ඇස් හැර බලව් රටකට යන කලක හැටි!

929

ඉකුත් සතිය නිමාවට පත් වූයේ සමාජ දේශපාලන ක්‍ෂේත්‍ර කම්පනයකට හා තිගැස්සීමකට ද තුඩු දුන් සිදුවීම් කීපයක මතක ඉතිරි කරමින්ය. ඒවා අතර ඉමහත් දේශපාලන සංවාදයකට හේතු වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම කේන්ද්‍ර කරගත් සර්ව පාක්ෂික සමුළුවය. ඒ හැර සෞඛ්‍ය ක්‍ෂේත්‍රයෙහි වාර්තා වූ බරපතළ ඛේදවාචකයක් ද විය. ඒ කොළඹ ළමා රෝහලේදී මරණයට පත්වූ කුඩා දරුවකුගේ අතිශය ශෝකීය සිදුවීමකි. මේ හැර පොලිසිය විසින් සැහැසිව පීඩාවට පත් කරන ලද මාධ්‍යවේදියකු සම්බන්ධයෙන් උද්ගත වූ ප්‍රතිචාර ද ප්‍රජාතන්ත්‍රවාදී හා මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ දැඩි විවේචනයට හා චෝදනාවට ද ලක්වී තිබුණි. සමස්තයක් ලෙස මේ සියලු සිදුවීම් තුළින් පිළිබිඹු වන්නේ අද රටක් වශයෙන් අප මුහුණ දී සිටින දේශපාලන ව්‍යාකූලත්වය පමණක් නොව නන්නත්තාර වූ සමාජයක අමිහිරි වේදනාවන්හි දුක්මුසු ප්‍රතිචාර බව ද නිසැකය. රුවල් බිඳීගිය නෞකාවක් මෙන් අයාලේ යන ගමනත් ඒ ගමන් මගත් වෙනස් කිරීම සඳහා මුළුමහත් සමාජයම ඉල්ලා සිටින යහපත් නියමුවකු අපට සිටින බවක් ද නොහැඟෙයි නොපෙනෙයි. සමාජ දේශපාලන බෙදීම් පටු අවස්ථාවාදී කල්ලිගැසීම් විනා මේ සමාජ දේශපාලනය පිරිපහදු කර ගැනීමට අපේ දේශපාලන බල අධිකාරිය අසමත් වී සිටින බව ද මේ සියලු සිදුවීම් විසින් තහවුරු කරනු ලබන යථාර්ථය ද වේ.

ජනාධිපති රනිල් විසින් කැඳවනු ලදුව කිසිදු සාධනීය ප්‍රතිඵලයක් නොලැබ විසිර ගිය සර්ව පාක්ෂික සමුළුව පිළිබඳ කතිකාව විසින් සමාජයට ලබා දුන් දේශපාලන පණිවිඩය කුමක්ද? දකුණේ හා උතුරේ සිංහල දෙමළ නායකයන්ට තම ජනතාවගේ අපේක්‍ෂාවන් ඉටු කළ නොහැකි බවද? මේ නායකකාරකාදීන්ට ගැඹුරු සමාජ, දේශපාලන දැක්මක් නොමැති බවද? ඇත්ත වශයෙන්ම 13 වැනි සංශෝධනය ව්‍යවස්ථාව තුළ තිබෙන අප්‍රාණික හෝ මියගිය විධානයක් ද? කුමක් වුවත් දෙමළ ජනතාවගේ නායකයන් ද මේ උභතෝකෝටිකය විසඳා ගැනීමට වඩා වෙනත් දේශපාලන බල තෘෂ්ණාවකින් රෝගීව සිටින බව ඉතා පැහැදිලිය ඔවුන් තවමත් කල්පනා කරන්නේ උතුර පමණක් නොව නැඟෙනහිර ද වෙනම ඒකකයක් ලෙස වෙන්කර තබා ගැනීමටය.

විග්නේශ්වරන්, සුමන්තිරන් ප්‍රමුඛ දෙමළ නායකයන්ගේ මෙන්ම ගජේන්ද්‍ර පොන්නම්බලම් වැනි නායකයන්ගේ ද මේ සම්බන්ධයෙන් ඒකමතික අදහසක් නැති බවද මෙහිදී යළිත් තහවුරු වී ඇත.

ජනාධිපති රනිල් සිය ඉන්දීය සංචාරයට පෙර දෙමළ නායකයන් සමග කළ සාකච්ඡාවල ඇතුළාන්තය අපැහැදිලි වුවත්, මෙතෙක් සිදුවී තිබෙන අනාවරණයන්ගෙන් පැහැදිලි වන්නේ 13 වැනි සංශෝධනයෙහි පොලිස් බලතල නොමැතිව හෝ එය බලාත්මක කිරීම විය හැකිය. ඇතැම් සිංහල දේශපාලන නායකයන් තුළ තිබෙන ඉන්දියානු විරෝධය පමණක් නොව දෙමළ ඩයස්පෝරාව විසින් ඊළාම් තිරය පසුපස ක්‍රියාත්මකව සිටින බවට නැඟෙන චෝදනාව ද මෙම 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමට ප්‍රධාන බාධක වී තිබෙන බවද රහසක් නොවේ. මෙයට අමතරව තවමත් ජනාධිපති රනිල්ගේ දේශපාලන භූමිකාව සම්බන්ධයෙන් පවතින විවාදාත්මක තත්ත්වය ද මේ ප්‍රශ්නය විසඳා ගැනීමට හරස් වන බව පෙනේ. ඉන්දියාව හා ලංකාව අතර ඇතිකර ගන්නා හෝ අනාගතයේදී ඇතිවන අයෝජන ගිවිසුම් සම්බන්ධයෙන් වුවද සිදු කෙරෙන බොහෝ විවේචනවල පදනම අවිශ්වාසය බව නිසැකය. විශේෂයෙන් ඉන්දියාවේ ගෞතම් අදානි වැනි ප්‍රකට හා ධනවත්ම ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් තිබෙන විවේචන ඉතා දැඩිය. එදා විජේවීරගේ පන්ති පහට ඇතුළත් වූ ඉන්දියානු ව්‍යාප්තිවාදය මේ මතවාදී අවිශ්වාසයට හේතු වී තිබේද?

ඉන්දියාව විසින් ලංකාවට දක්වන ලද සහයෝගය හා මිත්‍රත්වය පිළිබඳ භීතිය තවමත් දුරු නොවූ පසුබිමක ඔවුන්ගේ යෝජනාවක් වූ 13 වැනි සංශෝධනය මර උගුලක් ලෙස සිතන මානසිකත්වය අපට තේරුම් ගත හැකිය. ලංකාවට සංස්කෘතික වශයෙන් වටිනා සියල්ලම ලැබුණේ උතුරු ඉන්දියාවෙන් බවට පොදු පිළිගැනීමක් ඇත. විශේෂයෙන් බුදුදහම හා සංගීතය ද සෞන්දර්ය කලා ඇතුළු සංස්කෘත භාෂාවේ බලපෑම ද බොහෝ විද්වතුන්ගේ අවධානයට ලක්ව ඇත. හින්දු සභ්‍යත්වයේ ඇතැම් සංකල්ප ද බුද්ධාගමට මෙන්ම ලාංකික කලාව තුළ ද දැකගත හැකිය. එහෙත් ඒ ඉන්දු ලංකා සබඳතා අද නොමැති බවද කියති. මුලතිව් දිස්ත්‍රික්කයේ පිහිටි කුරුන්දි විහාරය අරබයා අද උද්ගත වී තිබෙන අර්බුදය දෙමළ නිජබිමක් ගැන දොඩන පටු දේශපාලනය හා සම්බන්ධ වූවකි. දෙමළ දේශපාලන නායකයන් විසින් උසිගන්වනු ලබන ජන කොටස් හා සිංහල අන්තවාදී හා නොවන අයගේ ද

ගැටුමකට මෙම පුරාවිද්‍යා උරුමය නිමිති වී තිබීම අපට තේරුම් ගත හැකිය. එහෙත් එයින් බිඳෙන සංස්කෘතික අධ්‍යාත්මයෙහි ශෝකී රාවය අපට සංවේගයකි.

කෙසේ හෝ මේ සියල්ල ගැටගැසී තිබෙන්නේ 13 වැනි සංශෝධනය සමගය. එසේ වුවද ඉකුත් ජූලි 26 වැනිදා සර්ව පාක්ෂික සමුළුව පුස් වෙඩිල්ලක් බවට පත්විය. විපක්‍ෂනායක සජිත් මෙම සමුළුව අතරමැද ඉන් පිටවී ගිය අතර සුමන්තිරන් පැවුසවේ එය සම්පූර්ණයෙන්ම අසාර්ථක එකක් බවය. මේ වන විට ජනාධිපති රනිල්ගේ ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වය වන පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටුව පවසන්නේ ද ජනාධිපතිවරයා නොවුවමනා ප්‍රශ්නයක් ඇදගත් බවය. සරලව කිවහොත් නිකං ලෙඩක් දාගත් බවය. පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් නොපැකිළිව පැවසුවේද 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමට ඔහුට ජනවරමක් නැති බවය. ඔහු අවධාරණය කරන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස ජනාධිපති රනිල් ක්‍රියා කළ යුත්තේ එදා ජනතාව විසින් ලබා දෙන ලද 69 ලක්‍ෂයේ ජනවරම අනුව බවය. ජනාධිපති රනිල් ද තමන්ට හති වැටුණු අවස්ථාවලදී තමාට ජනවරමක් නැති බව පවසා ඇත. මෙම සමුළුවේදීත් ඔහු ප්‍රකාශ කළේ තමන්ට ඇත්තේ එකම පාර්ලිමේන්තු අසුනක් බවත් තමන්ට කළ හැක්කේ නීතිමය කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමණක් බවත්ය.

ජනාධිපතිවරයා මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවීමට පෙර තමන්ට ශක්තිය හා බලය දෙන පාර්ලිමේන්තුවේ බහුතර කණ්ඩායම සමග සාකච්ඡාවක් කර නැති බවද පෙනේ. මෙබඳු බැරෑරුම් ප්‍රශ්නයක් නිරාකරණය කර ගැනීමේදී එබඳු එකඟතාවක් තම කණ්ඩායම සමග ඇති කර ගත යුතුව තිබුණි. මෙම සර්ව පාක්ෂික සමුළුව සඳහා පොහොට්ටුවේ නායකයා වන මහින්ද රාජපක්‍ෂ සහභාගි නොවීම ද කැපී පෙනුණි. එසේ වුවද පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් එදා එම සාකච්ඡාවට සහභාගිවීමට පෙර හිටපු ජනාධිපති මහින්දගේ උපදෙස් ලබාගත් බව ද වාර්තා විය. කුමක් වුවත් දැන් පොහොට්ටුව අරඹා තිබෙන බල මණ්ඩල ප්‍රතිසංවිධාන රැස්වීම්වලදී කෙරෙන බොහෝ කතාවල ඉතා සියුම්ව සඳහන් වන්නේ ජනාධිපතිවරයා ඔවුන් අපේක්‍ෂා නොකළ දේවල් ද කරන බවකි. පොහොට්ටුවේ මුල් පෙළේ අයගේ කතාවලින් තහවුරු වන්නේ ද ජනාධිපතිවරයා නිවැරදි දේ කරන්නේ නම් ඒවාට සම්පූර්ණ සහාය දෙන බවත් පොහොට්ටුවට වෙනම දේශපාලන ගමනක් තිබෙන බවත්ය. එසේම මේ වනවිට එජාපය හා පොහොට්ටුව වෙන වෙනම දේශපාලන ක්‍රියාන්විතයක නිරත වී සිටින ආකාරය ද අපට දැකගත හැකිය. ඒවායේ දේශපාලන නිර්මාලාප ද හිඟ නැත.

කෙසේ හෝ මෙරටේ ජනාධිපතිවරුන් හත් දෙනකුටම ක්‍රියාත්මක කළ නොහැකි වූ 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම යනු කෙබඳු උභතෝකෝටිකයක් ද යන්න ජනාධිපති රනිල්ට නොදැනේ යැයි හෝ ඒ පිළිබඳ අවබෝධයක් නැතැයි කීම හෝ වැරදිය. එහෙත් ඔහු මෙහිදී තනි අභිමතය අනුව ක්‍රියා කළේ ද යන කුහුල දැන් බොහෝදෙනකු තුළ වේ. ඔහුගේ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් එල්ල වී තිබෙන විවේචනවල හරය වන්නේ ජනාධිපතිවරයා ඉන්දියාව පිනවීමට හා උතුරේ දෙමළ ජන ප්‍රසාදය ලබා ගැනීමේ අරමුණ ඇතිව මෙය සිදුකළ බවය. ජාත්‍යන්තරයට මෙයින් අඟවන්නේ තමන් තවමත් මෙම ජාතික ගැටලුව විසඳීමට උනන්දු වුවත් දකුණේ හා උතුරේ නායකයන්ගෙන් එයට සහායක් නොලැබෙන බව ද විය හැකිය. නිදහස ජනතා සභාවේ ඩලස් අලහප්පෙරුම සඳහන් කර තිබුණේ ද ජනාධිපතිවරයා මෙයින් ලොවට ප්‍රදර්ශනය කළේ සර්ව පාක්ෂික සමුළුවක් නොපැවැත්විය යුත්තේ කෙසේද යන්න මෙයින් තහවුරු කළ බවය. එසේම ඩලස්ගේ චෝදනාව වූයේ පළාත් පාලන ඡන්දය අනීතිකව කල් දමමින් බලය බෙදීමේ ආකෘතිය වූ පළාත් සභා ද අක්‍රිය කිරීමට ජනාධිපති රනිල් ද ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකර තිබෙන බවය. එපමණක් නොව කුඩාම පරිපාලන ඒකකයට බලය දීමට අකැමැති නායකයෙක් 13 වැනි සංශෝධනය අනුව බලය ලබා දෙන්නේ ද යන්න සැක සහිත බව ද ඩලස් පවසා තිබේ.

ඇස් හැර බලව් රටකට යන කලක හැටි!

මේ සියලු දේශපාලන ප්‍රතිචාර විමර්ශනය කරද්දී අපට හැඟෙන එක් දෙයක් තිබේ. එනම් ජනාධිපතිවරයා හා පොහොට්ටුව අතර යම් යම් පරස්පරතාවන් ද මතුවෙමින් තිබෙන බවය. මේ වන විටත් බොහෝ දේශපාලන ප්‍රාමාණිකයන් හා සිවිල් ක්‍රියාකාරීන් විසින් ද ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම් දෙස දෝෂාරෝපණ ඉදිරිපත් කරමින් සිටිති. පසුගියදා ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු වූ ජයන්ත කැටගොඩ විසින් ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතකින් අපේක්‍ෂා කළේ දැනට විසුරුවා හැර තිබෙන පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන්ට යළිත් බලය ලබාදීමකි. නීතිපතිවරයා පවා එය ව්‍යවස්ථාවට පටහැනි බව පවසද්දීත් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී මහ මොළවලට එහි ඇදකුද නොපෙනීම අප තේරුම් ගන්නේ කෙසේද? ආණ්ඩුවේ මැතිවරණ භීතිය හෝ වෙනත් කවර හෝ පටු අරමුණක් නිසා මෙබඳු තත්ත්වයකට දේශපාලන කණ්ඩායමක් තල්ලුවී යෑම දැඩි ප්‍රශ්නකාරී දෙයකි. එසේම එය අමන දේශපාලන ක්‍රියාන්විතයකි. ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම සදාචාර දේශාපලන ප්‍රතිපත්තිවලට ද ඉඳුරා පටහැනි එබඳු දුෂ්ට මෙහෙයුමක් අනුමත කරන කිසිවෙක් ප්‍රජාතන්ත්‍රවාදයේ සතුරන් මිස මිතුරෝ නොවෙති.

මේ ආණ්ඩුව අද ඇදී යන්නේ තම පටු දේශපාලන අරමුණු ජය ගැනීමේ රෝගී මානසිකත්වයකින් දැයි කෙනෙක් ප්‍රශ්න කළ හැකිය. එබඳු නිගමනයකට වුවමනා සමාජ, දේශපාලන ක්‍රියාකාරකම් ද නොඅඩුව දැකගත හැකිය. මහජන විරෝධතා නැගෙද්දී ආපසු ඇදගැනීමට සිදුවූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත මෙන්ම ජනමාධ්‍ය විකාශන අධිකාරිය සම්බන්ධ යෝජනාවලින් ද ආණ්ඩුවේ විශ්වාසය බරපතළ ලෙස බිඳුණි.

ජනාධිපති රනිල් එම ධුරයට පත්වීම නීත්‍යනුකූලව සිදුවූ බව ජනතාව පිළිගන්නා නමුත් අද වනවිට ඒ සම්බන්ධ විශ්වාසය ද බිඳවැටෙමින් ඇත. ඔහුට බලය ලබා දෙන උල්පත හෙවත් පොහොට්ටුවට බලයේ සිටීමට සදාචාරාත්මක අයිතියක් නැති බවද සමහරු පුන පුනා කියති. බිඳවැටුණු ආර්ථිකය ගොඩනැඟීමට හා ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට සුදුසුම පුද්ගලයා ලෙස බහුතර ඡන්දයෙන් ජනාධිපති වූ රනිල් අද ජයවර්ධන ජනාධිපති පන්නයේ දේශපාලන ක්‍රියාන්විතයක නිරතව සිටින්නෙහි දැයි සමහරු ප්‍රශ්න කරති. රටේ ආර්ථිකය බංකොලොත් වීමේ හේතු සෙවීමට පත්ව සිටින කණ්ඩායමට ද ඒ සම්බන්ධයෙන් චෝදනා නැගෙද්දීත් සුපුරුදු දූෂණ හා අක්‍රමිකතා වැළැක්වීමට හෝ ජනාධිපතිවරයා පියවර නොගැනීම ගැන ද සමහරු විමතිය පළ කරති. එසේම අද උද්ගතව තිබෙන අර්බුද සමනය කිරීම සඳහා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුව හා විපක්‍ෂ අතර පොදු එකඟතාවක් හෝ ඇතිවිය යුතුය.

ගෝඨාභය ජනාධිපතිවරයා විසින් ඒ සඳහා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ප්‍රමුඛ නීති විශාරදයන් පිරිසක් පත් කළ බව ද අපට මතකය. අඩුම තරමින් මේ ඉතිරිව තිබෙන සුළු කාලය තුළ දී හෝ එබඳු දේශපාලන ප්‍රතිසංස්කරණයක් සඳහාවත් මේ ආණ්ඩුව යොමු විය නොහැකිද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් වන 13 වැනි සංශෝධනය බලාත්මක කළ නොහැකි නම් එය ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යෝජනාවකට වඩා සිය අප්‍රසාදය පළ කිරීමට විය යුතුය. එසේ වුවද රටට උචිත අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳව ජනාධිපතිවරයා උනන්දු වන බවක් ද නොපෙනේ. සර්ව පාක්ෂික සමුළුවේදී 13 වැනි සංශෝධනයට එරෙහිව සංදේශයක් ලබාදුන් ජා. නි. පෙ. විමල් මෙන්ම පිවිතුරු හෙළ උරුමයේ ගම්මන්පිලගේ 22 වන සංශෝධනය ද මේ 13 ට විරුද්ධත්වය ප්‍රකාශ කරයි. සජබය මෙන්ම ශ්‍රීලනිපය ද පවසන්නේ 13 සම්බන්ධයෙන් ජනාධිපතිගේ ස්ථාවරය පළමුව ප්‍රකාශයට පත් කළ යුතු බවය. එසේ නම් ආණ්ඩුවත්, ආණ්ඩුවේ නායකයා වන ජනාධිපති රනිල්ටත් මේ සම්බන්ධයෙන් පැහැදිලි දේශපාලන සථාවරය ප්‍රකාශ කරන ලෙස අපට ද යෝජනා කළ හැකිය. ලංකාවේ රාජ්‍ය නායකයන් හමුවන නිල සාකච්ඡාවලදී ඉන්දියාව 13 බලාත්මක කිරීම ගැන පවසන නමුත් ඔවුන්ට ද මේ පිළිබඳ දැඩි උද්‍යෝග තිබේද යන්නත් ස්ථීරව කිව නොහැක. එසේ නම් මේ ප්‍රශ්නය විසඳීමට උචිත අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බව පැහැදිලිය. එහෙත් ජනාධිපතිවරයාගේ සමීපතමයන්ගේ අපේක්‍ෂාව වී ඇත්තේ යළිත් ජනාධිපතිවරණයකින් රනිල්ට අලුත් ජනවරමක් ලබා ගැනීම බවද පෙනේ. ඔවූහු ඒ ජයග්‍රහණය පිළිබඳ ස්ථීර අදහසකින් ද පසුවෙති.

මේ සියලු දේශපාලන ප්‍රතිචාර හා කැලඹිලි අතර සෞඛ්‍ය සේවයේ බරපතළ සිදුවීම් ද වාර්තා වේ. මේ ලිපිය ආරම්භයේදීත් සඳහන් කළ පරිදි කොළඹ ළමා රෝහලේදී කුඩා දරුවකු සැත්කමකින් මියයෑම ඉන් එක් සිදුවීමකි. අනෙක අංගොඩ මානසික රෝහලේ නේවාසික රෝගියකු එහි සුළු සේවකයන්ගේ ප්‍රහාරයකින් මියයෑමේ සිදුවීමකි. ඇමැතිවරයාට හා නිලධාරීන්ට දූෂණ අක්‍රමිකතා පිළිබඳ චෝදනා නැගෙද්දී, රෝහල් සේවය මාරක අනතුරු සහිත ස්ථානයක් බවට පත්වීම බරපතළ තත්ත්වයකි. නිරෝගී දරුවකු වෛiවරයකුගේ නොසැලකිල්ල නිසා මෙසේ මරුමුව වැටුණේ ද? යන ප්‍රශ්නය අද සමාජයේ දැඩි කතාබහට ලක්ව තිබේ. මේ අනාරක්ෂික බවට හේතුව සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීම බව නිසැකය. එහෙත් ඒ ජීවිතවලට වන්දි ගෙවීමෙන් පමණක් අදාළ අංශවලට අත් සෝදා ගත හැකි ද? කුමක් වුවත් මේ වන විට පිරිහෙමින් තිබෙන සෞඛ්‍ය සේවය මරුවාගේ ගොදුරු බිමක් බවට පත්වෙමින් තිබේද යන සැකය ජන මනස තුළ තිබෙන බව ද කිව යුතුය. දුකට පත් ජීවිත සුවපත් කරන ජීවකයන් බඳු වෛද්‍යවරු අපට අදත් සිටිති. එහෙත් ඒ උතුම් මෙහෙවර මරණයේ අඳුරින් වසන ස්වල්ප දෙනෙක් ද වෙති.

දින කීපයකට පෙර අංගොඩ මානසික රෝහලේදී සුළු සේවක ප්‍රහාරයකට ලක්ව මිය ගිය රෝගියා පිළිබඳ පුවතින් ද රටට හෙළිවන්නේ, පරිත්‍යාගශීලී උතුම් මිනිසුන් සිටිය යුතු අභයභූමිවල වෘකයන්, ඝාතකයන් අළුගෝසුවන් පිනුම් ගසන බව ද? විපතට වැටුණු රටක ජීවිතය ඉල්ලා හඬාවැටෙන දරුවකු, වැඩිහිටියකු සිත් පිත් නොමැති අමනයන් අතින් කුරිරු මරණයට පත්වීම කෙබඳු අභාග්‍යයක් ද? රෝහල යනු මරණයට විවරවූ බිහිසුණු දොරක් වී තිබේ නම් නැති බැරි පොඩි මිනිහාගේ ඉරණම කෙතරම් අනතුරකද?

අවසන් වශයෙන් අප අවධානය යොමු කරන්නේ බොරැල්ලේ විරෝධතාවකදී පොලිස් අත්අඩංගුවට පත්වූ මාධ්‍යවේදියකුට පොලිසියෙන්ම ලැබුණු මුග්ධ ප්‍රතිචාරය පිළිබඳවය. මේ සිද්ධියට මුහුණ දී ඇත්තේ තරිඳු උඩුවරගෙදර නමැති මාධ්‍යවේදියෙකි. ඔහු තරුණ ජනමාධ්‍ය සංගම් ක්‍රියාකාරිකයකු ද වේ. ඔහුගේ මාධ්‍ය භාවිතය, ක්‍රියාකාරකම් පිළිබඳ විවිධ විවේචන තිබිය හැකිය. එහෙත් ඔහුට එල්ල වූ ප්‍රහාරය, පීඩනය මාධ්‍ය නිදහස හා මානව හිමිකම් සමග ද බැඳී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නොතැකූ මුග්ධ ක්‍රියාවක් බව ඒ සම්බන්ධයෙන් අධිකරණයේදීත් ප්‍රකාශ වී තිබෙන කරුණුවලින් හොඳටම තහවුරු වේ. පොලිසියේ ක්‍රියාව නීතිය ඉක්මවූවක් බව මහේස්ත්‍රාත්වරයා විසින්ම පෙන්වා දුන් බවද වාර්තා වේ. එම සිද්ධිය වාර්තා කළ රූපවාහිනිවලින් ද අප දුටුවේ ඔහුගේ කෙස්වැටියෙන් අදිමින් ඇතැම් මෘග පොලිස් හැසිරීම් සිදුවූ බවය. ත්‍රිරෝද රියක් තුළ සිටි ඒ මාධ්‍යකරුවාට එබඳු වෛරී ප්‍රතිචාරයක් දැක්වූ පොලිස් නිලධාරීන්ගේ අපේක්‍ෂාව කුමක් ද? එය අයුක්තියේ අණ පිළිපැද තරු-පටි ගසා ගැනීමේ අමන දොලදුකක කුරිරු පලයක් ද? ඔහුට පහරදී තිබේද? ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු සාධක මොනවාද යන්න මතු දිනක හෙළිවනු ඇත. එහෙත් නීතිය රකින පොලිසිය ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ පොලිස්පතිටත් එය භාරව සිටින ඇමැතිවරයාටත් පෙන්වා දිය යුතු ද? ඒ කුමක් වුවත් රාජංගනයේදී සල්ලිකාර ගණන්කාරයකු අබියස හික්මීයන් සේ කරබා ගත් පොලිසිය බොරැල්ලේදී වියරුව ප්‍රචණ්ඩව හැසිරීම අප තේරුම් ගන්නේ කෙසේද?

පොලිසිය සම්බන්ධයෙන් තිබෙන විවේචන කෙබඳු වුවත් රටක නීතිය හා යුක්තිය ඉටු කිරීමේ කාර්යභාරයේ පාර්ශ්වකරුවන් වන පොලිසිය මහජනතාවට පීඩා කරන, අධිකරණය ඉදිරියේ හෑල්ලුවට ලක්වන තත්ත්වයකට පත්වීම කනගාටුදායකය. පොලිසිය යනු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නිරෝගී හා ආචාරධාර්මික ආයතනයකි. දේශපාලන තක්කඩියන්ගේ සාක්කුවලට වැටීම හෝ අයුක්තිය වෙනුවෙන් පෙනී සිටීම හෝ පොලිසියේ වගකීම නොවේ.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment