ආණ්ඩුව කරඅරිනවා සහල් මාෆියාකාරයෝ තුට්ටු දෙකට වී ගන්නවා

91

අස්වනු නෙළමින් තිබෙන මේ අවස්ථාවේ වී මිලදී ගැනීම සඳහා ආණ්ඩුව මුදල් වෙන් නොකිරීම නිසා සහල් මාෆියාවේ කප්පිත්තන් එහි වාසි ලබමින් ගොවියාගේ වී ටික තුට්ටු දෙකට ගැනීමට පටන්ගෙන ඇතැයි ගොවි අරගල ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික ආර්. කේ. ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා පොලොන්නරුවේ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.

මේ වතාවේත් නිසි කලට පොහොර නොලැබීම නිසා වී අස්වැන්න සියයට පනහකින් පමණ පහළ බැස ඇතැයි ද ඒ මහතා කීය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා මෙසේ ද කීය.

“මේ රටේ අහිංසක ගොවි ජනතාවගේ වී ටික ගන්න ජනාධිපති ඇතුළු අණ්ඩුව සල්ලි වෙන් කරන්නේ නෑ. සහල් මාෆියාවේ කප්පිත්තෝ මේකෙන් වාසි අරගෙන ගොවියාගේ වී ටික තුට්ටු දෙකට ගන්නවා. අනුරාධපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක දැන් අස්වනු නෙළීම ආරම්භ වෙලා තියෙනවා. ආණ්ඩුව මුදල් නෑ කිය කියා තෙපර බබා ඉන්නවා. මීට මාස එකහමාරකට විතර කලින් ගොවි ජාතික සමුළුවේ නියෝජිතයෝ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර හමුවූ වෙලාවේ ඔහු පොරොන්දු වුණා සල්ලි වෙන්කරනවා කියලා. නමුත් දැන් කියනවා සල්ලි නෑ කියලා.

ආනයනය කරන ලද සහල් සත්තුන්ට මිසක් මිනිසුන්ට සුදුසු නෑ කියලා ඇමැති මහින්ද අමරවීර කරන ප්‍රකාශය බරපතළයි. මේ වෙනකොටත් මාස ගාණක් තිස්සේ නැව් ගණනාවක් ගෙන්නලා මේ රටේ මිනිස්සුන්ට පරිභෝජනය කරන්න දීලා ඉවරයි. එතකොට මේ රටේ පාලකයෝ ජනතාව සත්තු කියලා හිතලා තමයි වැඩ කරන්නේ. ඒ විතරක් නෙවෙයි මහින්ද අමරවීර ඒ කථාව කියන ගමන් කියනවා මේ පිටරටින් ගෙනාපු හාල්වලට යොදලා තියෙන්නේ බාල පොහොර, විෂ රසායනික ද්‍රව්‍ය කියලා. ඒ නිසාම මේවා මිනිස් ශරීරයට අහිතකරයි කියලා කියනවා. මිනිස්සු ගැන හිතලා රසායනික පොහොර නවත්වනවා කියපු ආණ්ඩුවක ලැගලා හිටපු මිනිස්සු තමයි මේ අද ඇවිල්ලා මෙහෙම කතා කියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හොරෙන් පස්සදොරෙන් ගිහිල්ලා ඇමැතිකම් ගත්ත මහින්ද අමරවීරගෙන් අපි අහනවා තමන්ගේ බංකොළොත් බව මෙහෙම කියන්න ලැජ්ජ නැද්ද කියලා. ඒ නිසා අපි කියනවා ගොවියෝ උඹලාගේ මන්දිර වටලන්න කලින් වහාම ගොවියාට සාධාරණය ඉෂ්ට කරපල්ලා කියලා. ආණ්ඩුවේ තක්කඩි ප්‍රතිපත්ති නිසා මේ වතාවෙත් පොහොර නැතුව වගාකරපු කුඹුරුවල අස්වැන්න සියයට පනහකින් අඩුවෙලා තියෙන්නේ.

මේ රටේ පළවෙනි සහල් නිෂ්පාදකයා අවුරුදු පහක් ඇතුළත ශත පහක්වත් බදු ගෙවලා නැතිලු. ශත පහක්වත් බදු ගෙවලා නැත්නම් එයා ඉන්න ඕන හිරේ. රුපියලක් දෙකක් වැඩියෙන් බිත්තර විකුණපු මිනිහෙකුට නඩු පවරලා උසාවියෙන් දඩ ගහන රටක, පාන් ගෙඩියක් රුපියල් පහක් වැඩියෙන් විකිණුවා කියලා රුපියල් පනස් දාහක්, ලක්ෂයක් දඩ ගහන රටක රුපියල් කෝටි ගණන් බදු ගෙවපු නැති හාල් මුදලාලිලා තාමත් යහතින් වැජඹෙනවා. ඒ ගොල්ලන්ට අතක් තියන්න එකෙක්වත් නෑ.

අපි අභියෝග කරනවා පාරිභෝගික අධිකාරියට, ඒකේ ප්‍රධානීන්ට හෙටම මාධ්‍ය හමුවක් තියලා කියන්න මහින්ද අමරවී කියපු කථාවේ ඇත්ත නැත්ත මොකක්ද කියලා. ඒක ඇත්තනම් ඒ වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලා.”

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment