ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගත යුතුයි – මේ ඒ සඳහා ගත් උත්සාහයක්…. – සුගතපාල මැන්දිස්

232

දශක කීපයක් පුරා පුවත්පත් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ සුගතපාල මැන්දිස් එහිම දිගුවක් ලෙස සාහිත්‍ය කෘතීන් ගණනාවක් ද රචනා කොට ඇති ප්‍රවීණ ලේඛකයෙකි. මේ වනවිට ඔහු විසින් රචිත කෘතීන් 14ක් පාඨකයන් අතට පත්කොට තිබෙන අතර 88, 89 භීෂණය මුල්කර ගනිමින් රචිත සුදු, කළු භීෂණයේ සෙවණැලි කෘතියට ඒ අතරින් හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. පහත පළවන්නේ එම කෘතිය පිළිබඳ ලේඛක සුගතපාල මැන්දිස් මහතා සමග සිදු කළ සාකච්ඡාවකි.

ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගත යුතුයි - මේ ඒ සඳහා ගත් උත්සාහයක්.... - සුගතපාල මැන්දිස්

● ඔබ විසින් මේ වන විට කෘතීන් කොපමණ සංඛ්‍යාවක් රචනා කොට තිබෙනවා ද?

කෘතී දාහතරක්. නවතම කෘතිය වන ‘නිර්මලී’ නම් නවකතාව මුද්‍රණයට භාර දී ඇතත් අද පවතින ආර්ථික අර්බුදය හමුවේ එය ප්‍රකාශනායතනයේ අත්පිටපත් අතර යි මේ වන විට ඇත්තේ. එයත් නුදුරු දිනෙක ජනගත කරන්නට හැකිවේවි.

● පුවත්පත් කලාවේදියෙක්, ලේඛකයෙක් කියන භූමිකා දෙක අතරින් ඔබ වඩාත් කැමති භූමිකාව කුමක් ද?

පුවත්පත් කලාවේදියකු සේ ජීවිතය ගොඩනංවා ගත් පුද්ගලයකු ලෙස මා ඒ වෘත්තියට ඉමහත් ගරු සැලකිල්ලක් දක්වනවා. ඒත් අද බොහෝ දෙනා තමන් සතු වගකීම අමතක කර පුවත්පත් කලාවේදී කියන වැදගත් වෘත්තීය සාරධර්ම පවා නොතකා, කටයුතු කරනු දැකීම නිසා හිතට දැනෙන වේදනාව බොහෝ බව කනගාටුවෙන් වුව කිව යුතුයි.

පත්තරකාරයකු සේ සේවය කරද්දී විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ලද අත්දැකීම් සම්භාරය ගත්කරුවකු සේ ගොඩනැඟෙන්නට හේතුකාරණාව යි.

● ලේඛකයකු ලෙස මේ දක්වා පැමිණි ගමනේ දී පුවත්පත් කලාවේදියකු ලෙස ලද දීර්ඝකාලීන අත්දැකීම් ඒ සඳහා කොතෙක් දුරට බලපෑවා ද?

මෙතෙක් මා විසින් ලියා මුද්‍රණයෙන් ප්‍රකාශිත (කෘතීන් 14) සියලු කෘතිවලට පාදක වූයේ පත්තරකාරයකු සේ ලද අත්දැකීම් සම්භාරය බව ඉතා නිහතමානීව සඳහන් කරන්න කැමති යි.

● ඔබ විසින් රචිත නවතම කෘතිය සුදුකළු භීෂණයේ සෙවණැලි කෘතිය ගත් විට එහි යම් ගවේෂණාත්මක බවක් දකින්නට ලැබෙනවා. එම කාරණය සමඟ ඔබ එකඟ ද?

ඔව්…. ඒත් මේ මගේ නවතම කෘතිය නෙවෙයි. කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ ව්‍යාධි ඒකකයේ මනෝවෛi විශේෂඥ රූමි රූබන් මහතා සමඟ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ වෙනුවෙන් ‘හිත ලෙඩ කරන බොරු භූතයෝ’ මැයෙන් ලියූ ලිපි පෙළක් ඇසුරින් මානසික ව්‍යාධි ගැන ඉකුත් වසරේ ග්‍රන්ථයක් එළි දක්වන්නට සමත් වුණා. රටේ පැවති කොරෝනා වසංගතය හේතුවෙන් ඒ ගැන පාඨකයන් දැනුවත් කරන්නට හැකිවූයේ අල්ප වශයෙන්.

සුදු කළු භීෂණයේ සෙවණැලි මා විසින් ලියා පළ කරන ලද්දේ 2019 වසරේ අග භාගයේ දී. එහි දෙවන මුද්‍රණය යි මා ඔබ අතට පත් කළේ. දෙවන මුද්‍රණය සේ එය නිකුත් වූයේ මීට මාසයකට දෙකකට කලින්.

මේ කෘතිය ගැන පෙරවදනක් ලියා ඇති කොළඹ විශ්වවිද්‍යාලයේ, හොරණ ශ්‍රීපාලී මණ්ඩපයේ ටියුඩර් වීරසිංහ සූරීන් විසින් දක්වා ඇත්තේ ද මෙය කතුවරයා ගේ ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙසයි.

● කෘතිය සඳහා ලැබෙන පාඨක ප්‍රතිචාර හරහා ඔබ විසින් දරන ලද උත්සාහය සාර්ථක වී ඇති බව හැඟෙනව ද?

ඔව්… ඉතා යහපත් ප්‍රතිචාර ලැබෙනවා. පළමු මුද්‍රණය අවසන් වීම නිසා ඉකුත් දා දෙවන මුද්‍රණයක් එළි දක්වන්නට ප්‍රකාශක ගොඩගේ පොත් මැඳුර පියවර ගන්න ඇත්තේ ඒ නිසා බව පෙනෙනවා. 2019 අග භාගයේ දී පළමු මුද්‍රණය නිකුත් වී දෙවන මුද්‍රණයක් නිකුත් කිරීමට මේ අසීරු කාලයේ පොත් ප්‍රකාශක ගොඩගේ මහත්මා පියවර ගන්න ඇත්තේ ඒ නිසා බව යි මගේ විශ්වාසය.

මේ කෘතිය ගැන විදෙස් පාඨකයන් කීප දෙනකු ද  අගැයීමට ලක් කරන ලද බව සතුටින් සඳහන් කරනවා.

● ඉදිරි නිර්මාණ කටයුතු පිළිබඳ යමක් සඳහන් කරන්න පුළුවන්ද?

මේ කෘතිය අදින් වසර හවුරුදු තිහකට තරම් පෙර භීෂණ කාලේ රටේ සිදුවූ අති බිහිසුණු ඝාතන ගැන මා ලද අත්දැකීම්වලින් ලියැවුණු ග්‍රන්ථයක්.

ඒ සමයේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වූ එක්තරා තරුණියකගේ අනුවේදනීය සිද්ධිමාලාවක් පසුබිම් කොට ගෙන යි මේ වන විට මුද්‍රණය උදෙසා පොත් ප්‍රකාශන ආයතනයට භාර දි ඇති පිටු හාරසිය හැට හතකින් යුත් ‘නිර්මලී’ නම් නවකතාව ලියන ලද්දේ. ඊට අමතරව තවත් නිර්මාණ කීපයක් ඉදිරියේ දී පාඨකයන් අත පත් කරන්නට සැලසුම් කර තියෙනවා.

● සංවාදය – රුවන්
ඡායාරූපය – ධර්මසේන වැලිපිටිය

සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment