2023 ජාතික මහා ක්‍රීඩා උළෙල අවලංගු කරයි

283

මෙම වසරේ දී ජාතික මහා ක්‍රීඩා උළෙලක් නොපැවැත්වීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ වෙනුවට පසුගිය 2022 වසරේ පැවැත්වීමට නොහැකි වූ ක්‍රීඩා තරග 28ක් ජාතික මහා ක්‍රීඩා උළෙල ලෙස පැවැත්වීමට තීරණය කර ඇත.

එකම වසරේ ජාතික මහා ක්‍රීඩා උළෙල 2ක් පැවැත්වීම අනවශ්‍ය හෙයින් සහ පවතින මුදල් තත්ත්වය මත මෙම වසරට නියමිත 2023 ජාතික මහා ක්‍රීඩා උළෙල අවලංගු කොට ඇත.

මෙම තරග මැයි මාසයේ සිට පැවැත්වීමට කටයුතු කර ඇත.

ජාතික මහා ක්‍රීඩා උළෙල (කොරෝනා තත්ත්වය හේතුවෙන්) වසර 2කට පසු සුපුරුදු පරිදි 2022 වසරේදී පැවැත්වීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් කොට තිබූ නමුදු එම වකවානුවේ රටේ පැවැති ආර්ථික තත්ත්වය මත තරග 28 ක් පැවැත්වීම 2023 දක්වා කල් දැමීමට ද පියවර ගැනිණි.

2022 වසරේ නියමිතව තිබූ තරගවලින් පැවැත්වීමට හැකි වූයේ මැරතන් ධාවන තරගය, පා පැදි තරගය සහ තරග ඇවිදීමේ තරග 3 පමණි.

2022 වසරේ ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඉතිරි තරග 28 පැවැත්වීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් රුපියල් කෝටි 10ක් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය වෙත ලබා දී ඇති බවද ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අමල් එදිරිසූරිය මහතා සඳහන් කරයි.

ජාතික මහා ක්‍රීඩා උළෙල අවසන් වරට පවත්වා ඇත්තේ 2019 වසරේ වන අතර ඉන් අනතුරුව වසර දෙකක් පිටපිටම (2020 සහ 2021) රටේ පැවැති කොරෝනා ව්‍යසනය හේතුවෙන් ජාතික මහා ක්‍රීඩා උළෙල අවලංගු කෙරිණි. ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශය යටතේ පාලනය වන කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය, පොලොන්නරුව ජාතික

ක්‍රීඩාංගණය සහ මාතර කොටවිල ජාතික ක්‍රීඩාංගණයේ දී පමණක් අදාළ තරග පැවැත්වීමට ද සැලසුම් කොට ඇති අතර මුදල් වියදම් අවම කර ගැනීමේ ප්‍රතිපත්තිය මත එම තීරණයට එළඹ ඇත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment