පෙනෙළ කොළ, හාතාවාරිය ආදී පලා වර්ග ගෙන කොටා යුෂ රැගෙන පානයට දීම ගුණදායකයි. මෙමගින් ඔවුනගේ ලිංගික ක්‍රියාකාරීත්වය ශක්තිමත් වේ.

දඹල, වැටකොළු, පතෝල වැනි ආහාර නිතර ගැනීම මගින් සිරුරේ යම් උෂ්ණ අධික බවක් පවතී නම් ඒවා සුවපත් වේ. සිරුරේ පවතින උෂ්ණ අධික බව ද ලිංගික ශක්තිය දුර්වල කිරීමට බලපායි.

වෙනිවැල් ගැට, කොත්තමල්ලි මිශ්‍ර කර තම්බා ගත් පානයක් දිනපතා පානය මගින් ද සිරුරේ ශක්තිය වර්ධනය කරගත හැකිය. මෙහි ඇති විෂ බීජ නසන ගුණය නිසා සිරුරට ඇතුළු වන වෛරස, බැක්ටීරියා වැනි ලෙඩ රෝග ඇති කරන ආගන්තුක ද්‍රව්‍ය විනාශ වේ.

අසනීප අවස්ථාවකදී හැර අන් සෑම අවස්ථාවක දීම පිරිසිදු ඇල් ජලය පානයට යොමු විය යුතුය. පිරිසිදු ඇල් ජලය මගින් සිරුරේ ක්‍රියාකාරීත්වය ශක්තිමත් කරයි.

හොඳින් මළපහ පිටවීම සහ මුත්‍රා පිටවීම තුළින් සිරුර පිරිසිදු වේ. එවිට මළ බද්දය, මුත්‍රා ආසාදන හට නොගනී.

බොහෝ දෙනාට ආහාර රුචිය අඩු වන්නේ නිසි ලෙස ජීර්ණ පද්ධතිය ක්‍රියා නොකිරීමය. එවැනි අවස්ථාවලදී ඔවුන් ආහාර රුචිය වර්ධනය කර ගැනීමට විවිධ ද්‍රව්‍ය පානයට සහ ආහාරයට එක් කර ගැනීමට යොමු වේ. මින් සිදුවන්නේ ආහාර ජීර්ණය සඳහා සිරුර තුළින් නිපදවන ජීර්ණ ද්‍රව්‍ය නිපදවීමේ ක්‍රියාවලිය අඩපණ වීමය.

ඒ නිසා නව ජවයක් ඇති කර ගැනීමට නම් හැකිතාක් දුරට සිරුරට අහිතකර නොවන පෝෂ්‍ය ද්‍රව්‍ය ආහාරයට එක්කර ගත යුතුය.

දිවට වැඩි රසයක් දැනෙන සහ මත්වීමට හැකියාව ඇති කරන ද්‍රව්‍ය ගැනීම නොකළ යුතුය. මෙවැනි ද්‍රව්‍ය භාවිතයට ගෙන බොහෝ දෙනා මුළු ජීවිත කාලයටම බලපාන ලෙඩ රෝගවලට ගොදුරුව සිටිනු සමාජයේ වර්තමානයේ වර්ධනයක් දැකිය හැකිය. මේ බව වැඩිහිටියන් තම දූ දරුවන්ට වටහා දිය යුතුය.

සිරුරට නව ජවයක් ඇති කර ගැනීමට ගත හැකි ආහාර පාන

සෘෂි නාඩි විද්‍යාව පිළිබඳ මහාචාර්ය, සෙම් රෝග සහ ආතරයිටීස්,
පිළිකා රෝග පිළිබඳ විශේෂ වෛද්‍ය ජිනසිරි ලියන්වෙල

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment