සුනාමියට වසර 17යි… එදා යාලට සුනාමිය ආ හැටි

1141

සුනාමි ව්‍යසනය සිදුවී වසර 17 ක් මෙම මාසයට යෙදෙයි. මෙයට වසර 17 කට පෙර රටේ ජීවත් වූ ජනයාගේ වටිනා දේපළත් සමග රටට අහිමි වූ ජීවිත ගණන අතිමහත්ය.

ජාති ආගම් කුල කිසිවක් නොසිතූ මහා උදම් රළ මුහුදු බඩ ජීවත් වූ දහස් ගණනක් වූ ජනයා සෝ සුසුම් රළකට හසු කර දරුවාට පියාද පියාට දරුවන්ද මවට සැමියාද දරුවාට මවද මවට දරුවාද ඇතැම් ස්ථානවල සිය පවුල ද ඇතළු සිය ආදරයට පාත‍්‍ර වූ සියල්ල මුහුදුබත් කර උපන් බිමේ අනාථයන් බවට පත් කළ ඒ අමිහිරි අතීතය ඇතැම් පිරිස් මේ වනවිට අමතක කර දමා තිබේ.

සුනාමිය වී මාස 03 ක් යන්නටත් පෙර ගෙල වැලලා මිය යන්නට ඇතැම් පිරිස් තැත් කළ අතර තවත් පිරිසක් නොකා නොබී සිට මළවුන් වෙනුවෙන් ජීවිත අහිමි කර ගන්නට ගිය අවස්ථා රැසක් හම්බන්තොට කිරින්ද වැනි පළාත් වලින් අසන්නට ලැබුණි. අද වන විට සුනාමියට හසු වු අයට ද සිය පවුලේ අය සිහියට නොයෙන තරමට සුනාමිය අමතක කර දමා තිබේ.

සුනාමියට වසර 17යි… එදා යාලට සුනාමිය ආ හැටි

මෙයට වසර 17 කට පෙර 2004 12. 26 වැනි දින රුහුණේ යාල ජාතික වන උද්‍යානය හම්බන්තොට. කිරින්ද ප‍්‍රදේශයේ සුනාමි ව්‍යසනයේ දි සිදු වූ අමිහිරි අත්දැකීම් මුසු වූ කථා පුවත මේ අයුරින් සුනාමිය දා අමතක නොකළ හැකි සිද්ධීන් සමූහයක් සමග මෙම ලිපිය සකස් කරමි. සුනාමිය වූ දින නත්තල් නිවාඩුවත් පසු දින 26 පෝය දිනයත් එකට පැමිණි තිබුණි. නත්තල සැමරීම පිණිස මුහුදුබඩ සංචාරක හෝටල් සියල්ලම සංචාරකයින් ගෙන් පිරී පැවැති අතර යාල සෆාරි හෝටලයේ ද මේ දින විවිධ රටවලින් පැමිණි සංචාරකයන් සුන්දර යාල වන උද්‍යානයේ සැරි සරමින් පට්ටනංගල මුහුදු තීරයේ සුන්දරත්වය අත් විඳිමින් සිටියහ.

25 වැනි දින යාල වන උද්‍යානය ආසන්නයේ ඇති යාල සෆාරි හෝටලයද නත්තල් නිවාඩුව නිසා සංචාරකයින්ද දේශීය සංචාරකයින්ද විවිධ වර්ගවල මත් පැන් පානය කරමින් ඌරන් එළුවන් වැනි සතුන්ගේ මස් සුපිරි රසයෙන් සාදවාගෙන කමින් නත්තල සැමරූ බව අනාවරණය විය. පෝය දිනයක් වූ නිසා විශාල පිරිසක් කතරගම පුදබිම වෙතද මේ දින පැමිණෙමින් පැවතියහ. වැඩි පිරිසක් මුහුදුබඩ ආසන්නයෙන් වූ ගාල්ල මාර්ගයෙන් කතරගමට පැමිණෙමින් පැවති අතර තවත් පිරිසක් කතරගම සිට සිය ගම්බිම් බලා ගිය පිරිස්ද මේ දින සුනාමියට හසු වී මියගියහ. මේ දින විදේශිකයන් රැසක් ද යාල නරඹමින් සිටි අතර සංචාරකයන් වැඩි පිරිසක් යාල ආසන්නයේ පිහිටි යාල සෆාරි හෝටලයේ ලැගුම්ගෙන පෙර දින රාති‍්‍ර නත්තල් පාටි දමා වැඩි පුර කාලයක් ගෙන නිදා ගනිමින් සිටියහ. මේ දින යාල වන උද්‍යානයට අයත් පට්ටනංගල මුහුදු තීරයද දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී පැවතියහ.

සුනාමියට වසර 17යි… එදා යාලට සුනාමිය ආ හැටි

සුනාමි නිතර සිදු වෙන ජපානයේ සිටද සංචාරකයන් පිරිසක් පැමිණි සිය දරුවගේ 03 වැනි උපන් දිනය සමරමින් පට්ටනංගල වෙරළේ සිරිය අත් විඳිනු ලැබීය. කිසිදු වසරක නොවූ පරිදි මුළු යාල වන උද්‍යානයම සංචාරකයන්ගෙන් පිරී පැවති අතර රජයේ මැති ඇමැතිවරුන්ද රැසක් මේ වන විට යාල වන උද්‍යානයේ ඇති නිවාඩු නිකේතන තුළ විවේකීව නිවාඩුව ගත කරමින් සිටියහ. දෙසැම්බර් 26 වැනි දින උදෑසන 6-45 ට පමණ මුහුදේ අමුතු වෙනසක් සිදුවෙමින් පැවතියහ. බෙල්ජියමේ සිට පැමිණි ව්‍යාපාරිකයෙක් මේ අපූරු වෙනස කැමරාගත කර තිබුණි. ප‍්‍රථමයෙන් යාල පට්ටනංගල ආසන්නයේ සිටි අලි රංචුවක් හිටි හැටියේ දුවමින් සිටියහ. තවත් තැනක වතුරේ සිටි අලියකු කිසිවකු පහරදුන් අයුරින් හඬ නගා දිව ගියේය. තලගොයින් වැඩි ලෙස ජීවත් වන්නේ පොලවේ බිමේය. එහෙත් එදා තලගොයින් වහා දැවැන්ත ගස් උඩට දිව යන අයුරු බෙල්ජියමේ සිට යාල නැරඹීමට පැමිණි සංචාරකයා ඡායාරූපයට නගා තිබුණි. පට්ටනංගල මුහුද සිඳී යමින් අපූරු දසුන් මැවූ අතර එක් වර මුහුදේ සිට ගොඩ බිමට වේගයෙන් දිව ආ දැවැන්ත කකුළුවෙකුගේද ඡායාරූපයක් අන්තිම වරට මෙම බෙල්ජියම් ජාතිකයා ඡායාරූපයට නගා තිබේ. ඒ ඔහු ජීවත්ව සිටිය දී ගන්නා අන්තිම ඡායාරූපය බව මිය ගිය සංචාරකයාගේ කැමරාවේ තිබූ මෙමරි කාඞ් පතින් අනාවරණය විය. මෙම සංචාරකයා ද සුනාමි රළට හසු වී ජීවිතක්‍ෂයට පත් වූ අතර ඔහුගේ මළ සිරුර හමු නොවූවත් ඔහුගේ කැමරාව හසු වූ පුද්ගලයකු එම කැමරාව විකිණීමට රැගෙන එනවිට එහි තිබූ දත්ත ඇතුළත් කාඞ් පත මා ලබා ගෙන එය පිරිසිදු කර අදාළ ජායාරූප මුද්‍රණය කිරීමෙන් පසුව මාධ්‍ය වෙත මුදා හරිනු ලැබිණි. මෙම ඡායාරූප මාධ්‍ය තුළ පළවීමෙන් පසුව මිය ගිය සංචාරකයාට මග පෙන්වූ හික්කඩුවේ තරුණයකු ගෙන්වා අදාළ ඡායාරූප පරීක්‍ෂා කර මිය ගිය සංචාරකයාගේ පවුලේ ඥාතීන්ට අදාළ මෙමරි කාඞ් පත ලබා දීමට මා කි‍්‍රයා කරනු ලැබීමි. මෙම සංචාරකයාගේ ඡායාරූප වලින් අනාවරණය වූයේ සුනාමිය වීමට පෙර පැය කීපයක දි වන සතුන්ට මෙම සංවේදී බව දැනුණු බවයි. යාල වන උද්‍යානයේ කිලෝ මීටරයක් ඇතුළට මුහුදු රළ පැමිණිය ද කිසිදු වන සතකුගේ මළ සිරුරක් හමුවූයේ නොමැත.

විනාඩි 15 ක් වැනි සළු කාලයක් තුළ යාල වන උද්‍යානය යකා නැටූ පිට්ටනියක් මෙන් සියල්ල උඩුයටිකුරු කරමින් මුහුදු රළ ගස් වැල් පවා තිබූ තැන් ද සොයා ගැනීමට නොහැකි පරිදි වෙනස් කර තිබුණි. පට්ටනංගල මුහුදු තීරයේ සිටි ජපන් ජාතිකයන් 08 දෙනකු ද මුහුදු රළ ට හසු වී මියගොස් තිබූ අතර හිටපු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේ මහතාට අයත් ජිප් රථයක සැකිල්ල පමණක් ඉතිරි කර මුහුදු වෙරළේ තිබූ අයුරු දැකිය හැකිය. මෙම අවස්ථාවේ මුහුදුබඩ ප‍්‍රදේශයේ සැරි සැරූ දේශීය සංචාරකයන් ඇතළු විදේශිකයන් රැසක් සුනාමි රළට හසු වී අතුරුදන්ව තිබුණි.

සුනාමියට වසර 17යි… එදා යාලට සුනාමිය ආ හැටි

යාල වන උද්‍යානය ආසන්නයේ තිබූ යාල සෆාරි හෝටලය ද තිබූ ස්ථානයවත් සොයා ගත නොහැකි පරිදි විනාශ වී ගොස් තිබුණි. තැන තැන සුපිරි රථ වාහන ගස් උඩ දැකිය හැකිවිය. විදේශිකයන් 37 දෙනකුගේ මළ සිරුර තැන තැන වැටී තිබුණි. මේ වනවිට සියලූම දුරකථන විසන්ධි වී තිබුණි. යුද හමුදාවේ පිරිසක් තැනින් තැන තිබූ මළ සිරුරු එක තැනකට රැගෙන යමින් තිබූ අතර යන්තම් කෙඳිරියක් වත් දැකිය හැකි අයකු නොසිටි අතර සියලූම දෙනා මළවුන් බවට පත්ව තිබුණි. තිස්සමහාරාම කිරින්දේ වෙරළ ආසන්නයේ තිබූ නාවික හමුදා කඳවුරද මුළුමනින්ම විනාශ වී ගොස් තිබූ අතර කඳවුරේ තිබූ රථ කීපයක් කිලෝ මීටර් 04 ක් පමණ මුහුදු රළ විසින් ගසා ගෙන ගොස් තිබුණි. යුද හමුදාවේ සෙබළුන් අඳුරගත් නොහැකි වූ මළ සිරුරු එකින් එක සුන්බුං අතරින් දැඩි වෙහෙසක් දරා එකතු කරනු ලැබූහ. මිනී ගොඩ ගසා තිබේ. දුගඳ හමමින් පළාතම අඳුරුකර ඇති අතර මිය ගිය අය මුස්ලිම්ද සිංහල ද දෙමළද කියා සොයා ගත නොහැකි පරිදි සියලූම දෙනා එකම ලෙස විරූපී කර මිනිසුන්ට අපුරු පාඩමක් සුනාමිය කියා දි තිබුණි. සංචාරකයන් අතරින් වැඩිම පිරිසක් යාල සෆාරි හෝටලයේදි මිය ගොස් තිබුණි. මෙම හෝටලයේ සිටි සේවක මහතුන් ඇතළු සංචාරකයන් 200 කට ආසන්න ප‍්‍රමාණයක් සුනාමියට දිවි පුදා තිබුණි. සුනාමිය වන 2004 වර්ෂයේ දි යාල වන උද්‍යානය භාරව සිටියේ වනජීවී සහකාර අධ්‍යක්‍ෂ බී. වී. ආර්. ජයරත්න මහතායි. එදා සුනාමි වූ අවස්ථාවේදී ඔහු මුහුණ දුන් අයුරු මේ ලෙස විස්තර කරනු ලැබීය. 2004 12 26 යාල වන උද්‍යානය නැරඹීමට විශාල සංඛ්‍යාවක් පැමිණ තිබුණා. ප‍්‍රභූවරුන් රැසක් ද පැමිණ සංචාරක බංගලාවල නිරතව සිටියා. ඒක නිසා මම යාල ප‍්‍රදේශයේ සැරි සරමින් සිටින විට දී ජිප් රථ වලින් හෝන් ගහන සද්දයක් පිටවුණා. යාල වන උද්‍යානය තුළ රථ වාහන හෝන් ගැසීම තහනම් දෙයක් නිසා මම විපරම් කළා. ඇතැම් පිරිස් කිව්වා මුහුද ගොඩට එනවා කියලා. මමත් විශ්්වාස කළේ නැහැ. යාල පට්ටනංගල පැත්තට යන්න බැහැ වතුර පාරට දමනවා. මට දෙයියෝ මතක් වුණා. පට්ටනංගල අපේ සංචාරක නිවසේ හිටපු අය ගැන මම දැක්කා සංචාරකයන් වතුරේ පෙනි පෙනී නැතිව යනවා. ඒ වෙන කොට මහා ගස් වැල් අඹරාගෙන මුහුදු වතුර ආවා. අඩි 42 ක් උස වීර ගසක් යට වුණා. පට්ටනංගල සංචාරක නිවාසයේ තිබූ ඇඳ විට්ටමක් ඇවිත් අඩි 42 ක් උස ගගේ අත්තක රැඳුනා. මුහුදු ගොඩ ගලනවා කියලා ගොඩ හිටපු අය දුවනවා දැක්කා. මටත් නුපුරුදු දෙයක් අත් විඳින්න වුණා. වන ජිවි නිලධාරීන් එක්ක යුද හමුදාවේ අය ආවා. වතුර බැහැලා යන්තම් යන කොට අපි පට්ටනංගල පැත්තට ගියා. යකා නටපු පිට්ටනියක් වගේ හැම තැනම මිනිස්සු මැරිලා ගස් උඩ එල්ලෙනවා. ජපන් ජාතික පිරිසකගේ එක් කාන්තාවක් ගහක් උඩ එල්ලෙනවා. අපි ඇයව බේරාගෙන වාහනයට දැම්මා. ඒ ජපන් කාන්තාවගේ සැමියා හා පුතා මිය ගොස් තිබුණා. සැමියාගේ මළ සිරුර අතුරුදන් වුණා. ඇය වසර 03 පුරාවට ලංකාවට ඇවිත් මහා වනයේ සැමියාගේ ඇට කටු ටික හරි සෙව්වා පටාචාරාවක් වගේ. මේ වන කොට දුරකථන සියලූම අකී‍්‍රයයි. කරන්නේ කුමක් ද කියා හිතාගන්න බැරි තරමටම මානසිකව වැටුනා. හැකි ඉක්මනින් දැකපු දැකපු මිනී ටික එකතු කළා. කිසිම අයෙක් හුස්මක් ගත්්තේ නැහැ මිය ගිහින් තිබුණා. ඇතැම් මළ සිරු දැඩි උණුසුමක් ගෙන තිබුණා. හරියට වතුරින් තැම්බුවා වගේ. පට්ටනංගල වනජිවි සංචාරක බංගලාවේ හිටපු සේවකයන් දෙදෙනාගෙත් මළ සිරුරු හමුවුණා. මිනී 34 ක් අපි හොයා ගත්තා ඒ වෙන කොට සංචාරකයන් ආපු ජීප් රථ 09 ක් පමණ මුහුදේ පාවෙමින් තිබුණා.

සුනාමියට වසර 17යි… එදා යාලට සුනාමිය ආ හැටි

තිස්සමහාරාම කිරින්ද පූජාභූමිය ආසන්නයේ සිටි මුස්ලිම් හා සිංහල නිවාස 30 ක් පමණ ද නාවික හමුදා කඳවුරද සුනාමියෙන් මළු මනින් විනාශ විය.

මෙම අවස්ථාවේ දි සුනාමියෙන් දිය පහරට හසුව දැඩි ලෙස තුවාල ලැබූ තරුණයෙකි එන්. පී. චමින්ද මහතා. එදා මම වෙරළේ හිටියා තී‍්‍රවීල් රථයත් තියාගෙන. මුහුද එකපාරම ගොඩට ගැලූවා. අපි දන්නේ නැහැ මේ මොකක්ද කියලා. මමත් විපරම් කරලා බැලූවා. දෙවැනි සැරයේ අඩි 40 තරම් උසින් වතුර කන්දක් එනවා දැක්කා. දුවන්න හදන කොටම මට කලින් සුනාමි රළ ඉස්සර වුණා මම ගහගෙන ගියා. මම යන්තම් ගහක එල්ලිලා දිවි බේරා ගත්තා. නමුත් සිදු වූ තුවාල වසරක් යනකම් සුව වුණේ නැහැ. මගේ තී‍්‍රවීල් රථය හා යතුරු පැදියත්් විනාශ වුණා යැයි චමින්ද මහතා පැවසීය.

සුනාමියට වසර 17යි… එදා යාලට සුනාමිය ආ හැටි

මේ වන විට සුනාමියෙන් විනාශ වූ පරිසරය සුපුරුදු පරිදි සකස් වී හමාරය. එවතට සිටි ජනපතිනි චන්දිකා රජයෙන් පැවසුවේ කිලෝ මීටරයක් තුළ මුහුදුබඩ නිවාස ඉදි කිරීම් සැදීම නවත්වන බවයි. එහෙත් තිබුණාටත් වැඩියෙන් මුහුදු ප‍්‍රදේශය අල්ලා නිවාස හෝටල් මේ වන විට සාදවා තිබේ.

බෞද්ධ ජනයා මුස්ලිම් දෙමළ ජනයාට ආධාර උපකාර කරනු ලැබීය. පිංසිද්ධවේවා හාමුදුරුවනේ කියා බෞද්ධයන්ගෙන් ආධාර උපකාරගත් පිරිස අතර මුස්ලිම් ජනයාගෙන් ආධාර උපකාර ගත් සිංහල දෙමළ ජනයා පිං සිද්දවෙයි කියා සිය ආධාර උපකාරයන් ලබා ගනු ලැබුවේ කිසිදු ආගම් බේදයක් ජාති බේදයක් නොමැතිවයි. අද වන විට ඒ සියල්ලම කනපිට ගැසී අන්තවාදී ආගම්වාදී වෛරයන් ඉස්මතුව තිබේ. එදා සුනාමියෙන් අවතැන් වූ දරුවන් අද වැඩිහිටියන්ය. බිරිඳ නැතිව සිටි සැමියන් නැවත විවාහවී සිටිති. සැමියා මිය ගිය බිරින්දෑවරුන් නැවත වෙනත් විවාහයන් කර ගෙන තිබේ. එදා සුනාමිය අපට කියා දුන් පාඩම කවුරුත් අමතක කර දමා තිබේ.

කතරගම – කේ. ඞී. දේවපි‍්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment