26 වෙනි වරටත් ගුණ සමරන හිටපු කථානායක බාකීර් මාකාර්

110

වර්තමානයේ අපේ රටේ ඇතැම් දේශපාලනඥයන් පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතත් හැසිරෙන ආකාරය ඉතාම කනගාටුදායකය. මෙවන් අවස්ථාවලදී යුක්ති ගරුකව, සාධාරණව, බුද්ධිමත්ව, සදාචාරත්මකව, ප්‍රජාතන්ත්‍රානුකූලව මහත්මා දේශපාලනය කළ දේශපාලනඥයන් අපේ මතකයට නැඟේ. එමෙන්ම ඔවුන්ගෙන් වර්තමාන දේශපාලනඥයන්ට අවශ්‍ය නම් උගත හැකි පාඩම් කොතෙක් දැයි සිතේ. අගමැති ඩී. ඇස්. සේනානායක මහතාගේ සිට රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිතුමා දක්වා වූ කාලපරාසය තුළ හැම දේශපාලනඥයකුටම ආදර්ශ ගත හැකි මහත්මා දේශපාලනයේ නියුතු වූ දේශපාලනඥයන් රාශියකි. ඉන් හිටපු කථානායක අල්හාජ් ඇම්. ඒ. බාකීර් මාකාර් මහතාට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.

සිංහල, මුස්ලිම්, දෙමළ විවිධ ජාතිකයන් හා බෞද්ධ, ඉස්ලාම්, හින්දු, කතෝලික, විවිධ ආගමිකයන් සම්මිශ්‍රණය වූ බේරුවල ඡන්ද කොට්ඨාසයේ බහුතරයේ ආශීර්වාද දිනාගැනීමට භාග්‍ය උදාකර ගත්තේ එතුමාගේ උතුම් ආදර්ශවත් ක්‍රියාදාමයන් නිසාය. ‘ජාතික, ආගමික, සංහිඳියාව’ මාතෘකාව එතුමාගේ කාලයේ ලක්නුවූවා සේය. මුළු කොට්ඨාසය පුරාවටම පැවති සහෝදරත්වය, මිත්‍රත්වය, සුහදත්වය නිසා එවැන්නක් අවශ්‍ය නොවීය. කවුරුත් සමගිදමින් වෙලී සහජීවනයෙන් ක්‍රියා කළහ. ඒ එතුමාගේ දුරදක්නා නුවණින්, මනා කළමනාකරණයෙන් හා ක්‍රමවත් සංවිධානයේ මහිමයෙනි.

වර්ෂ 1917 මැයි මස 12 වැනිදා බේරුවල මරදානේ ‘හකිම් වීලා’ හිදී මෙළොව එළිය දුටු බාකීර් මාකාර් මහතාගේ මාපියන් වූයේ මොහොමඩ් මරික්කාර් හා රහිලා උම්මාය. කුඩා කළ බේරුවල මරදානේ පිහිටි ශ්‍රී ලංකාවේ පළමුවෙනි මුස්ලිම් බාලිකා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබීය. මේ වනවිට පියාගේ එකම සොහොයුරා වන ස්රායිල් ලෙබ්බේ මරික්කාර් කොළඹ අබ්දුල් හමීඩ් මාවතේ බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගියේය. මේ වනවිට බාකීර් මාකාර්ට වයස අවුරුදු 7 කි. බාකීර් මාකාර්ව ඉහත කී මරික්කාර් බාප්පා 1924 දී කොළඹ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට ඇතුළත් කළේය. ඉංග්‍රීසි භාෂාව පිළිබඳව කුඩාකල දැනීමක් නොතිබුණත් මෙහිදී ඔහුට ඉගෙනීමට ලැබුණේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. ධෛර්ය සම්පන්නව ක්‍රියා කොට ඉතා කෙටි කාලයකින් ඉංග්‍රීසි දැනුම ලබා ගත්තේය.

ඉංග්‍රීසි, සිංහල, දෙමළ, භාෂාත්‍රයම මැනවින් ලැබීමටත්, කියවීමටත් සමත්වීම නිසා පාසලේ පුස්තකාලයේ අධිපති ධුරයට ගුරුවරු බාකීර් මාකාර්ව පත්කර ගත්හ. මෙයින් ලිවීමට මෙන්ම අතිරේක පොත පත කියවා විසුරුණු දැනුම් සම්භාරයක් ලබා ගත්තේය. පාසලේ විවාද කණ්ඩායමේ නායකයා බවට තෝරාගත් බාකීර් මාකාර් ශිෂ්‍ය ජීවිතයේ ඉහළම තනතුර වන ප්‍රධාන ශිෂ්‍ය නායකයා වශයෙන් ද කටයුතු කිරීමේ භාග්‍ය උදාකර ගැනීමට සමත් විය.

කනිෂ්ඨ පාඨමාලා විභාගයෙන් සමත්ව කොළඹ සහිරා විද්‍යාලයට ඇතුළත් වූයෙන් විදුහල්පති ටී. බී. ජයා මහතා සමග සමීප සම්බන්ධතාවක් පවත්වා ගැනීමට මග පෑදුනි. සහිරාවේ එවකට ‘මජ්ලින්’ නමින් ශිෂ්‍ය පාර්ලිමේන්තුවක් විය. එහි කථානායක ධුරයට බාකීර් මාකාර් පත් වූයේ අනාගත කථානායක වීමේ පෙරහුරුවකට මෙනි. සිංහල, දෙමළ සාහිත්‍ය සංගම්වල සභාපති ධුර ද සහිරාවේ ඉසුලූ බාකීර් මාකාර් ක්‍රෙසන්ට් නම් විද්‍යාලයීය සඟරාවේ ප්‍රධාන සංස්කාරක ධුරය ද හෙබ වූයේය.

1939 දී කොළඹ නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිය හදාරා කළුතර අධිකරණයේ නීතිඥවරයෙකු ලෙස සේවය කළේය. මේ අතරතුර බේරුවල නගර සභාවට සභිකයන් තෝරා ගැනීමේ මැතිවරණයෙන් ජයගෙන 1950 දී නාගරික මන්ත්‍රීවරයෙක් බවට පත්විය. අනතුරුව බේරුවල නගරාධිපති ධුරය ද හෙබවූ බාකීර් මාකාර් මහතා මහා මැතිවරණ ගණනාවකදීම ජයපිට ජය හිමිකර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය කථානායක, කථානායක, අමාත්‍ය හා ආණ්ඩුකාර ආදී විවිධ වූ තනතුරු ඉසුළුවේය.

අඩසිය වසකටත් අධික දේශපාලන ගමන් මගේ ජයපිට ජය හිමිකර ගන්නට භාග්‍ය උදාකර ගත්තේ අන්කිසිවක් නිසා නොව බාකීර් මාකාර් මහතා තුළ ඇති ශ්‍රේෂ්ඨ ගුණාංගයන් නිසාමය. කුමන තනතුරු දැරුවත් එතුමා නිහතමානීය. සමාජවාදී යැයි කියාගන්නා ඇතැමුන්ට වඩා සාමානාත්මතාවයෙන් පොහොසත්ය. සහෝදරත්වයෙන්, මනුෂ්‍යත්වයෙන් උදාරය. විශිෂ්ඨය.

නියෝජ්‍ය කථානායක හා කථානායක තනතුරු දරද්දී පාර්ලිමේන්තුවේ ඇතැම් දඩබ්බර මන්ත්‍රීන් මෙල්ලකරමින් සහෝදරත්වයෙන්, විනයානුකූලව, සම්ප්‍රදායානුකූලව, ස්ථාවර නියෝග රකිමින් පාර්ලිමේන්තුව මෙහෙය වූ ප්‍රසන්න විලාසය ගැන අදත් කතාබහට ලක් වේ. කවුරුත් සෙනෙහසින් වැළඳගන්නා මුහුණ පිරුණු සිනහවෙන් යුතු බාකීර් මාකාර් නිවුණු තැනැත්තෙකි. එහෙත් අවස්ථානුකූලව ඔහු සැඩපරුෂය.

පරණ පාර්ලිමේන්තුවේ අන්තිම කථානායකයා ලෙසත්, අලුත් පාර්ලිමේන්තුවේ ප්‍රථම කථානායක ලෙසත්, පාර්ලිමේන්තුවේ අය-වැය විගණකාධිපතිවරයා ලවා පරීක්‍ෂා කරලීමේ ආරම්භකයා ලෙසත්, බාකීර් මාකාර් මහතා ඉතිහාසගතව ඇත.

බේරුවල නගර සභාවේ සභාපතිවරයා ලෙස ජනතා සේවය කරගෙන යද්දී රාජ්‍ය භාෂාව පිළිබඳ රට තුළ විශාල ආන්දෝලනයක් ඇතිවන්නට විය. විවිධ අදහස් මේ සම්බන්ධ පළවෙද්දී නොබියව ‘සිංහල රාජ්‍ය භාෂාව විය යුතු’ යැයි යෝජනාවක් සම්මත කර ගැනීමට මෙතුමා එඩිතර විය. මෙවැනි යෝජනාවක් ප්‍රථම වරට සම්මත වූයේ බේරුවලින් වීම කාගෙත් මවිතයට හේතු වුණේ එතුමා මුස්ලිම් ජාතිකයෙකු වූ නිසාය.

“යථාවාදී තථාකාරී” කීවා සේ එසේ යෝජනාව සම්මත කර නිහඬව නොසිටි බාකීර් මාකාර් මහතා සිය දරුවන්ට ද සිංහල භාෂාවෙන් ඉගෙනීමට සැලැස්සුවේය. දෙටු පුත් ඉම්තියාස් බාකීර් මාකාර්ව (වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී) සුප්‍රසිද්ධ සිංහල බෞද්ධ විද්‍යාලයක් වන කොළඹ ආනන්ද විද්‍යාලයටත්, කණිටු පුත් යාශීර් කොළඹ රාජකීය විද්‍යාලයටත්, දියණියන් වන ඩිනා, ෂම්මි, ෆසීහා, ෆාහිමා බම්බලපිටිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයටත් නහිලා දියණිය දර්ගා නගරයේ මුස්ලිම් බාලිකා විද්‍යාලයටත්, හසීබා දියණිය බිෂොප් විද්‍යාලයටත්, සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීමට ඇතුළත් කළේය.

පියාගේ අඩි පාරේ යමින්, පියාටත් සතුටු විය හැකි, පියාටත් ඔබ්බට ගිය, දේශපාලන, සමාජ සහ සම්බන්ධතා පවත්වාගෙන, ජාතික සමගියට උරදෙන, මහ මෙහෙවරක නිරතව සියලු ජාතීන්ගේම ජන ප්‍රසාදයට ගෞරවයට පත්ව සිටින ජනනායකයකු වන ජන සන්නිවේදන උපාධිධාරි අධිනීතිඥ ඉම්තියාස් බාකීර් මාකාර් අතිජාත පුත්‍රරත්නය මෙතුමාට ගෞරවයක් ගෙනදෙන බව කීම අතිශයෝක්තියක් නොවේ.

“අසීමිතව මුදල් උපයන ව්‍යාපාරවලට මම ඇලුම් නොකරමි. උත්තරීතර මනුෂ්‍යත්වය තුළින් මතුවන මානව දයාවත්, ආගමික භක්තියත්, ඉන් ඈත් වෙතැයි මා තුළ බියක් ඇති නිසයි ඒ.” එතුමාගේ මේ ප්‍රකාශය ගැන වචන කිහිපයක් අපි කතා කරමු.

ප්‍රදේශයේ වැදගත් ඓතිහාසික වෙද පරපුරකින් පැවත එන මෙතුමා කිසි කලෙක මුදල් පස්සේ දුවගිය දේශපාලනඥයකු නොවූවේය. ධන කුවේරයකු වීමට මෙතුමා තුළ බියක් ඇති වුණි. ඒ ඇයි? උතුම් මනුෂ්‍යත්වය ඉන් පලායන නිසාය. මානවදයාව ගිලිහෙන නිසාය. දූෂණයට, වංචාවට, හොරකමට ඇබ්බැහිවීමට සිදුවන නිසාය. මුදල් ඉපයීමට අත නොතබා තිත තැබුවේය. ඒ එදා එතුමන්ලා දේශපාලනය කළ හැටිය. වත්මන් දේශපාලනඥයන් ගැන කුමන කතා ද? බාකීර් මාකාර් මහතා වැනි මහත්මා දේශපාලනඥයන්ගේ අඩුවකින් මුළු රටම පෙළෙයි. එතුමන්ලාගේ අගය පෙරටත් වඩා රටටම දැනෙයි.

ආගමික ඉගැන්වීම් අනුව දිනකට පස්වතාවක් ආගම ඇදහීම එතුමා අකුරටම පිළිපැද්දේය. දැඩි ආගම් භක්තිකයකු ලෙස ක්‍රියාකළ

එතුමාගේම තවත් ප්‍රකාශයකි මේ.

“මම දෙවියන් වහන්සේ ගැන විශ්වාස තබමි. මා හිතන, මා පතන, මට අවශ්‍ය හැමදේ, දෙවියන් වහන්සේ මට ලබාදෙයි.”

බේරුවල ඡන්ද කොට්ඨාසයේ 70% ක්ම සිංහල ජාතිකයෝ ජීවත්වෙති. සිංහල ජාතිකයන් සෑම මැතිවරණයකටම ඉදිරිපත් වේ. ඒ හැම සිංහලයෙකුවම ප්‍රතික්ෂේප කර මුස්ලිම් ජාතික බාකීර් මාකාර් බේරුවල සිංහලයෝ පළවෙනියාට තෝරා ගත්හ. ඒ එතුමා තුළ ඇති උතුම් ගුණ යහපත්කම් නිසාමය. එතුමා ජාතික සමගිය එකමුතුව සංහිඳියාව අගය කළා පමණක් නොව ජීවිත පරිත්‍යාගයෙන් එය මුළු ආසනය පුරාම ආරක්‍ෂා කර ගත්තේය. බෞද්ධ භික්‍ෂූන්, කතෝලික පූජකතුමන්, ඉස්ලාම් මව්ලවිවරුන් ඉතා සමීප ඇසුරට ගෙන ජාතික සමගිය බිඳෙන සංහිඳියාව පළුදු වෙන කතාවක් කිසිදා කීවේ නැත. කිසිම ක්‍රියාවක් කිසිදා කළේ නැත.

මේ නිසා ප්‍රදේශයේ සංවර්ධනයක් ද, ජාතීන් අතර එකමුතුවක් ද වැඩිදියුණු වී කවුරුත් සාමයෙන් සමගියෙන් සංහිඳියාවෙන් යුතුව සහෝදරත්වයෙන් ජීවත් වූහ. අදටත් අවශ්‍ය මේ දූරදර්ශනය නොවේද? මේ චින්තනය නොවේද? අප සිතා බැලිය යුතු කාලය පැමිණ ඇතැයි මට සිතේ.

උපන් දේශයට ණය නොවන්නට උදාර අමිල සේවාවක් සිදු කළ හිටපු කථානායක බාකීර් මාකාර් මහතා වර්ෂ 1997 සැප්තැම්බර් මස

10 වැනිදා දැයෙන් සමුගත්තේය. නිහතමානී ඒ උතුම් මිනිසාගේ ගුණ 26 වැනි වරටත් අපි මෙසේ සිහිපත් කරමු. එතුමා පැතූ ආගමික සැනසීම ඒ අයුරින්ම ලැබේවා.

කොළඹ රාජකීය විද්‍යාලයේ
හිටපු නියෝජ්‍ය විදුහල්පති,
හේරස් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment