සෙලෙන්දිවා ඈවර කරයි – එම සමාගම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා උසාවියට දැනුම් දෙයි

264

රජයට අයත් වාණිජ වටිනාකමක් සහිත ඉඩම් ගොඩනැඟිලි ඇතුළු දේපළ බාහිර පාර්ශ්ව වෙත අලෙවි කිරීමේ මූලික අරමුණ පෙරදැරිව පසුගිය රාජ්‍ය සමයේ එනම් 2021.03.04 වැනිදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව ආරම්භ කළ සෙලන්දිවා ලෙෂර්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ සෙලන්දිවා ඉන්වෙස්මන්ට්ස් ලිමිටඩ් නමැති සමාගම් ස්වෙච්ඡාවෙන්ම ඈවර කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇතැයි එම සමාගම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඊයේ (18 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පැවසීය.

පසුගිය ජුනි 26 වැනිදා ගෙන තිබූ එකී තීරණය ඇතුළත් කැබිනට් පත්‍රිකාව තමන්ට ද ලැබී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් ජයවීර මහත්මිය විනිසුරු මඬුල්ලට පැවසුවාය. එකී සමාගම්වලට රජයේ දේපළ පවරා දීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ ලේකම්, සිවිල් ඉංජිනේරුවරයකු වන රේණුක පෙරේරා මහතා විසින් නීතිඥ දර්ශන වේරදුවගේ මහතා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම, විජිත් කේ. මලල්ගොඩ, අචල වෙන්ගප්පුලි හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ කැඳවිණි.

පෙර ඉදිරිපත් කළ කරුණු අනුව එම පෙත්සම තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන්නේ ද නැද්ද යන කරුණු ඉදිරි නඩු දිනයේදී දැනුම් දෙන ලෙසට පෙත්සම්කාර පාර්ශ්වයට නියම කළ විනිසුරු මඬුල්ල එම පෙත්සම් ලබන ඔක්තෝබර් 4 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment