ආනයනික සහල් රේගුවෙන් මුදා හැරීමට පෙර පරීක්‍ෂාවට ලක් කරනවා – මිනිස් පරිභෝජනයට නුසුදුසු  සහල් පුවත බොරුවක්

96

වෙළෙඳ අමාත්‍යාංශය

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු සහල් මෙරටට ආනයනය කර ඇති බවට සිදුකරන පුවත්වල සත්‍යතාවක් නැතැයි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙරට සහල් ආනයනය කර රේගුවෙන් මුදාහැරීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පරීක්‍ෂකවරුන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ශාක නිරෝධායන ඒකකයේ නිලධාරීන් ඇතුළු කිහිපදෙනෙකුගේ පරීක්‍ෂාවට ලක්කරන බව එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් කියා සිටියේය.

සහනාධාර ලෙස සහල් ලැබුණ ද මෙම ක්‍රියාදාමය සිදුකරන බවත් එම නිලධාරියා කීය. 2022 ජනවාරි සිට ඉන්දියාවෙන් ගෙන්වන ලද සහල්වල විස සහිත රසායනික ද්‍රව්‍ය අඩංගු බවට පළිබෝධ නාශක කාර්යාංශය ප්‍රකාශ කර ඇතැයි කියන පුවත නිවැරදි නොවන බවත් එවැනි පර්යේෂණයක් එහි සිදුකර නොමැති බවත් එම නිලධාරියා කීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති පළිබෝධ නාශක කාර්යාංශය එවැනි ප්‍රකාශයක් කර ඇති ද යන්න සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් වෙළෙඳ අමාත්‍යාංශය ලිඛිතව ඉල්ලීමක් කරන බවත් එම අභ්‍යන්තර පරීක්‍ෂණයෙන් පසු කෘෂිකර්ම අමාත්‍යාංශය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට යන්නේ නම් එයට දත්ත සපයමින් වෙළෙඳ අමාත්‍යාංශය පූර්ණ සහාය ලබාදෙන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment