කලකට පෙර මේ රටේ දූෂිත ආයතන අතර ශ්‍රී ලංකා පොලිසියේ නම කියැවිණි. පසුව දූෂිත රාජ්‍ය ආයතන ලයිස්තුවට ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, මෝටර් රථ දෙපාර්තමේන්තුව (RMV) දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව ආදිය ද ඇතුළත් වී තිබිණි. රට බංකොළොත් වූ ඉකුත් වසර වනවිට සියලුම රාජ්‍ය ආයතනම මේ දූෂිත ලේබලය ගසාගෙන මුළු මහත් ජනතාවම හිඟමනට වට්ටවා දමනු ලැබීය.

රට බංකොළොත් කර මිනිසුන් නන්නත්තාර කර දමා තිබෙන මේ මොහොතේදීත් පිරිසක් බොර දියේ මාළු බාමින් සිටී. ඊට ආසන්නතම සිද්ධියක් මේ දිනවල මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ සිදුවන බව අප හෙළි කළේ ඉකුත් බ්‍රහස්පතින්දා (30 දා)ය.

මෝටර් රථ දෙපාර්තමේන්තුව නොහොත් (RMV) එක මොන තරම් දූෂිත වී තිබුණේ දැයි කිවහොත් ගෝඨාභය රාජපක්‍ෂ ජනපති වූ පසුව හදිසියේම RMV එකට කඩා පැන එහි සිදුවන දේ නිරීක්‍ෂණයට ලක් කළේ හේතු ඇතුවය.

මීට වසර කිහිපයකට පෙර නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව ළඟ සිට බොරැල්ලටත්, පොල්හේන්ගොඩ දක්වාත් තැරැව්කරුවන් ගැවසුණ හැටි අපට තාම මතකය. ඇතැම් තැරැව්කරුවන් ටයිපටිවලින් තවත් අය සුදු සරමින් ද තවත් අය ටයි කෝට් ද පැලඳගෙන සිටි අයුරු ද මතකය. වාහනයක් ලියාපදිංචි කිරීමේ සිට වාහන හිමිකම මාරු කර ගැනීම දක්වාත්, රියැදුරු බලපත්‍ර ලබාගැනීම ආදී කාරණා සඳහාත් තැරැව්කරුවන් හමුවිය යුතුව තිබිණි. ලියකියවිලි පුරවා දීමේ සිට වැඩේ ඉක්මනින්ම කරවා ගැනීමට නම් මේ තැරැව්කරුවන්ට මුදල් ගෙවීමට මිනිසුන්ට සිදුවී තිබිණී. තැරැව්කරුවන් ඒ ගන්නා මුදලින් කොටසක් ගෙවනු ලැබුයේ මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටය. රජයෙන් මසකට ලබන වැටුප මෙන් සිය ගුණයක ආදායමක් ලැබූ ආර්එම්වී සේවකයන් මාලිගා පිට මාලිගා තනා අතිසුඛෝපභෝගී ජීවිත ගෙවන්නට පටන් ගත්තේ මෝටර් රථ දෙපාර්තමේන්තුවම සූදු පිටියක් බවට පත් කරමිනි.

විවිධ මට්ටමේ නිලධාරීන් ද එකට එකතු වී මේ ජාවාරම කරගෙන ගියේ කිසිදු හිරිකිතයකින් තොරවය. ප්‍රවාහන විෂයට පත්වන ඇතැම් මැති ඇමැතිවරුන්ට ද මේ අල්ලස් මුදලින් කොටස් ලැබුණ බව රජයේ විගණකාධිපතිවරයා වසර ගණනාවක සිට සිය වාර්ෂික විගණන වාර්තාවලින් පෙන්වා දී ඇත. නමුත් මේ දූෂිත වැඩ නතර වූයේ නැත. ගඟ ගලා යන්නා සේ වැඩේ කරගෙන ගියේ සියලු පාර්ශ්වවල ආශිර්වාදය ලබමිනි.

මේ කාරණයේදී තවත් එක් සුවිශේෂී කාරණයක් මතක් නොකරම බැරිය. ඒ කාරණය වූ කලී චිපය සහිත රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ව්‍යාපෘතියයි.

චිපය සහිත රියැදුරු බලපත්‍ර සංකල්පය කාගේ එකක් දැයි අප දන්නේ නැත. චිපය සහිත රියැදුරු බලපත්‍රයක් හඳුන්වා දුන්නේ රියැදුරන් සිදුකරන මාර්ග නීති කඩකිරීම් පිළිබඳ දත්ත ඇතුළත් කිරීමටය. ඒ අනුව මාර්ග නීති කඩන රියැදුරන් හසුවූ විට අදාළ චිපය සහිත රියැදුරු බලපත්‍රයෙන් තොරතුරු ගැනීමට පොලිසියට ඉඩ සලසා දීම එහි අරමුණය. චිපය සහිත රියැදුරු බලපත්‍රය මුද්‍රණය කළත් පොලිසියට ඒ සඳහා අවශ්‍ය උපකරණ අදටත් ලබාදී නැත. රියැදුරන් සිදුකරන වැරදිවලට අනුව ලකුණු කැපෙන ක්‍රමවේදයක් සැකසීම මෙහි අරමුණ වී තිබිණි.

2009 වසරේ දී ආරම්භ වූ චිපය සහිත රියැදුරු බලපත්‍ර මුද්‍රණය භාර කළේ මෙරට පිහිටි පුද්ගලික සමාගමකටය. ඒ අනුව ඉදිකර පවත්වාගෙන ගොස් පවරාදීම (BOT) සිදුකළ යුතුව තිබුණේ 2016 වසරේදී ය. රියැදුරු බලපත්‍රයක් ලබාගැනීමට පුද්ගලයකුගෙන් රුපියල් 2000ක මුදලක් ලබා ගනිද්දී ඉන් රුපියල් 1571ක්ම ගියේ අදාළ පුද්ගලික සමාගමටය. ඒ මුද්‍රණ වියදම ලෙසිනි. ඒ අනුව මසකට රියැදුරු බලපත්‍ර 60,000ක් පමණ මුද්‍රණය කළ අතර අදාළ සමාගමට වසරකට රුපියල් කෝටි දහයකට ආසන්න ආදායමක් මින් ලැබුණ බව විගණන වාර්තාවල සඳහන්ය. හිටපු ඇතැම් මැති ඇමැතිවරුන්ගේ සිට ඇතැම් කොමසාරිස්වරුන්ට එක් රියැදුරු බලපත්‍රයක් මුද්‍රණයේ දී අදාළ සමාගම රුපියල් දහයක කොමිස් මුදල් ගෙවා ඇතැයි ද විගණනයේ දී නිරීක්‍ෂණය වී තිබිණි.

2009 සිට වසර හතකට පසු එනම් 2016 දී මෙකී සමාගම ඒ මුද්‍රණ කටයුත්ත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පවරා දීමට ගිවිසුම් ගතව තිබුණත් එම සමාගම ඊට පසුව ද මුද්‍රණය දිගටම කරගෙන ගියේ රජයට ලැබිය යුතුව තිබූ රුපියල් කෝටි එකසිය විස්සක පමණ මුදලක් ඔවුන් හා දෙපාර්තමේන්තු ඇතැම් නිලධාරීන්ගේ සාක්කුවල දමා ගනිමිනි.

හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ, මෝටර් රථ දෙපාර්තමේන්තුවට හදිසියේ කඩා වැදුන පසු රියැදුරු බලපත් මුද්‍රණය සඳහා අදාළ සමාගම ගත් රුපියල් 1571ක මුද්‍රණ වියදම් ගාස්තුව රුපියල් 1000ක් දක්වා පහළ දැමුයේ වසර නවයක් පුරා කරගෙන ගිය ජාවාරම යම් සාධාරණ මට්ටමකට අඩු කරමිනි. නමුත් අවසානයේ දී චිපය සහිත රියැදුරු බලපත්‍ර මුද්‍රණය ශ්‍රී ලංකා යුද හමුදාවට භාරදුන් පසු සමාගම කරගෙන ගිය ජාවාරම අවසන් විය.

මේ අතරතුර රටේ ආර්ථිකය කඩාවැටිණි. මෝටර් රථ ආනයනය නතර කෙරිණි. ඩොලර් නොමැතිවීම නිසා රියැදුරු බලපත්‍ර මුද්‍රණය කරන කාඩ් මිලදී ගැනීමට නොහැකි වී ගියේය. දිය බොර වූ පසු මාළු බෑම පහසුය. කාඩ් හිඟය නිසා රියැදුරු බලපත්‍ර මුද්‍රණය සීමා වී ගියේය. දැනට රියැදුරු බලපත්‍ර මුද්‍රණය කරදෙන්නේ විදෙස්ගත වන හා අත්‍යවශ්‍ය පිරිසකට පමණි. ඒ අනුව දිනකට මුද්‍රණය කරන රියැදුරු බලපත්‍ර ප්‍රමාණය හයදහසේ සිට සියයකට දෙසීයකට සීමා විය. වේරහැර කාර්යාලයේ හොර පාරෙන් දිනකට රියැදුරු බලපත්‍ර හත්සියයක් අටසියයක් මුද්‍රණය කරන බවට එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී. ඒ සඳහා රියැදුරු බලපත්‍ර ඉල්ලුම් කරන අයකු රුපියල් පන්දහසක අල්ලස් මුදලක් තැරැව්කරුවන්ට ලබාදිය යුතු බව ද කියැවේ. ඒ අනුව නිලධාරියෙකුට සතියකට ලැබෙන අමතර ආදායම රුපියල් ලක්‍ෂ දහයක් ලක්‍ෂ, විස්සක් අතර උපයා ගතහැකි බවද සඳහන්ය. මේ වනවිට කාඩ්පත් නොමැති නිසා රියැදුරු බලපත්‍ර ලක්‍ෂ දහයක් ලබාදීමට නොහැකිව ගොඩගැසී ඇත. ඒ වෙනුවට බාදෙන්නේ තාවකාලික ලියැවිල්ලකි.

මේ සම්බන්ධයෙන් වත්මන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතාගෙන් විමසූවිට ඒ මහතා ද කියා සිටියේ කාඩ් නොමැති නිසා රියැදුරු බලපත්‍ර ලක්‍ෂ නවයක් ලබාදීමට නොහැකි වී තිබෙන බවයි. ඉදිරි මාස කිහිපය තුළ එම ප්‍රශ්නය නිරාකරණය කරන බව ද ඒ මහතා කීය. වේරහැර සිදුවන ජාවාරම පිළිබඳ යම් පැමිණිල්ලක් ලැබුණ හොත් ඒ පිළිබඳ සොයා බලා පියවර ගන්නා බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. වේරහැර කාර්යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන කොමසාරිස්වරයා මේ සිදුවන බව කියන හොර පාරෙන් රියැදුරු බලපත්‍ර මුද්‍රණ කිරීමේ ජාවාරම දන්නේ දැයි නොදන්නේ දැයි අප දන්නේ නැත. එහෙව් ජාවාරමක් සිදුවන්නේ නම් ඒ පිළිබඳ සොයා බලා පිළියම් යෙදීම වේරහැර කොමසාරිස්ට භාර වගකීමකි. රට ම බංකොළොත්ය. එහෙව් මොහොතකවත් මේ ජාවාරම් නතර නොකරන උන් පණපිටින් අපාගත යුතු නොවේ ද?

හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හෙළුව පෙන්වා ඇමැතිකමද ජාවාරම්කරුවන්ට දී ගිය හැටි මතකය. ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් හා හදිසි මිලදී ගැනීම් යටතේ 2021-2022 වසරවල දී මෙරටට ගෙනා ඉන්ධන වෙනුවෙන් ප්‍රමාද
ගාස්තු ලෙස ඇමරිකානු ඩොලර් දාහත් කෝටි අටලක්‍ෂ හැත්තෑ තුන්දහසක් (170,873,816) ගෙවා ඇතැයි රජයේ විගණකාධිපති හෙළිකර ඇත.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ අය රියැදුරු බලපත්‍රයක් සඳහා රුපියල් පන්දහසක් අල්ලස් ලෙස ගන්නේ නම් ඒ පිළිබඳ සොයා බැලිය යුතු නොවේ ද?

****

දිවයින පුවත පල දරයි…දූෂිත නිලධාරීන් පන්නා දමනවා
ඇමැති ලසන්ත කියයි

RMV යේ හොර ලයිසන් ජාවරම…සතියකට ලක්ෂ 10ක් ගෙදර ගෙනියනවා

කාඩ් නොමැති නිසා රියැදුරු බලපත්‍ර (ලයිසන්) ලක්ෂ දහයක් ගොඩගැසී ඇති බවට ඉකුත් බ්‍රහස්පතින්දා (30 වැනිදා) ‘දිවයින’ පුවත්පත මුලින්ම කළ හෙළිදරව් කිරීමෙන් පසු ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා ඒ පිළිබඳව වහා සොයා බලා තිබේ.

ඒ අනුව වේරහැර කාර්යාලයට ගිය ඇමැතිවරයා කාඩ්පත් මුද්‍රණය සඳහා වහා මැෂින් තුනක් ලබාගෙන මාස හයක් තුළ අදාළ රියැදුරු බලපත්‍ර මුද්‍රණය කර අවසන් කළ යුතු බවට දැනුම් දී ඇත. මෙම රියැදුරු බලපත්‍ර මුද්‍රණය නොවීම සම්බන්ධයෙන් ‘දිවයින’ පුවත්පත කළ හෙළිදරව්වට පුවත්පතට ස්තුතිය පිරිනැමීමට ද ඇමැතිවරයා අමතක කළේ නැත. එපමණක් නොව මෙම කාඩ්පත් මුද්‍රණය නතර වීමෙන් යම් නිලධාරීන් පිරිසක් එය ජාවාරමක් කරගෙන තිබේ නම් ඔවුන් පිළිබඳව කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා බව ඇමැතිවරයා එහිදී කියා සිටියේය. පුවත්පත මගින් කළ හෙළි කිරීමත් සමග එදිනම ඒ පිළිබඳව සොයා කඩිනමින් පියවර ගත් ඇමැතිවරයාට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ අදූෂිත සේවකයන් පෙරළා ස්තුතිය පිරිනමා තිබේ.

මෙම ලයිසන් ජාවාරමට සම්බන්ධ ඉහළ නිලධාරියා ඇතුළු පිරිස වහා මාරු කර නීතිමය පියවර ගන්නා බව ද ඇමැතිවරයා එහිදී පොරොන්දු වී ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment