අයිඑම්එෆ් හා වර්ල්ඩ් බෑන්ක් හමුවීම්වලින් ශ්‍රී ලංකාවට බලාපොරොත්තු රැසක්!

144

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහගෙන් ට්විටර් පණිවුඩයක්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වසර මැද ‘ස්ප්‍රිංමීටින් 2023’ හමුවේදී ශ්‍රී ලංකාවට සුවිශේෂි බලාපොරොත්තු රැසක් ඇති කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. ගෝලීය නායකයන් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා සාකච්ඡා කිරීම සඳහා සම්බන්ධ වූ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරාගමන ක්‍රියාවලිය හා අප ලබා ඇති ප්‍රගතිය ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමටත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ඇතුළු ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කරගැනීමටත් මෙහිදී සිදු කළ සාකච්ජා මහත් පිටුවහලක් වනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වසර මැද රැස්වීම පැවැත්වෙන අතරතුර මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයක් පවත්වා ඇත. පැරිස් සමාජ ලේකම් කාර්යාලයේ සම සභාපති රාජ්‍ය අමාත්‍ය විලියම් රූස් මහතා සමඟ සාකච්ඡාවක් පවත්වමින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ මෙතෙක් ලබා ඇති ප්‍රගතිය රාජ්‍ය අමාත්‍යවරයා විසින් පැහැදිලි කර තිබේ. මෙම ක්‍රියාවලියේදී පැරිස් සමාජය විසින් ඉටු කරන ලද වැදගත් කාර්යභාරය පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා කෘතඥතාව පළ කළේය. සම සභාපතිවරයා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය අගය කර ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා සහාය වීමට ජයිකාහි කැපවීම දකුණු ආසියාවේ ජ්‍යෙෂ්ඨ උප ප්‍රධානී ඉමොටෝ සචිකෝ විසින් අවධාරණය කර තිබේ. රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වොෂින්ටන් ඩීසීහිදී ඇය සමඟ සාකච්ඡාවක නිරත වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශකර ඇත. ජපන් ආධාර යටතේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජයිකා ආයතනය ඉතා උනන්දුවෙන් බලා සිටින බවද ඇය රාජ්‍ය අමාත්‍යවරයාට දන්වා ඇත.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ජපානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප අමාත්‍ය කැන්ටෙරෝ ඔගටා මහතා හමුවූ අවස්ථාවේදී ඔහු ශ්‍රී ලංකාව සහ ජපානය අතර මිත්‍රත්වයේ දීර්ඝ ඉතිහාසය සිහිපත් කර ඇති අතර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවට සහාය වීමට ජපානයේ ප්‍රමුඛතාවය ඔහු යළිත් තහවුරු කර තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති ජින් ලිකුන් සහ බ්‍රසීලයේ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ටටියනා රොසිටෝ යන මහත්වරුද හමු විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment