හඟුරන්කෙත කලාප නිලධාරියා තවමත් ගණනය නොකළ වංචාව පිළිගනී: ලක්‍ෂ 89 ක් ගෙවන්න එකඟ වෙයි

324

හඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ සිදුව තිබෙන රුපියල් මිලියන ගණනක මූල්‍ය අක‍්‍රමිකතාව සිදුකළ බව කියන නිලධාරියා වරද පිළිගෙන රජයට සිදුවූ අලාභය ලෙස දැනට අනාවරණය වී ඇති රුපියල් ලක්ෂ 89 ක මුදල ගෙවීමට එකඟතාව පළකර තිබේ.

මේ අනුව දැනට ගණන් බලා තිබෙන අලාභය එම පුද්ගලයාගෙන් අයකර ගැනීමට අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලා මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මගින් පළාත් ප‍්‍රධාන ලේකම්වරයා වෙත පෙරේදා (29දා) ලිපියක් යොමුකර ඇත.

මෙම මුදල් වංචාවේ ප‍්‍රමාණය අවසන් වශයෙන් තක්සේරු කර වාර්තාවක් නිකුත් කරන තෙක් දැනට අනාවරණය වී තිබෙන මුදල අයකර ගැනීමට කටයුතු කරන බවද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලිපියේ සඳහන් කර තිබේ.

හඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ ගිණුම් අංශයට අනුයුක්තව සංවර්ධන නිලධාරියකු ලෙස සේවය කර තිබෙන සැකකාර පුද්ගලයා 2012 වසරේ සිට ගුරු වැටුප් ගෙවීමේදී මෙම මූල්‍ය වංචාව සිදුකර තිබෙන බව පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

දැනට සේවයේ නියුක්ක සහ විශ‍්‍රාමික ගුරුවරුන්ගේ වැටුප් ගෙවීමේදී ඔහුගේ බිරිඳ ඇතුළු තවත් පුද්ගලයන්ගේ නම් උපයෝගි කරගෙන සකස් කළ බැංකු ගිණුම්වලට මුදල් බැර කරමින් මෙම වංචාව ඔහු විසින් සිදුකර තිබෙන බව විගණන පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

මෙම නිලධාරියාට 2016 වසරේදී වලපනේ ප‍්‍රාදේශීය සභාවට ස්ථාන මාරුවක් ලබාදී ඇති නමුත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සතියකට දින දෙකක් හඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ වැටුප් සකස් කිරීම සඳහා ඔහුට අනුයුක්තයක් ලබාදී තිබේ. මේවන විට වලපනේ ප‍්‍රාදේශීය සභාවේද රුපියල් ලක්ෂ 37 ක මූල්‍ය වංචාවක් සිදුව තිබෙන අතර එයටද මෙම පුද්ගලයා සම්බන්ධ ඇතැයි විමර්ශන නිලධාරීහු සැක කරති.

රාජ්‍ය නිලධාරියකු විසින් යම් වංචාවක් සිදුකර තිබෙන බව මූලික පරීක්ෂණ මගින් අනාවරණය වූ අවස්ථාවක සිදුව තිබෙන අලාභය ඔහුගෙන් අයකර ගැනීමට කටයුතු කරන බවත්, පරීක්ෂණ පැවැත්වෙන අතරතුර එම පුද්ගලයා අදාළ අලාභය ගෙවීමට එකඟ වුවහොත් එය අයකර ගතහැකි බව මුදල් රෙගුලාසි යටතේ දක්වා තිබෙන බවත් මධ්‍යම පළාත් ප‍්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා කීය.

වරද පිළිගෙන මේ ආකාරයට අලාභය ගෙවීමට එකඟ වුවත් අදාළ පුද්ගලයාට එරෙහිව සිදු කෙරෙන විමර්ශන ඒ් අයුරින්ම සිදුවන බවද ඒ් මහතා ප‍්‍රකාශ කළේය.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment