40+ කාන්තාවන්ට මතුවන අපහසුතා

827

වයස අවුරුදු 40 පමණ ඉක්මවූ පසු බොහෝ කාන්තාවන්ට මතුවන අපහසුතා රැසක් ඇත. එනම් රාත්‍රියට නින්ද නොයෑම, නිතර ඇඟපත වේදනාව, අලස බව, මතක ශක්තියේ දුර්වලතා ඇතිවීම, අධික ලෙස දහදිය දැමීම

වයස අවුරුදු 40 පමණ ඉක්මවූ පසු බොහෝ කාන්තාවන්ට මතුවන අපහසුතා රැසක් ඇත. එනම් රාත්‍රියට නින්ද නොයෑම, නිතර ඇඟපත වේදනාව, අලස බව, මතක ශක්තියේ දුර්වලතා ඇතිවීම, අධික ලෙස දහදිය දැමීම ආදියයි.

මෙම අපහසුතා ඇතිවීමට බලපාන රෝග කිහිපයක් හඳුනාගෙන ඇත. ඉන් ප්‍රධානතම රෝගය වන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයේ මතුවන දුර්වලතාවයන් ය. මෙය වර්තමානයේ බහුලව දැකිය හැකි රෝග තත්ත්වයකි.

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවීම

තයිරොයිඩ් ග්‍රන්ථිය (Thuroidgland) මගින් නිපදවන තයිරොක්සින් හෝමෝනය (Thiroxine Hormone) සිරුරට ඉතා වැදගත් හෝමෝනයකි. මෙමගින් සිරුරේ පරිවෘත්තීය ක්‍රියා පාලනය කරනු ලබයි.

එහිදී තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවී තයිරොක්සින් හෝමෝනය නිපදවීම අඩු වුවහොත් පරිවෘත්තීය ක්‍රියාවන්ගේ වේගය අඩුවේ.

එවිට අසාමාන්‍ය ලෙස සිරුරේ බර වැඩිවීම, කම්මැලි බව, උදාසීන බව, මහන්සිය, නිතර නිදිමත ඇතිවීම, ඔසප්වීමේදී වැඩිපුර රුධිරය පිටවීම, රක්තහීනතාවය, ඇඟපත මාංශ පේශී හා නිතර වේදනාව, සම වියළීම, හිසකෙස් යෑම, ආහාර අරුචිය ආදී රෝග ලක්‍ෂණ මතුවේ.

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය වැඩිවීම

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය වැඩිවී තයිරොක්සින් හෝමෝනය නිපදවීම වැඩි වුවහොත් සිරුර අසාමාන්‍ය ලෙස කෙට්ටුවීමට පටන් ගනී. සිරුරින් අධික ලෙස රස්නයක් දැනේ. එනම් ශීතල අවස්ථාවකදී පවා සිරුර තුළින් අධික ලෙස රස්නයක් හටගනී. දහදිය දැමීම අධික වේ. හෘදය වස්තුවේ ස්පන්දන වේගය වැඩිවේ. එවිට හෘද ස්පන්දනය එම පුද්ගලයාට දැනේ. නින්ද යෑම අඩුවේ. නුරුස්නා බවක් හටගනී. හිසකෙස් යාම අධික වේ. දෙපා ඉදිමීම, හෘදයේ ක්‍රියාකාරීත්වයේ දුර්වලතා හට ගැනීම සිදුවේ.

රෝගය හඳුනා ගැනීම

මතුව ඇති අසාමාන්‍ය රෝග ලක්‍ෂණ හට ගැනීමට බලපා ඇති හේතුව නිවැරදිව හඳුනාගෙන ප්‍රතිකාර ලබාගත යුතුය. ඒ සඳහා වෛද්‍ය උපදෙස් මත තයිරොක්සින් හෝමෝන පරීක්‍ෂාවක් සිදුකළ යුතුය.

ඉන් තයිරොක්සින් හෝමෝනයේ ගැටලුවක් ඇති බව හඳුනාගතහොත් ඊට අදාළ තයිරොක්සින් ප්‍රතිකාර ලබාදීම මගින් මතුව ඇති රෝග සුවපත් කරගත හැකිය.

මෙහිදී තයිරොක්සින් අධිකතාවයට හේතු කිහිපයක් බලපායි. තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටිති ඇතිවීම හෝ ප්‍රදාහයක් හටගෙන තිබිය හැකිය. එහිදී එම තත්ත්වයන්ට ප්‍රතිකාර ලබාදෙමින් තයිරොක්සින් ප්‍රතිකාර ලබාදීම කළ යුතුය.

ඇතැම් විට මෙවැනි රෝග ලක්‍ෂණ වෙනත් රෝග නිසාද මතුවේ. එනම් කෝටිසෝල් (Cortisol Hormone) හෝමෝනයේ අඩු වැඩිවීම නිසා කාන්තාවන්ගේ ආර්ථවහරණයෙන් පසු ඇතිවන ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන අසමතුලිතතා සහ රක්තහීනතාව නිසාද මෙවැනි රෝග ලක්‍ෂණ හටගනී. එනිසා නිවැරදි වෛද්‍ය උපදෙස් මත වෛද්‍ය පරීක්‍ෂාවකට යොමුවී මතුව ඇති අපහසුතා සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අවධානය යොමු කළ යුතුය.

40+ කාන්තාවන්ට මතුවන අපහසුතා

කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය විද්‍යා ජෝති
ප්‍රසාද් කටුලන්ද

advertistmentadvertistment
advertistmentadvertistment