ඇගේ ආරක්ෂාව ජීවයේ ආරක්ෂාවයි

146

(ඉකුත් 06 වැනිදාට යෙදුණු කාන්තා අතවරවලට එරෙහි ජාන්ත්‍යන්තර දිනය නිමිත්තෙනි)

වැඩ නිමවී වැඩට යන්නිය ඇයයි. විටෙක මවකගේ, සහෝදරියකගේ, තරුණියකගේ, කිරිඅම්මෙකුගේ භූමිකා නිරූපණය කරන ඇය අරාක්ෂා කිරීමට හා ඇයට වටිනාකමක් හා ගෞරවයක් එක් කිරීමට හැකි වැදගත් දිනයක් ලෙස මෙම දිනය හැඳින්විය හැකිය. මෙලෙස කාන්තා අතවර පිළිබඳ කතා කිරීමට දිනයක්ද වෙන් කර තිබීම විශේෂය. කාන්තාව අතවරවලට හිරිහැරවීම්වලට ලක්වීමට නිශ්චිත ස්ථානයක් නොමැත. කාන්තාව මානසිකව මෙන්ම කායිකවද අතරවර වීමට ලක්විය හැකිය. සමාජය තුළ කාන්තා අතවරය කීප ආකාරයකට වෙන්කර දැක්විය හැකිය. ලිංගික හිංසනය, කායික හිංසනය, මානසික චිත්තවේගික හිංසනය හා සමාජීය හෝ ආර්ථික හිංසනය යනාදී ලෙස වර්ග කළ හැකිය. සමාජයේ පවතින ගැටලුවක් වන්නේ තමාට මෙවැනි හිංසනයක් සිදුවූවාද කියා දැනුවත් බවක් නොමැති කාන්තාවන් පිරිසක් ද සමාජයේ සිටීමයි. එවැනි පිරිස් මේ මාතෘකා පිළිබඳ දැනුවත්වීම ඉතා වැදගත්ය. වයස් සීමාවක් නොමැතිව සෑම ආකාරයකටම පවුල් සබඳතාවකට සහ සමාජ පංතියකට බලපාන සහ නැඟී එන සංසිද්ධියක් ලෙස මෙය හැඳින්විය හැකිය.

ලිංගික අතවරය යනුවෙන් හැඳින්වෙන්නේ පුද්ගලයා චිත්තපීඩාවට හෝ අපහසුතාවට පත්වන ආකාරයේ හෝ ඔහු හෝ ඇය විසින් අනවශ්‍ය නුසුදුසු අනුමත කළ නොහැකි ලෙස සලකනු ලබන ආකාරයේ ලිංගිකමය ස්වරූපයක් ගන්නා හැසිරීම් වේ. ලිංගික අතවරයක් ශාරීරිකව, වාචික මෙන්ම අවාචික ඉඟි සහ අභිනයන් ආදියෙන් වුව ද සිදුවිය හැකි ය. ජාත්‍යන්තර ලියවිලිවල මෙය නිර්වචනය කර ඇත්තේ අනුමැතිය නොලැබූ ලිංගික ප්‍රයත්නයක් ලෙසය. නූතන නීති පද්ධතියක් පවතින සෑම රටකම පාහේ මෙය අපරාධ වරදක් වන අතර සේවාස්ථානයේදී පාසලේදී විශ්වවිද්‍යාලයේදී මෙන් ම පොදු මහජන අවකාශයන් තුළ දී ද සිදුවන මෙවැනි ක්‍රියා කාන්තාවන්ට සුරක්ෂිත සහ ගෞරවාන්විත වෘත්තීය සහ සමාජ පරිසරයක් ඇතිකිරීමට දැඩි බාධාවක් වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2017 දී සිදු කළ අධ්‍යනයකින් හෙළිව තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය භාවිත කරන කාන්තාවන්ගෙන් 90%ක්ම ගමනාගමනයේ දී ජීවිතයේ එක් වරක් හෝ ලිංගික හිංසනයට ලක්ව ඇති බවය. විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු නිමාවී සවස බස්රියක, දුම්රියක ශිෂ්‍යයෙකුට යෑමට නොහැකි වටපිටාවක් නිර්මාණය වී අවසන්ය. සේවා ස්ථානය තුළ මානසික නිදහසකින් රැකියාවක් කිරීමට ඇති අවස්ථාව කාන්තාවට අහිමිව ගොස්ය. උපන් දා සිට වින්ද දුක් නිමා කර පවුලේ ආර්ථිකයට ශක්තියක් වීම පිණිස දුර රට යන ඇතැම් කාන්තාවන්ගේ ජීවිත අතවරයන්ගෙන්ම නිමවී යන අවස්ථාවන් අප නොයෙතුක් අසා දැක ඇත.

කායික හිංසනය යනුවෙන් හඳුන්වන්නේ ලිංගික ස්වභාවය නොගන්නා ශාරීරික හිංසනයයි. ශාරීරික වේදනාවක් හෝ තුවාලයක් මෙන්ම ඇතැම් විට මරණය පවා ගෙන දෙන ප්‍රචණ්ඩකාරී හෝ නොසැලකිලිමත් ක්‍රියාවන් හරහා මෙවැන්නක් සිදුවිය හැකිය. නිදසුනක් වශයෙන් පහර දීම, ගෙල සිර කිරීම, පිළිස්සීම, සපාකෑම, හිසකෙස්වලින් ඇදීම, අත පය ඇතුළු වෙනත් ශරීර අංග කැපීම, වෙඩි තැබීම, ඇසිඩ් ප්‍රහාර සහ වෙනත් ආකාරයේ ශාරීරික වේදනා ඇති කිරීම දැක්විය හැකිය. නමුත් මෙයින් සීමා නොවේ. කාන්තාවන් හිංසනයට පත්වන අනෙක් ආකාරය වන්නේ මානසික හා චිත්තවේගික හිංසනයයි. මෙය යම් වාචික ශාරීරික හා ලිංගික හෝ අවාචික ඇදී ඕනෑම හානිකර ක්‍රියාවක් හරහා මානසික හෝ චිත්තවේගික වේදනාවක් සහ බලපෑමක් ඇති කිරීමයි. සාමාන්‍යයෙන් විවාහක හෝ සමීප සහකරුවෙකු විසින් කාන්තාවන් මෙවැනි හිංසනයන්ට අතවර වීම්වලට ලක්විය හැකිය. මේ ආකාරයේ කුමන හෝ ලිංගික අතවරයකට කිසියම් මොහොතට මුහුණදීමට සිදුවීමට හෝ දැනටමත් එවැනි අත්දැකීමක් විඳීමට සෑම කාන්තාවකටම සිදුව ඇත. නමුත් මේවායින් වැළකී සිටීමටත් ඒ සඳහා නීතිමය පියවර ගැනීමටත් සෑම පුද්ගලයෙකුටම හැකිය.

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තියට අනුව අඬන්තේට්ටම් කිරීමෙන් හෝ සාපරාධී බලහත්කාර පෑමෙන් යම් තැනැත්තෙකුට ලිංගික අතවර කරන හෝ වචනයෙන් හෝ ක්‍රියාවෙන් යම් තැනැත්තෙකුට ලිංගික හිරිහැරයක් හෝ අතවරයක් සිදු කරන කවර හෝ තැනැත්තෙකු ලිංගික අතවර කිරීමේ වරද සිදුකරන අතර අවුරුදු පහක් දක්වා විය හැකි සිරදඬුවමක් දඩයක් හෝ ඒ දෙකින් ම දඬුවම් කළ හැකිය. වැඩ කරන ස්ථානයක බලය දරන තැනැත්තෙකු විසින් වැඩ කරන ස්ථානයක බලය දරන තැනැත්තෙකු විසින් වැඩ කවර ස්ථානයකදී හෝ වෙනත් යම් ස්ථානයක දී වචනයෙන් හෝ ක්‍රියාවෙන් කරනු ලබන අනනුඥාත ලිංගික අතවර කිරීමේ වරද සංයුක්ත වන බව සඳහන් වේ. ළමුන්ට හා කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන ගැටලු පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ළමා ආරක්ෂක අධිකාරිය හා කාන්තා කාර්යාංශය විසින් ක්ෂණික දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබේ. මේ යටතේ ළමුන් මුහුණ දෙන ගැටලු 1929 අංකයට පැය 24 පුරාවට ඉදිරිපත් කළ හැකි බවත් කාන්තාවන් සම්බන්ධ පැමිණිලි 1938 යන අංකයට රාජකාරි දිනයන්හි ඉදිරිපත් කළ හැකි බව ජනතාව දැනුවත් වීම වැදගත්ය. ජීවිත ජීවත් කරවන ඇයට එරෙහි හිංසනය නැවැත්වීම සමාජ වගකීමක් ලෙස සෑම පුද්ගලයෙක්ම සිතිය යුතුය.

● සත්‍යාංජලී ජයසිංහ
කැලණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment