රටක් වට්ටන පොදු ප්‍රවාහනය

71

රටක සංවර්ධනයට ඉන්ධන අර්බුදය ඍජු ලෙසම බලපායි. එහෙයින් බොහෝ රටවල් පොදු ප්‍රවාහනය සැලසුම් කර තිබෙන්නේ ඉන්ධන කාර්යක්ෂමතාවය කාල කළමනාකරණය සහ පරිසර දූෂණය අවම කරන පරිදිය.

එවැනි රටවල් අතර නෙදර්ලන්තය, ප්‍රංශය, නෝර්වේ, ස්වීඩනය, චීනය, ජපානය, සිංගප්පුරුව, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, ජර්මනිය සහ මහා බ්‍රිතාන්‍යය ප්‍රමුඛ වෙයි.

‘A developed country is not a place where the poor have cars itZs where the rich use public transportation- gustavo petro ’

රටක් සංවර්ධනය වීම යනු දුප්පතුන් මෝටර් රථ භාවිත කිරීම නොව පොහොසතුන් පොදු ප්‍රවාහන පහසුකම් භාවිත කිරීමයි. කස්ටර්වෝ පෙට්රෝ යන කියමනට සරිලන පරිදි ඉහත කී රටවල් ක්‍රියා කරන බව සක්සුදක්සේ පැහැදිලිය.

එකී රටවල මැති ඇමැතිවරුන්, ප්‍රභූවරුන් සහ රජයේ සහ පුද්ගලික ආයතනවල ඉහළ පෙළේ විධායක නිලධාරීන් ද පොදු ප්‍රවාහනය භාවිත කිරීමට පෙළැඹී සිටී. මෙමගින් වාහන තදබදය මඟ හැරී රටේ ශ්‍රම භාවිතය කාර්යක්‍ෂම කර ගැනීමට හැකිව ඇත.

ඉහත කී රටවල් දැනට දියුණු කර ඇති පොදු ප්‍රවාහන පද්ධතීන් කවරේද අධිවේගී දුම්රිය පද්ධති, සුවපහසු බස් රථ සේවා, ට්‍රෑම් රථ, පහසු කුලී රථ සහ දියුණු බෝට්ටු සේවා හඳුන්වා දිය හැක.

මුලින් කී පරිදි නෙදර්ලන්තය අධිවේගී දුම්රිය සුවහපසු බස් රථ සහ ට්‍රෑම් රථ සඳහා විශාල වශයෙන් ආයෝජනය කර තිබේ. තවද මෙම රටෙහි දියුණු කුලී රථ සේවාවක් හා පාපැදි භාවිතය ද ඉහළ ගොස් ඇත. පුළුල් පාපැදි ජාලයක් ද හඳුන්වා දී එමගින් ජනතාව මේ සඳහා පොලඹවා ගැනීමට නෙදර්ලන්තය සමත් වී සිටී. එසේම ප්‍රංශය පොදු ප්‍රවාහනයට මුල් තැනක් දී කටයුතු කරයි. ඔවුන් අධිවේගී දුම්රිය සඳහා විශාල වශයෙන් මුදල් ආයෝජනය කර ඇත. මෙහි විශේෂත්වය දුම්රිය බස් රථ සහ අනෙකුත් ප්‍රවාහන පද්ධතීන් ඒකාබද්ධව පවත්වාගෙන යෑමයි.

නෝර්වේ රාජ්‍යය, ස්විඩනය, ජපානය, සිංගප්පූරුව, චීනය, ඩෙන්මාර්කය, ජර්මනිය වැනි රටවල්ද පොදු ප්‍රවාහනය ශක්තිමත් කර තිබේ. ඊට අමතරව පාපැදි වැඩි ප්‍රමාණයක් භාවිතයටද මෙම රටවල ජනතාව හුරු වී තිබේ. එහිදී පරිසර දූෂණය අවම වන අතර පොසිල ඉන්ධන භාවිතයද අඩු කිරීමට එම රටවල ප්‍රවාහන බලධාරීන් කටයුතු කර ඇත. එහිදී විදුලි මෝටර්රථ, විදුලි දුම්රිය, බස් රථවලට මුල්තැනක් දී එම රටවල් කටයුතු කරමින් සිටී. වැඩි ජනතාවක් එකවර ප්‍රවාහනයට අවශ්‍ය ක්‍රමවේදයන් ඔවුන් විසින් හඳුන්වා දී තිබේ. එපමණක් නොව කලට වේලාවට බොදු බස් රථ සහ දුම්රිය සේවාවන් පවත්වාගෙන යෑමට මෙම රටවල්වල බලධාරීන් අවශ්‍ය විධිවිධාන යොදා තිබේ. ස්විඩනයේ ස්ටොක්හෝම් සහ ගෝතන් බර්ග්හි තදබදය මඟ හැරීමට එම රටේ බලධාරීන් කටයුතු කර ඇත.

● දියුණු බස්රථ සේවාවල් ඇති රටවල් කවරේද

ධනවතුන් පවා රැකියාවට සහ වෙනත් අරමුණු සඳහා පැමිණීමට භාවිත කරන විශාල ජනතාවක් සමග හොඳින් සංවිධානය වූ බස් සේවා ඇති රටවල් ගැන සොයා බැලීමේදී සිංගප්පුරුව රටේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි කාර්යක්ෂම හා පුළුල් බස් ජාලයක් පවත්වාගෙන යයි. ඊට අමතරව එක්සත් රාජධානිය ජර්මනිය, මෙක්සිකෝව, ජපානය වැනි රටවල ද ධනවතුන් පවා පොදු ප්‍රවාහන සේවාවන් ලබාගැනීමට පෙළඹී තිබීම සුවිශේෂිය.

එපමණක් නොව පොදු ප්‍රවාහනය සඳහා තොරතුරු තාක්ෂණය බහුලව භාවිත කරන රටවල් ද දක්නට ලැබේ.

එස්තෝනියාව, දකුණු කොරියාව, සිංගප්පූරුව ස්වීඩනය එම රටවල් අතරින් කීපයකි.

ජනතාවට ඔවුන්ගේ සංචාර පහසු කර ගැනීම සඳහා මෙම සේවාවන් යොදාගෙන ඇත. විiුත් ජාතික ප්‍රවේශපත්‍ර ක්‍රම, දුම්රිය කලින් වෙන්කර ගැනීම ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම මෝටර් රථ බෙදා ගැනීම හා අවශ්‍ය කාලසටහන් ක්‍රියාත්මක වීම ඇතුළු පොදු කාර්යයන් සියල්ලක්ම පාහේ තාක්‍ෂණය භාවිත කිරීමෙන් සිදු කෙරේ. ඇතැම් බස් රථවල වයිෆයි පහසුකම් පවා ජනතාවට ලබා ගැනීමට අවස්ථා සලසා ඇත. එය ද දියුණු ප්‍රවාහන පද්ධතීන් දක්නට ඇති විශේෂත්වයකි.

බස් රථයක ගමන් ගන්නා අවස්ථාවේ ම අනෙක් බස් රථය තිබෙන තැන හඳුනාගැනීමට මෙමගින් හැකිවේ.

● ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනයේ තත්ත්වය කෙසේද?

මේ ගැන සලකා බැලීමේ දී අප රටේ දැනට පවතින පොදු ප්‍රවාහන තත්ත්වය කිවයුතු තරම් සතුටුදායක තත්ත්වයක නොමැති බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුව ඇත. වෙනත් රටවල මෙන් පොදු ප්‍රවාහන ඒකාබද්ධ සේවාවක් ඇත්තේම නැති තරම්ය. දිවයිනේ බොහෝ ප්‍රදේශවල රාත්‍රි කාලයට පොදු ප්‍රවාහන සේවාවන් නොමැතිවීමෙන් මගී ජනතාවට පීඩාවට පත්වී සිටියි.

ජනාකීර්ණ කොළඹ ප්‍රදේශයේ පවා ඇතැම් බොහෝ පැතිවල ද මේ තත්ත්වය දක්නට ලැබේ. එවැනි තත්ත්වයක් මත ගම්බද ප්‍රදේශවල තත්ත්වය මීට වඩා දරුණු වී ඇත.

පසුගිය කාලයේ අප රටට යෝජනා වී තිබූ මොනෝ රේල් පද්ධතිය රටේ පොදු ප්‍රවාහනය දියුණු කිරීමට ගත් හොඳ ආයෝජනයක් ලෙස හැඳින්විය හැක. මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ආරම්භ වූයේ ඒ සඳහා බව නොරහසකි. එමෙන්ම මාලඹේ ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ඉදිකිරීම ආරම්භ කිරීමද එයට හොඳ නිදසුනකි. නමුත් අප රටේ ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීමෙන් එය අතරමග නතර කිරීමට සිදුවීම කනගාටුවට හේතුවකි.

රටේ මහජනයාට මෙවැනි පොදු ප්‍රවාහන පද්ධති තිබීම තුළින් පෞද්ගලික මෝටර් රථ මහමඟට යෙදීම බොහෝ සෙයින් අඩුවනු ඇත. වෙනත් දියුණු රටවල මෙන් ඇති නැති පරතරය නැතිව ධනවතුන් පවා මෙම පසු පොදු ප්‍රවාහන පද්ධති භාවිත කිරීමට නිරායාසයෙන්ම හුරුවනු ඇත. එසේම මහමඟ වාහන තද බදය ඉබේට මෙන් නතරවේ. බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මෙන් දුම්රිය හා බස්රථ මධ්‍යස්ථාන අවට පෞද්ගලික වාහන ගාල් කිරීමේ අංගණ ඇතිවීමෙන් ඒවායෙහි වාහන නවතා තබා සුවපහසු පොදු ප්‍රවාහනයේ යෑමට ජනතාව පෙළඹෙනවා නොඅනුමානය.

පහසුවෙන් එහා මෙහා යා හැකි පොදු ප්‍රවාහන පද්ධතීන් ඇති වීමෙන් රාජකාරි ස්ථානවලට සැහැල්ලුවෙන් යන ජනයාගේ ශ්‍රම ශක්තියෙන් උපරීම ප්‍රයෝජන ගැනීමට ද හැකියාව ලැබේ.

ජනතාව තරගයට මෙන් පෞද්ගලික මෝටර් රථ, යතුරුපැදි ආදිය මිලදී ගැනීමට පෙළඹෙන්නේ ඔවුන් කලට වේලාවට තම රාජකාරි ස්ථානවලට වාර්ථා කිරීමටය. නියමිත වේලාවට ගමන් කළ හැකි ලෙස පොදු ප්‍රවාහනය දියුණු කළ හැකිනම් බොහෝ දෙනෙක් තම පෞද්ගලික යානවාහන පරිහරණය නොකිරීමට පෙළඹෙනවා ඇත. එමෙන්ම ජනතාව පුද්ගලික වාහන මිලදී ගැනීමේ දී අඩු ඉන්ධන ප්‍රමාණයකින් වැඩි දුරක් යා හැකි වාහන මිලදී ගැනීමට පෙළඹීමෙන් අපට යම් තරමකින් හෝ මේ ඉන්ධන අර්බුදය විසඳා ගැනීමට සහාය විය හැක.

විශේෂයෙන් පොදු ප්‍රවාහනය සඳහා බස් රථ යොදා ගැනීමේ දී ඉදිරියේ දී හෝ මීට වඩා අප රට සැලකිලිමත් විය යුතුය. ලොරි චැසිවලට බොඩි ගසා ඇති බස් රථ වැඩිපුරම ධාවනය කරනු දක්නට ලැබේ. නිදහසින් පසු අවුරුදු හැත්තෑපහක් පමණ ගතවෙලත් අපේ රට තාමත් මේ තත්ත්වයේ නම් ලැජ්ජාවට පත්විය යුතුය.

සටහන
ජයරත්න වික්‍රමසිංහ
විශේෂ ස්තුතිය
අනුරුද්ධ කාරියවසම් මහතා
ඉන්ජිනේරු සම්පත් සංවර්ධන පහසුකම් අවස්ථා සැපයීම් අධ්‍යක්‍ෂ
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය

advertistmentadvertistment
advertistmentadvertistment