අපේ බිත්තරේ ගණන් බැස්සූ ඉන්දියන් බිත්තරේ විස්තරේ

872

බිත්තර කිලෝවක් රුපියල් 900 යි…

මේ වෙනකොට රට තුළ බිත්තර හිඟයක් නෑ…

මේ වසරේ අන්තිම වෙනකොට බිත්තරයක මිල රුපියල් 25 ට අඩු වෙනවා…

දේශීය බිත්තර කර්මාන්තයේ දැනට දවසකට බිත්තර ලක්‍ෂ 50 ක් නිෂ්පාදනය කෙරෙනවා…

කරි චිකන් කිලෝවක තොග මිල 600 ට අඩුයි…

අපේ රට මස්, බිත්තරවලින් ස්වයංපෝෂිත රටක් බව හිටපු කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අභිමානයෙන් පැවැසූ අයුරු මතකය. ඒ කතාව සැබෑවක් බව මස්, බිත්තර නිෂ්පාදකයෝ ද අප සමඟ පැවසූහ. වාර්තා වන ආකාරයට මෙරට මාසයකට බොයිලර් කුකුළු මස් මෙටි්‍රක් ටොන් විසිදහසකට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරිණි. මෙරට දිනක බිත්තර පරිභෝජනය ලක්‍ෂ අසූපහකට ආසන්නව තිබිණි. වයඹ පළාතෙන් පමණක් දිනකට බිත්තර ලක්‍ෂ හැටක් පමණ වෙළෙඳපොළට නිකුත් කරන බව වාර්තා විය. එහෙව් රටක අද බිත්තර ඉන්දියාවෙන් ආනයනය කරන තත්ත්වයට පත්වීම කරුමයක් පඩිසම්දීමක් බව සැබෑය. එම කරුමය පඩිසම්දීම පටන්ගත්තේ පවතින ආර්ථික අවපාතයත් සමඟ කුකුළු මස්, බිත්තර කර්මාන්තයට ලබාගන්නා දේශීය සහ ආනයනික අමුද්‍රව්‍යවල මිල 200% සිට 400% දක්වා වැඩිවීමත් සමඟය. වැඩි මිලට හෝ ලබාගැනීමට රට තුළ අමුද්‍රව්‍ය නොතිබීම නිසාය.

කුකුළු ගොවිපළවල සතුන්ට ආහාර වශයෙන් ලබාදෙනුයේ රයිස් පොලිෂ්, හුණු සහල්, බඩඉරිඟු, පුන්නක්කු සහ සෝයා ය. රුපියල් 10 – 15 ට බිත්තර මිල පවතින කාලයේ මෙරට වෙළෙඳපොළේ රයිස් පොලිෂ් කිලෝවක මිල රුපියල් 45 – 48 ක් අතර මිලකට පැවතිණි. ඩොලරයේ අගය ඉහළ යෑමත්, ආනයනය සීමා කිරීම තුළ රයිස් පොලිෂ් කිලෝව රුපියල් 110 – 120 දක්වා මිල වැඩි විය. රුපියල් 55 ට තිබුණු හුණුසහල් කිලෝව 145 ට වැඩි විය. බෝල් හාල් කිලෝව 125 ට, පිදුරු ට්‍රැක්ටරය රුපියල් 5000 ට වැඩි විය. දහයිය බෑගය රුපියල් 150 ක් විය. රුපියල් 35 ට තිබුණු පුන්නක්කු කිලෝව රුපියල් 100 ට වැඩි විය. සෝයා කිලෝවක මිල 500 ආසන්නයට ගියේය. බඩ ඉරිඟු කිලෝව රුපියල් 175 ට ඉහළ ගියේය. 2021 වර්ෂයේ මාර්තු මාසය වන විට රුපියල් 85 ට තිබුණු බොයිලර් කුකුළු කෑම කිලෝව රුපියල් 345 දක්වා වැඩි විය. වැට් බදු නොමැතිව බොයිලර් කුකුළු කෑම කිලෝ පනහක මල්ලක් රුපියල් 17250 ක් දක්වා වැඩි විය. ආනයනික අමුද්‍රව්‍ය මිල 200% – 300% න් ඉහළ යන අතරේ සතුන්ට ලබාදෙන විටමින් වර්ගවල මිල 400% න් පමණ ඉහළ ගියහ. දවස් තිහකට වැඩි සෑම කුකුළන් හයදෙනකුටම කෑම කිලෝවක් ලබාදිය යුතුය. එක් සතෙකුට දිනකට කෑම ග්‍රෑම් 120 ක් අනිවාර්යෙන් ලබාදිය යුතුය.

කුකුළු මස්, බිත්තර කර්මාන්තය පෙනෙන තරම් සුන්දර නැත. ඩොලරයේ අගය ඉහළ ගොස්, රට තුළ දැඩි ආර්ථික ආහේනියක් උද්ගතවීමත් සමඟ කුකුළු මස්, බිත්තර කර්මාන්තය බින්දුවට ම වැටිණි. එම කඩා වැටීම ගැන මස්, බිත්තර නිෂ්පාදකයන් තේරේන භාෂාවෙන් බලධාරීන්ට සහ නිලධාරීන්ට පැහැදිළි කර දුන් වාර අනන්තය. මාධ්‍ය හරහා රටේ ජනතාව දැනුවත් කළ අවස්ථා කිහිපයකි. එහෙත් විසඳුමක් නොලැබිණි. දේශීය කුකුළු මස්, බිත්තර නිෂ්පාදකයන් ආරක්‍ෂා කරගෙන කර්මාන්තය සුරක්‍ෂිත කිරීමට පවතින රජය විසඳුමක් ලබා නොදුන්නේය. හිතා මතා කුකුළු මස්, බිත්තර කර්මාන්තය කඩා වැටීමට ඉඩ හැර විසඳුමක් විදිහට බිත්තර ඉන්දියාවෙන් ආනයනය කරන තැනට පත් කළේය. මේ වෙනකොට බිත්තර මිලියන තිහක් ආනයනය කර ශීතාගාරවල තබාගෙන ටික, ටික වෙළෙඳපොළට නිකුත් කරන්නේය. මස්, බිත්තරත් ආනයනය කරන රටේ දේශීය කුකුළු මස්, බිත්තර කර්මාන්තයේ අනාගත අඳුර දකින නිෂ්පාදනකරුවන් ඉතිරි වී සිටින සතුන් ද ඕල්සේල් මසට විකුණති. මේ වෙනකොට කරි චිකන් කිලෝවක තොග මිල රුපියල් 650 ට අඩු වී ඇත. හෙට අනිද්දා වන විට තවත් අඩු වන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදනකරුවන්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක අප සමඟ පැවසුවේය.

“අරගල නතර වෙලා සෙමෙන් රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙනකොට අපේ මිනිස්සුත් තියෙන සොච්චම වියදම් කරලා මවු සත්තු ගෙනත් කුකුළු ෆාම් පටන් ගත්තා. බිත්තර වෙළෙඳාමත් පණ ගහලා නැඟිටගෙන ආවා. එවැනි පසුබිමක ආණ්ඩුව ඉන්දියාවෙන් බිත්තර ගෙනත් තිස්පහට දෙන්න සූදානම් වුණා. දේශීය බිත්තර නිෂ්පාදනය නැත්තටම නැති වෙයි කියා හිතපු අපේ මිනිස්සු මවු සත්තු ටික මස්වලට විකුණලා පාඩුව අවම කරගන්න උත්සාහ කළා. සාමාන්‍යයෙන් සත්තු දාහක් හදන්න රුපියල් ලක්‍ෂ තිස්පහක් වියදම් වෙනවා. මසට විකුණුවා කියලා වියදම පියවෙන්නේ නෑ. ඒකෙන් වුණේ රුපියල් 750 ට තිබුණු කරි චිකන් කිලෝවක තොග මිල රුපියල් 600 ට විතර අඩු වෙච්ච එක විතරයි. සත්තු ටිකත් ආරක්‍ෂා කරගෙන කර්මාන්තයත් රැකගන්න ඕන නිසා තමයි කිලෝ ගාණට බිත්තර විකුණන්න අපි සැලසුම් කළේ. කිලෝවක් රුපියල් 900 යි. ලොකු, පොඩි කලවමේ බිත්තර විස්සක්, විසිඑකක් කිලෝවකට අල්ලයි. පාරිභෝගිකයටත් වාසියි. ඉන්දියාවෙන් ගේන කුණු බිත්තර නොකා නියම ප්‍රමිතියට හදන දේශීය බිත්තර කෑම ජනතාවගේ ශරීර සෞඛ්‍යයටත් යහපතක්. අපේ කර්මාන්තයත් ආරක්‍ෂා වෙනවා. කිලෝ ගාණට බිත්තර විකුණන එකටත් රජය බාධා කළොත් අපි බිත්තර නිෂ්පාදනයෙන් ඉවත් වෙනවා…” උද්ගතව ඇති බිත්තර ගැටලුවට විසඳුමක් නොව පැලැස්තරයකි. එහෙත් මේ උත්සව කාලයට පාරිභෝගික ජනතාවට විශාල සහනයකි.

අපේ බිත්තරේ ගණන් බැස්සූ ඉන්දියන් බිත්තරේ විස්තරේ

ආනයනික ඉන්දියන් බිත්තරවල බර ග්‍රෑම් 40 ට වැඩි නැත. දේශීය බිත්තරවල බර ග්‍රෑම් 50 සිට 70 දක්වා වැඩි වේ. දේශීය බිත්තරවල බර වැඩි වී ඇත්තේ දෛනිකව සතෙකුට ලබාදෙන කෑම ප්‍රමාණය වැඩි නිසාය. සත්ව ආහාර නිෂ්පාදනයට නම් දිනාගෙන සිටින ඉන්දියාවේ කුකුළු ගොවිපළවල දිනකට එක් සතෙකුට ලබාදෙන කෑම ප්‍රමාණය ග්‍රෑම් 70 කි. එමෙන්ම දේශීය බිත්තරවලට සාපේක්‍ෂව කිලෝවකට අල්ලන ආනයනික බිත්තර සංඛ්‍යාව වැඩිය. එහෙත් සතුන්ට ලබාදෙන කෑම ප්‍රමාණය අඩු නිසා ඉන්දියන් බිත්තරයේ අඩංගු පෝෂණීය ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙන බව සැබෑය. එමෙන්ම ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පෙර පසුගිය කාලයේ මෙරට බිත්තර හිඟයක් පැවැති බවද අපට අමතක නැත. මිල පාලනය කිරීමට බිත්තර ලක්‍ෂ ගණන් ආණමඩුව ප්‍රදේශයේ කැලෑවකට අතහැර තිබුණු බව ද වාර්තා විය. එම බිත්තර විනාශ කිරීම ගැන ද සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපතිවරයාගෙන් අපි විමසා සිටියෙමු.

“රුපියල් 45 ට බිත්තරයක් දෙන්න පුළුවන්කම තිබියදී, බිත්තර ලක්‍ෂයක් කුණු කරන්න තරම් මන්දබුද්ධික ගොවියො මේ කර්මාන්තයේ නෑ. ඒ කැලේට ගිහින් දාලා තිබුණේ අභිජනන මධ්‍යස්ථානවල බිත්තර රක්කලා ඉතුරු වෙච්ච කටු. සාමාන්‍යයෙන් බිත්තර ගෙඩි 100 ක් රක්කනකොට සත්තු උපදින්නෙ 60 යි. ඉතිරි බිත්තර 40 කුණු වෙනවා. ඒ කුණු බිත්තරත් ඒ කටු ගොඩටම එකතු වෙනවා. ඒ කැලයට බිත්තර කටු දාපු පළමු අවස්ථාව නෙමෙයි. කාලයක ඉඳලා බිත්තර කටු දාන තැනක්. කන්න ඕන වුණාම කබරගොයත් තලගොයා කර ගත්ත වගේ වැඩක්. රට තුළ බිත්තර හිඟයක් හදන්න, බිත්තර නිෂ්පාදකයන් ඒකාධිකාරියක් හදාගෙන ඉන්න බව රටේ ජනතාවට පෙන්වන්න කරන කුණු වැඩ. මේ වෙනකොට රට තුළ බිත්තර හිඟයක් නෑ. කුඩු, ගංජා විකුණන තත්ත්වයට බිත්තර වෙළෙඳාම පත් කරලා හිඟයක් නිර්මාණය කරන්න හදන්නෙ පරිභෝගික අධිකාරිය. කිසිම ප්‍රතිපත්තියක් නැති පාරිභෝගික අධිකාරිය සුපර් මාර්කට්වල රුපියල් 65 ට බිත්තර විකිණීමට අවසර ලබා දීලා තියෙනවා. ඉන්දියන් බිත්තර 35 ට විකුණන්න අවසර දීලා තියෙනවා. අපිටත් බාධක දාන්නෙ නැතිව සාධාරණ මිලකට බිත්තර විකුණන්න අවසර ලබාදෙනවා නම් මේ ගැටලුව ඉවරයි. ඒ වගේම දෙසැම්බර් මාසය වෙනකොට මේ රටේ බිත්තර අතිරික්තයක් නිර්මාණය වෙනවා. බිත්තරයක මිල රුපියල් 25 ට අඩු වෙනවා. මම මේ කතා කරන්නෙ විශ්වාසයෙන්. පරිභෝගික ජනතාවට බොරු කියන්න අපි සූදානම් නෑ…” සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපතිවරයාගේ කතාවට එම සංගමයේ ලේකම්වරයා ද අඩු වැඩි එකතු කළේය. හේ අලහකෝන් ය. මේ ඔහු කියන කතාවය.

“පහුගිය අවුරුද්දේ අගෝස්තු මාසෙ 19 වැනිදා බිත්තර මිල පාලනයට ගැසට් එක නිකුත් කරනකොට බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් 49 යි. පාලන මිල 43 යි. අපේ මිනිස්සු තවත් නන්නත්තාර වුණා. ඒත් අපි කර්මාන්තය අතහැරියෙ නෑ. අවුරුදු දෙකක් වැටිලා තිබුණු කර්මාන්තය නැඟිට්ටවන්න උපරිමය කළා. මේ වෙනකොට ගොවිපළවල අලුත් සත්තු හැදෙනවා. තව මාස හතරහමාරක්, පහක් සතුන්ට කන්න බොන්න දීලා පෝෂණය කරන්න ඕනෑ. ඊට පස්සෙ තමයි ඒ සතුන් අපිට බිත්තර දෙන්න පටන් ගන්නෙ. දැනටත් දවසකට බිත්තර ලක්‍ෂ 45 ක් 50 ක් වෙළෙඳපොළට නිකුත් කරනවා. ලබන මාසෙ වෙනකොට ඒ ප්‍රමාණය තව වැඩි වෙනවා. දේශීය බිත්තර නිෂ්පාදකයන් එවැනි බිත්තර ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කළාට, විදේශීය ණය ලැබිලා, ඉන්ධන, ගෑස් මිල අඩු වුණාට බිත්තර නිෂ්පාදනයට ලබාගන්න කිසිම අමුද්‍රව්‍යයක මිල තවම අඩු වෙලා නෑ. ඩොලරයේ අඩු වීම, ඉන්ධන මිල අඩුවීමේ වාසිය අපිට ලැබෙන්නෙ තව මාසයකින් විතර. දැනටත් බිත්තරයක් නිෂ්පාදනය කරන්න රුපියල් 42 ක් වියදම් වෙනවා. ඉදිරියේදී ඒ මුදල අඩු වෙයි. එතකොට බිත්තරයක මිලත් අඩු කරනවා. අපි අද ඉඳලා හෙට පිටරටකට යන මිනිස්සු නෙමෙයි. ඒ වගේම ජනතාව විඳවන ජීවන පීඩනය අපට දැනෙනවා. පරිභෝගික ජනතාවට උපරිම සාධරණයක් කරලා මේ කර්මාන්තය පවත්වාගෙන යෑමට අවස්ථාවක් ලැබුණොත් ඒ හොඳටම ප්‍රමාණවත්…” වැසී තිබූ කුකුළු ගොවිපළවල් නැවත විවෘත වී තිබෙන බවට ඔහු කියන කතාව අපිදු දෑසින් දුටිමු. වයඹ පළාතේ කුලියාපිටිය, කොබෙයිගනේ, බිංගිරිය, හෙට්ටිපොළ, නිකවැරැටිය, උඩුබද්දාව සහ වාරියපොළ ප්‍රදේශ රැසක ගොවිපළ කිහිපයකට ගිය අපට විසල් කූඩුවල එක, එක ප්‍රමාණයේ සතුන් වැඩෙන අයුරු දැක ගැනීමට ලැබිණි. සේවකයන් ලහි, ලහියේ වැඩ කරන අයුරු ද පෙණිනි. බිහල්පොළ ගොවිපළක ඇවිද යන විට සේවිකාවක් පැවසූ වචන ටික දැනුදු මගේ හදවතට දැනේ.

අපේ බිත්තරේ ගණන් බැස්සූ ඉන්දියන් බිත්තරේ විස්තරේ

“සෑම සත්ව ගොවිපළකම වැඩ කරන්නෙ දුප්පත්ම මිනිස්සු. බහුතරයකට හරි හැටි අධ්‍යාපනයක් නෑ. මේ කර්මාන්තය නැති වුණොත් ඒ මිනිසුන්ට, දරු පවුල්වලට යන කලදාසව ගැන හිතාගන්නවත් බෑ. පිටරටින් බිත්තර ආනයනය කළොත් මේ ගොවිපළවල සේවකයෝ තවත් අඩු වෙනවා. දැනටත් භාගෙට, භාගයක් සේවකයෝ අඩු කරලා තියෙන්නෙ…” ඇයගේ කතාව කෙටිය. එහෙත් ඒ කෙටි වචන කිහිපයේ ගැබ්ව ඇති අරුථ ගැඹුරුය. ලොකු, කුඩා කුකුළු ගොවිපළවල අයිතිකරුවන් මෙන්ම සේවකයන් විශාල පිරිසක් කර්මාන්තයේ හෙට දවස ගැන අපව දැනුවත් කළහ. ඔවුන්ගේ ජීවන ගැටලු ගැන ද අපට කීහ. හද පාරවන කතා විනා සතුටු වචන කිසිවක් නැත. කණ වැකෙන සියලු කතා අප මෙන් අසා සිටි ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් අවසානයේ මෙසේ පැවසීය.

පාරිභෝගික ජනතාවට අපි කියන්නෙ මෙච්චරයි. ඇමැතිවරු කියන විදිහට කන්න ලෑස්ති වෙන්න එපා. ඔය දේශපාලනඥයන් අවුරුදු හැත්තෑපහක්ම මේ රට කෑවා. දැනටත් කනවා. වාර්තා වන ආකාරයට ඉන්දියාවෙන් ආනයනය කරලා තියෙන බිත්තරයක සම්පූර්ණ වියදම රුපියල් 20 ක් වෙන්නෙ නෑ. ඒත් දේශීය වෙළෙඳපොළේ අලෙවි කරන්නෙ 35 ට. අදාළ ඇමැතිවරුන්ට, නිලධාරීන්ට කල්ල මරේ. මේ රටේ බිත්තර අර්බුදයක් නිර්මාණය කළා. ඉන්දියාවේ විකුණගන්න බැරි බිත්තර අඩු මුදලට ගෙනත් අපේ රටේ වැඩි මුදලට විකුණන්න ගහපු ගේම් එකක්. සැලසුම සාර්ථකයි. බිත්තර මිලියන 30 ක් ගෙනාවා. දැන් විකුණගන්න බැරිව දඟලනවා. ඉන්දියන් බිත්තර කන්න පාරිභෝගික ජනතාව බයයි. විදේශීය සංචාරකයන් ඊටත් වඩා බයයි. ඒ වගේම ඉන්දියාවේ කුරුළු උණ වසංගතය හැම තැනම. ආනයනික බිත්තර සමඟ කුරුළු වුණත් අපේ රටට ආවොත් කවුද වගකියන්නෙ. කොමිස් කුට්ටි ගන්න ඇමැතිවරු ඒකත් ජනතාව පිට පටවා ෂේප් වෙයි. ඒ නිසා සෑම පුරවැසියෙක්ම දේශීය බිත්තර පමණක් නෙමෙයි දේශීය නිෂ්පාදන මිලදී ගන්න ප්‍රමුඛස්ථානය ලබාදිය යුතුයි. දේශීය කර්මාන්තවල සේවය කරන්නෙ මේ රටේ දුප්පත් මිනිස්සු. ඔවුන්ව ජීවත් කරවන්න දේශීය කර්මාන්ත ශක්තිමත් කරන්න ඕනෑ. අදාළ මැති, ඇමැතිවරු එන්න ඕන ගමනක් අපි ආවේ රටේ ජනතාවට ඇත්ත කියන්න. ඒ වගේම නැවත මේ රටට බිත්තර ආනයනය කරන්න අපි ඉඩ දෙන්න නෑ. මේ රට මස්, බිත්තරවලින් ස්වයං පෝෂිතව තිබුණු රටක්. නැවත ඒ වසන්ත කාලය උදා කරන බවට බිත්තර ගොවියෝ අපිට පොරොන්දු වුණා. පිටරටට ආවඩන ක්‍රමය දැන්වත් නතර කරන්න රටක් වශයෙන් අපි එකතු වෙමු…” අසේල සම්පත්ගේ හඬ තනි නැත. කුඩා හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර, ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති වනසිංහ සහ මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත ද අසේල සම්පත්ට ශක්තියක් වෙමින් දේශීය කුකුළු මස්, බිත්තර කර්මාන්තය පමණක් නොව සියලු දේශීය කර්මාන්තවල උනන්තිය වෙනුවෙන් දිවිහිමියෙන් කටයුතු කරන බව පවසා සිටියහ. ඔවුන්ගේ කැපවීම කර්මාන්තකරුවන්ට මෙන්ම පාරිභෝගික ජනතාවට ශක්තියක් බව අපගේ අදහසය.

බිත්තර යනු සොබාදහම විසින් නිර්මාණය කරන ආහාරයකි. එමෙන්ම ඈත අතීතයේ සිට මිනිසා බිත්තර පරිභෝජනය කර ඇත. ශරීරයට උරාගැනීමේ ශක්තිය බිත්තරවල 90% කි. උරාගැනීමේ ශක්තියෙන් බිත්තර දෙවැනි වන්නේ මව් කිරිවලට පමණි. එහෙයින් බිත්තර මිනිසාට අත්‍යවශ්‍ය ආහාරයකි. ඊශ්‍රායල් මහාචාර්යවරයෙක් වන ඩේවිඩ් එස්. සැමුවෙල් ඇතුළු කණ්ඩායමක් විසින් මිනිසාගේ මොලයේ ශෛල දියුණු කිරීමට අවශ්‍ය පෝෂ්‍යදායි ආහාර ගැන සිදු කළ පර්යේෂණයකදී මොලයේ ශෛල වර්ධනයට මෙන්ම ශරීරයේ ක්‍රියාකාරීත්වයට බිත්තර පරිභෝජනය අත්‍යවශ්‍ය බව සොයාගෙන ඇත. බිත්තර පරිභෝජනය තුළින් මොලයේ ක්‍රියාකාරීත්වයට ඔක්සිජන් ලබාදීම කාර්යක්‍ෂමව සිදු වේ. වැඩ කිරීමේ හැකියාව සහ ඥාණවන්ත බව වර්ධනයට බිත්තරවල විශේෂ පෝෂ්‍යදායී සංඝටක ඇතුළත් බව ද ඔවුන් සොයාගෙන ඇත. එමෙන්ම බිත්තර කෑමට ගැනීමෙන් නම්‍යශීලී, ජවසම්පන්න ජීවිතයක් ගත කිරීමට හැකි බව ද ඔවුන්ගේ පර්යේෂණයෙන් සනාථ වී ඇත. වයසට යෑමේදී ගිලිහී යන ශාරීරික නාම්‍යශීලී බව බිත්තර පරිභෝජනයෙන් නැවත වර්ධනය කරගැනීමට හැකියාව ඇති බව ද තහවුරු වී ඇත. මස්, බිත්තරවලින් ස්වයං පෝෂිතව තිබෙන මෙරට බලසම්පන්න බුද්ධිමත් මිනිසුන් නිර්මාණයවීම ලෝක බලවතුන්ට අනාගත ගැටලුවකි. එමෙන්ම මෙරට කෘෂි ආර්ථිකය බිඳ දැමීම මේ රට හයිටියක් බවට පත් කිරීමට පහසුය. කුමන්ත්‍රණය දියත් වී බොහෝ කාලයකි. දැන් ප්‍රතිඵල ලැබෙමින් පවතී. බිත්තර ඉන්දියාවෙන් ආනයනය කිරීම එහි අතුරු ඵලයක් නොවේ. ඉදිරිය මීට වඩා දරුණුය. බිත්තර ඇතුළු විවිධ ආහාර ආනයනය කිරීමට උනන්දු වන මැති ඇමැතිවරු බොරදියේ මාළු බාගෙන පැදුරටත් නොකියා පවුල් පිටින් පිටරටවල පදිංචියට යති. මේ රට තුළ කුසගින්දරේ මැරෙන්න වෙන්නෙ අසරණ ජනතාවට පමණි. යථාර්ථය තේරුම්ගෙන බුද්ධියෙන් කටයුතු කළ මොහොත උදා වී ඇති බව මෙරට සාමාන්‍ය ජනතාව සිහිතබා ගත යුතුය.

එමෙන්ම මෙරට කුකුළු මස්, බිත්තර කර්මාන්තයේ ග්‍රාමීය ගොවිපළවල් පන්දහසකට ආසන්නය. මහා පරිමාණ, මධ්‍ය පරිමාණ ගොවිපළවල් එකසිය විස්සකි. කුකුළු මස්, බිත්තර කර්මාන්තයෙන් යැපෙන සෘජු සහ වක්‍ර රැකියාකරුවන් ලක්‍ෂ අටකට ආසන්න පිරිසක් වයඹ පළාතේ පමණක් ජීවත් වෙති. මේ වෙනකොට කුකුළු මස්, බිත්තර කර්මාන්තයේ 90% ට ආදායම් මාර්ග අහිමි වී ඇති බව ද වාර්තා වේ. බිත්තර ආනයනය කිරීම තුළ ඉතිරි 10% ත් පාරට වැටෙනු ඇත. එදාට පාරිභෝගික ඇමැතිවරයා ප්‍රීති ප්‍රමෝදයෙන් උද්දීපනයට පත්ව ඉන්දියාවට පියාසර කර තව බිත්තර ආනයනය කරනු ඇත. ඔහුට හරි සතුටුය. මේ රටේ දේශීය කර්මාන්ත ‘කම්බස්’ කරන කොන්ත්‍රාත්තුව කරට ගෙන සිටින මැති, ඇමැතිවරුන්ට ඊටත් වඩා සතුටුය. ඒ ගැන තේරෙන මිනිසුන්ගේ හදවත් රිදුම් දෙනුයේ මෙවැනි දේශද්‍රෝහීන් තීන්දු තීරණ ගන්නා රටක ජීවත්වීමට ලැබීම ගැනය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment