ඉදිරි සති තුන දුෂ්කරයි; බුද්ධිමත් සැලසුම් ක්‍රියාත්මක කිරීමෙන් අභියෝගය ජයගත හැකියි

249

රට පත්වී ඇති වත්මන් තත්ත්වය මත ඉදිරි මාස හය තුළ ජන ජීවිතය සාමාන්‍ය මට්ටමින් පවත්වාගෙන යෑම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 05ක මුදලක් අවශ්‍ය බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

මේ අතර සියලුදෙනාම ඉදිරි සති තුනක කාලයක් හැකිතාක් අරපරිස්සමින් ඉන්ධන සහ ගෑස් පරිභෝජනය කළ යුතු අතර අනවශ්‍ය ලෙස ඉන්ධන සහ ගෑස් රැස්කර ගැනීමෙන් වළකින ලෙස තමා සමස්ත පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින අතර එම දුෂ්කර සති තුනෙන් පසු ඉන්ධන සහ ගෑස් හිඟයකින් තොරව බෙදාදීමට වෙහෙසෙන බව අගමැතිවරයා පැවසීය.

අපිත් අපේ රටත් මුහුණ දෙන තත්ත්වය ඔබ හැමදෙනාම හොඳින් අවබෝධ කරගෙන ඇති බව මම හිතනවා. මේ තත්ත්වයෙන් යළිත් රට නඟාසිටුවීමට සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව අලුත් මාර්ග

හොයාගන්න වෙනවා. සම්ප්‍රදායික දේශපාලන මතවාද කෙටි කාලෙකට පසෙක තියා, රට ගොඩනැගීම සඳහා සාමූහික උත්සාහයක් දැරිය යුතු වෙනවා. මුළු රටේම ජනතාව ඒ උත්සාහයේ කොටස්කරුවන් විය යුතුයි. රට වෙනුවෙන් අපි හැමෝටම කාර්යභාරයක් පැවරෙනවා.

මෙතැනදී අපේ මූලික අවධානය යොමු වන්නේ ආර්ථික ස්ථාවර භාවයක් ඇති කරලීමටයි. හැබැයි ආර්ථික ස්ථාවර භාවයක් ඇති කළ පමණින් අපට මේ තත්ත්වයෙන් ගොඩ එන්න බෑ. අපි අපේ රටේ ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයට පත් කරගත යුතු වෙනවා.

මේක දවසින් දෙකෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේ අභියෝගය ජයගන්න පුළුවන් වෙන්නේ ප්‍රාතිහාර්යවලින් නෙවෙයි. සටන් පාඨවලින් නෙවෙයි. මැජික්වලින් නෙවෙයි. හැඟීම්වලින් නෙවෙයි. බුද්ධිමත්ව සිතා සකස් කරගත් සැලසුම් ක්‍රියාත්මක කරලීම සඳහා වෙහෙසීමෙන් සහ කැපවීමෙන්.

ඉන්ධන සඳහා රටට මාසයකට වැය වන මුදල ඩොලර් මිලියන 500 ක් පමණ වෙනවා. වර්තමාන අර්බුදකාරී තත්ත්වය නිසා තෙල් මිල ඉහළ යෑමේ අවදානමක් ඇති බව අප සිහි තබා ගත යුතුයි. මේ වසර අවසානය වෙද්දි 40% කින් පමණ ලෝක තෙල් මිල ඉහළ නැංවෙන බවට සමහරු අනුමාන කරනවා. මේ පසුබිමේ ඉන්ධන සඳහා සලාක ක්‍රමයක් හඳුන්වා දීමේ අදහස බැහැර කරන්න බෑ. කෙසේ හෝ ඉදිරි මාස හය සඳහා ඩොලර් මිලියන 3300 ක් අප ඉන්ධන වෙනුවෙන් සොයා ගත යුතුයි.

ගෑස් ගෙන්වා ගැනීමට මාසයකට ඩොලර් මිලියන 40කට අධික ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. දැනට අපි ගෑස් ගෙන්වා ගැනීම සඳහා බහුපාර්ශ්වීය ආධාර දේශීය මුදල් සහ ඉන්දීය ණය යොදා ගන්නවා. ඉදිරි මාස හයේ ගෑස් සඳහා අපට ඩොලර් මිලියන 250ක මුදලක් අවශ්‍යයි.

ඒ වගේම ඉන්ධන සහ ඒ සම්බන්ධයෙන් ඉදිරි සති තුන දුෂ්කර කාල සීමාවක් වෙනවා. අප සියලු දෙනාම හැකිතාක් අරපරිස්සමින් ඉන්ධන සහ ගෑස් පරිභෝජනය කළ යුතු කාලයක්. ගමන් බිමන් හැකි තරම් සීමා කර ගත යුතු කාලයක්. ඒ නිසා මේ කාල සීමාවේ තමන් ගැන පමණක් සිතා අනවශ්‍ය ලෙස ඉන්ධන සහ ගෑස් රැස්කර ගැනීමෙන් වළකින ලෙස මම සමස්ත පුරවැසියන් ගෙන් ඉල්ලා සිටිනවා. ඒ දුෂ්කර සති තුනෙන් පසු ඉන්ධන සහ කෑම දුෂ්කරතාවයන් ගෙන් තොරව බෙදාදීම සඳහා අපි වෙහෙසෙනවා. විවිධ පාර්ශ්වයන් සමග සාකච්ඡා පවත්වනවා. මේ දුෂ්කර සති තුනට අපි ඉවසිලිමත්ව මුහුණ දෙමු.

අපට අවශ්‍ය ආහාරවලින් කොටසක් අපි දේශීයව නිපදවා ගන්නවා. ඉතිරිය පිටරටින් ගෙන්වනවා.

ගෙවුණු මහ කන්නයේ අපේ අස්වැන්න පහළ මට්ටමකට වැටුණා. යල කන්නයේ මේ තත්ත්වයට මුහුණ දෙන්න සිදුවෙනවා. අප දැන් සිටම වෙහෙසිය යුත්තේ ඊළඟ මහ කන්නය සාර්ථක කර ගන්නටයි. නමුත් ඒ අස්වැන්න එන්නේ 2023 පෙබරවාරි අවසානයේදීයි. සහල් පිළිබඳව කතා කළොත් අපේ රටේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙටි්‍රක් ටොන් මිලියන 2.5ක්. නමුත් අපට තියෙන්නේ සහල් මෙටි්‍රක් ටොන් මිලියන 1.6 ක් පමණයි. සහල් වගේම අනෙකුත් භෝග ගණනාවකටම මේ තත්ත්වය පොදුයි. ඒ නිසා තව මාස කීපයකින් ආහාර අතින් බරපතළ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න අපට සිදුවෙනවා. දෛනික ආහාර අවශ්‍යතා යාන්තමින් හෝ සපුරාලීමට පිටරටින් ආහාර ද්‍රව්‍ය

ගෙන්වා ගන්න සිද්ධ වෙනවා. ඒ සඳහා මාසයකට වැය වන මුදල ඩොලර් මිලියන 150 ක්.

කඩාවැටෙමින් පවතින කෘෂිකර්මය ගොඩනැංවීමේ කාර්යයන් අප වහාම ආරම්භ කළ යුතුයි. අපේ අපනයන බෝග සඳහා වූ ජාත්‍යන්තර වෙළෙඳපොළ අපට අහිමි වෙමින් යනවා. ඒ තත්ත්වය වළක්වා

ගැනීමට අප කටයුතු කළ යුතුයි. දේශීය කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට රසායනික පොහොර අවශ්‍යයි. වී, එළවළු, පලතුරු ප්‍රධාන අනෙක් බෝග සඳහාත් තේ, රබර්, පොල් ඇතුළු අපනයන බෝග සඳහා අවශ්‍ය පොහොර ගෙන්වීමට වසරකට ඩොලර් මිලියන 600 ක් වැය වෙනවා. වගාවක ආරම්භයේ සිට අවසානය දක්වා වරින් වර පොහොර යෙදීමට සිදුවන නිසා මේ පොහොර ආනයනය අඛණ්ඩව හිඟයකින් තොරව කිරීම අවශ්‍යයි. නැත්නම් මුදලත් වෙහෙසත් අපතේ යැවීමක්.

දැනට රටට අවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ ගෙන්වා ගැනීම සඳහා අප විවිධ ජාත්‍යන්තර ආධාර වැඩසටහන් සම්බන්ධ කරගත්තා. ඒ වගේම විවිධ රටවලින් ආධාර ලබා ගැනීමට සැලසුම් සකස් කළා. ඒ කණ්ඩායම් සහ රටවල් බේත් හේත් සහ සෞඛ්‍ය උපකරණ සඳහා සැලකිය යුතු සහයෝගයක් අපට ලබාදෙන නිසා ඉදිරි මාස හය සෞඛ්‍ය කටයුතු සඳහා අපට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නෑ. සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ඔවුන්ට අපේ ස්තුතිය පුද කර සිටිනවා.

මේ තත්ත්වය මත ඉදිරි මාස 6 තුළ අපේ රටේ ජන ජීවිතය සාමාන්‍ය මට්ටමින් පවත්වාගෙන යෑම සඳහා ඩොලර් බිලියන 5ක මුදලක් අපට අවශ්‍යයි.

එදිනෙදා ජන ජීවිතය පවත්වාගෙන යද්දී ඊට සමාන්තරව රුපියල ශක්තිමත් කළ යුතුයි. රුපියල ශක්තිමත් කරලීම සඳහා තවත් ඩොලර් බිලියන 5 ක මුදලක් අපට අවශ්‍යයි.

ඒ කියන්නේ ඉදිරි මාස හය රට නොවැටී පවත්වාගෙන යෑම සඳහා ඩොලර් බිලියන 6ක මුදලක් හොයා ගැනීම අවශ්‍ය වෙනවා.

මේ සියල්ල මැද දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නංවා ගැනීමට අප සැලසුම් සකස් කළ යුතුයි. ඒ සැලසුම් ක්‍රියාත්මක කළ යුතුයි. මහ බැංකු වාර්තා අනුව 2022 වර්ෂයේ අපේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 3.5. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංඛ්‍යාලේඛන අනුව තත්ත්වය ඊටත් බැරෑරුම්. ඔවුන්ට අනුව දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සෘණ 6.5 ක්. යුක්රේන යුද්ධයේ බලපෑම නිසා මුළු ලෝකයේම රටවල දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය ලබන වසරේ පහත වැටෙනවා. යළි යථා තත්ත්වයට පත්කර ගත හැක්කේ 2024 වසරේදී බව පුරෝකථනය කර තිබෙනවා. අප ඒ ලෝක තත්ත්වයටත් මුහුණ දිය යුතු වෙනවා.

2019 දී අප ක්‍රියාත්මක කළ බදු ක්‍රමය අහෝසි කිරීම නිසා රජයට රුපියල් බිලියන 6.6 ක ආදායමක් අහිමි වුණා. අපේ ආර්ථිකය කඩාවැටීම ඇරඹුණේ එතනින්. ඒ නිසා අපි වහාම 2019 වසරේ තිබූ බදු ක්‍රමයට යා යුතු වෙනවා. අප නැගිටීම පටන් ගත යුත්තේ වැටුණු තැනින්.

පසුගිය කාලවකවානුවේ අසීමිතව මුදල් අච්චු ගැසූ බව අප කවුරුත් දන්නා කරුණක්. 2020 සිට 2022 මැයි 20 වැනිදා දක්වා රුපියල් බිලියන 2.5 ක මුදලක් මුදාහැර තියෙනවා. වර්තමානයේ අප මුහුණ දෙන තත්ත්වය නිසා රජයේ බොහෝ ආයතනවල විධිමත් මූල්‍ය කළමනාකරණයක් සිදු වන්නේ නැහැ. ඒ නිසා අලුත් ක්‍රමවේදයන් හඳුන්වා දිය යුතු වෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය ඊට එක් උදාහරණයක්. ඔවුන් සතුව අරමුදල් තිබුණත් භාණ්ඩාගාර රෙගුලාසිවලට අනුව ඒ අරමුදල් කළමනාකරණය කරන්න ඔවුන් අසමත් වෙලා තියෙනවා. වර්තමානයේ අපේ රට පත්ව ඇති තත්ත්වය මත කිසිදු රාජ්‍ය ආයතනයක පාඩු පියවා ගැනීමට මුදල් ලබාදීමේ හැකියාවක් රජයට නැහැ. ඒ ණය බර රජයට හෝ රාජ්‍ය බැංකුවලට තවදුරටත් දරන්න බැහැ.

අප දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පවත්වමින් සිටින්නේ. ඒ සාකච්ඡාවන් සඳහා අප පදනම් කරගත්තේ අපේ ඉදිරි ආර්ථික සැලැස්මයි. ඒ අනුව 2023 වසර අපිට සියලු අභියෝගයන්ට මුහුණ දෙන්න සිදුවෙනවා. අප විසින් වසර අවසන් වෙද්දී ආර්ථික ස්ථාවර භාවය ඇතිකර ගත යුතුයි. ඉන්පසු 2024 වසර වෙද්දි මූල්‍ය දිරිගැන්වීම් ඔස්සේ ආර්ථික උත්තේජනයක් ඇතිකර ගැනීමේ අවකාශ අපට උදා වෙනවා. 2025 වෙද්දී අපේ අයවැය සමබර තත්ත්වයට ගෙන ඒම හෝ ප්‍රාථමික අතිරික්තයක් ඇතිකර ගැනීම අපේ අරමුණයි. මේ දීර්ඝකාලීන ඉලක්කය කරා යෑමට මේ ආර්ථික වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතුයි. ආණ්ඩු බලය හොබවන පුද්ගලයන්, කණ්ඩායම්, පක්ෂ වෙනස් වුවත් අප මේ තම තමන්ගේ ඉලක්ක සපුරා ගැනීමත්, කාර්ය සාධනය උපරිම මට්ටමකින් පවත්වාගෙන යෑමත්, අනිවාර්ය වෙනවා.

මේ කාර්යයේ දී අපේ විදේශ සම්බන්ධතා ගැන දැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. ජාත්‍යන්තර සහයෝගය උපරිමයෙන් ලබා ගත යුතු වෙනවා. යම් යම් වැරදි ක්‍රියා මාර්ග නිසා අපි ලෝකයෙන්ම කොන් වෙච්ච රටක් බවට පත්වෙමින් යනවා. ඒ තත්ත්වය ආපසු හැරවීම ලේසි නැහැ. ඒත් අප කෙසේ හෝ එය කළ යුතුයි.

මම මේ වෙද්දී විදේශීය තානාපතිවරුන් සමග නිරන්තර සාකච්ඡා පවත්වමින් සිටිනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිතුමා, පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්තුමිය සහ බි්‍රතාන්‍ය අගමැතිතුමා සමග දුරකථන සාකච්ඡා පැවැත්වූවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය, ලෝක ආහාර වැඩසටහන, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ලෝක සෞඛ්‍ය සංවිධානය ආදී ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් සමග සාකච්ඡා කළා.

මේ රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් බොහෝ දෙනෙක් මේ අසීරු අවස්ථාවේදී අපේ රටට සහය දැක්වීමටත් ආධාර කිරීමටත් එකඟත්වය පළ කළා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබන 09 වැනිදා මුළු ලෝකයටම විවෘත ආයාචනයක් කරන්න කටයුතු සූදානම් කර තියෙනවා. ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබාදීම සඳහා සහය වන ලෙසයි ඔවුන් ඒ ඉල්ලීම කරන්නේ. ඔවුන් මේ වැඩපිළිවෙළ ඔස්සේ ආහාර, කෘෂිකර්ම සහ සෞඛ්‍යය ක්ෂේත්‍රයන් වෙනුවෙන් ඩොලර් මිලියන 48 ක මුදලක් මාස 4 ක කාලයක් තුළ ලබා දෙන්නට සැලසුම් කර තිබෙනවා.

අපට ණය සහ ආධාර ලබාදෙන රටවල් අතර ඉදිරියෙන්ම ඉන්නේ ඉන්දියාව, චීනය සහ ජපානයයි. අපට කවදත් හිතවත්ව සිටි මේ රටවල් සමඟ ඇති සබඳතා දැන් බිඳ වැටී තියෙනවා. අප ඒ සබඳතා යළි ශක්තිමත් කරගැනීම අවශ්‍යයි.

මීට ටික කලකට පෙර චීන මහජන සමූහාණ්ඩුවෙන් ස්වොප් පහසුකම් යටතේ අපි ණය මුදලක් ලබා ගත්තා. ඒ ණය මුදල සම්බන්ධයෙන් කොන්දේසියක් තිබුණා. ඒ මුදල් අපට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ මාස තුනකට සරිලන විදේශ සංචිත අපේ රටට තියෙනවා නම් පමණයි. ණය මුදල ලබා ගන්න කොට අපිට මාස තුනක විදේශ විනිමය සංචිත තිබුණේ නෑ. එහෙම තියෙද්දී අපේ අදාළ නිලධාරීන් රට රැවටීමේ ණයක් ලබා ගත්තා. අර කොන්දේසිය අනුව ඒ ණය අපට මුදා හැරෙන්නේ නැහැ.

ජපානය අපේ දීර්ඝ කාලීන මිතුරෙක්. අපේ රටට බොහෝ උදව් උපකාර කළ මිත්‍ර රටක්. නමුත් පසුගිය කාලයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම් නිසා දැන් ඔවුන් ඉන්නේ හිත හොඳින් නෙවෙයි. යම් යම් ව්‍යාපෘති අත්හිටුවීම පිළිබඳව අපේ රට ජපානයට විධිමත් අයුරින් දැනුම් දීමක් පවා කර නැහැ. සමහර අවස්ථාවල කිසිදු හේතු දැක්වීමක්වත් කර නැහැ. ජපානය අපේ රටේ සිදු කළ සමහර ව්‍යාපෘති අතරමග නවතා දමා ඇත්තේ තනි පුද්ගලයෙක් ලබාදුන් වාර්තා අනුවයි.

එල්එන්ජී විදුලි බලාගාර දෙකක් අපට ලබාදීමට ජපානය සහ ඉන්දියාව එකඟ වී සිටියා. විදුලිබල මණ්ඩලය කිසිදු සාධාරණ හේතුවකින් හා පදනමකින් තොරව ඒ ව්‍යාපෘති දෙකම නවතා දැම්මා.

2019 වන විට ජපානය අපේ රටට ඩොලර් බිලියන 3ක පමණ වටිනාකම් ඇති ව්‍යාපෘති ලබාදීමට එකඟත්වය පළ කර තිබුණා. කිසිදු හේතු දැක්වීමකින් තොරව මේ ව්‍යාපෘති සියල්ලම අත්හිටුවා දැම්මා.

මිත්‍ර රටවල්වලින් අපට ලබාදුන් වටිනා ව්‍යාපෘති පදනම් විරහිත හේතුවකට නවතා දැමීම පිළිබඳව විමර්ශනය කරන මෙන් මා පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය කමිටුවෙන් ඉල්ලා සිටිනවා.

අපට ණය දෙන මිත්‍ර රටවල් එක් කොට ආධාර සමුළුවක් පවත්වන මෙන් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටියා. ඉන්දියාව, චීනය සහ ජපානයේ ප්‍රධානත්වයෙන් මෙවැනි සමුළුවක් පැවැත්වීම අපේ රටට විශාල ශක්තියක් වෙනවා. චීනය සහ ජපානය ණය ලබාදීමේ දී අනුගමනය කරන ප්‍රවේශයන් වෙනස්. මෙවැනි සමුළුවක් මාර්ගයෙන් ණය ලබා දීමේ ප්‍රවේශයන් පිළිබඳව කිසියම් එකඟත්වයකට පැමිණිය හැකි බව අපේ විශ්වාසයයි.

මෙතෙක් ලබාගත් ණය ආපසු ගෙවීමේ වගකීම අපට පැවරෙනවා. බහුපාර්ශ්වීය ආනයනයන්ගෙන් ලබාගත් ණය වාරික ගණනාවක් මේ මාසයේ ගෙවන්නට තියෙනවා. අප ණය වාරික ගෙවීම් පැහැර හරින්නේ නෑ. ඉදිරියේදී අලුතෙන් ණය ගැනීමට ද අපට සිදු වෙනවා. ඒ ණය ගෙවීමේ වගකීමක් අපට තියෙනවා.

රට රටවලින් ලබා ගත් ණය ආපසු ගෙවීමේ සැලසුමකට එළැඹුණු සැණින් අපේ අවධානය යොමු කළ යුතු වෙන්නේ අපේ රට ලබාගෙන ඇති පුද්ගලික ණය පිළිබඳවයි. මේ ගැන සොයා බැලීම උදෙසා අප ජාත්‍යන්තර මූල්‍ය උපදේශන සමාගමක් වන කැ‘්රා ආයතනයේත්, ජාත්‍යන්තර නීති උපදේශන සමාගමක් වූ ක්ලිෆර්ඩ් චාන්ස් සමාගමේත් විශේෂඥ උපදෙස් ලබා ගන්නවා.

ලබා ගත් ණය ආපසු ගෙවීමට නම් අපට විදේශ විනිමය තිබිය යුතුයි. විදේශ විනිමය උපයා ගැනීම උදෙසා අපනයන ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කළ යුතු වෙනවා. අපේ ගමන් මග සැලසුම් කර ගැනීමට වියට්නාමය ඉතා හොඳ ආදර්ශයක්. විවිධ නිෂ්පාදන අගයන් එකතුකිරීම් ඔස්සේ අපනයනයට යොමු කළ යුතු වෙනවා. ඒ වගේම විවිධ රටවල් සමඟ සිදුකරන ගනුදෙනුවලදී වෙළෙඳ ශේෂයේ අතිරික්තය හැකි තරම් අවම මට්ටමක පවත්වාගෙන යෑමටත් අප වෙහෙසෙන්නට අවශ්‍යයි.

අපේ අවසාන අරමුණ ශ්‍රී ලංකාවට නව ආර්ථිකයක් නිර්මාණය කිරීමයි. සියවන නිදහස් සැමරුම පවත්වන 2048 වෙද්දී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීමයි. දැන් අපේ රට හරියට ක්‍රියා විරහිත කම්පියුටරයක් වගේ. වැඩ කරන්නේ නෑ. ඉතින් අපි මුලින්ම කරන්න ඕනෙ මොකක්ද. අපි මේ කොම්පියුටරය යළි සාදාගත යුතුයි. දැන් අපි කරන්නේ අන්න ඒ වැඩේ. කොම්පියුටරය රීසෙට් කිරීම. අතුරු අයවැය මගින් කරන්නේ කොම්පියුටරය රීසෙට් කිරීමයි. ඊට පස්සේ අපිට පුළුවන් නවීන මෙහෙයුම් පද්ධතියක් දාගන්න කිසිම වයිරස් එකකට එන්න ඉඩක් නැති වෛරස් ගාඩ් එකක් දාගන්න. ඒත් ඒ සේරම කරන්න කොම්පියුටරය ආපසු පණ ගැන්විය යුතුයි.

ඉදිරි කාලයේ අපේ ආර්ථික සැලැස්ම සහ මාර්ග සිතියම පදනම් කරගනිමින් අතුරු අයවැයක් පාර්ලිමේන්තුවට අප ඉදිරිපත් කරන්නේ ඒ නිසයි. මම කලිනුත් සඳහන් කළා වගේ අපේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ යළි ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒමේ පදනම මේ අයවැය මගින් සකස් කිරීමයි අපේ බලාපොරොත්තුව.

අතුරු අයවැය මගින් රජයේ අනවශ්‍ය වියදම් කපා දමනවා. අනෙක් වියදම් සීමා කරනවා. ඒ වගේම අර්බුදයට ලක් වී ඇති ක්ෂේත්‍ර ගණනාවක් යළි නගා සිටුවීම කෙරෙහි අපේ අවධානය යොමු කරනවා. අපනයන ආර්ථිකය, සංචාරක, ඉදිකිරීම් වැනි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ වගේම අපේ රටේ ආර්ථික වශයෙන් ශක්තිමත් නැති දුර්වල ප්‍රජාව වෙනුවෙන් මේ අවස්ථාවේ අවධානය යොමු කළ යුතු බව අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පෙන්වා දුන්නා. ඔවුන් ඊට එකඟත්වය පළ කළා. අප අතුරු අයවැය සකස් කරන්නේ ඒ කරුණු පදනම් කර ගෙනයි.

එහිදී අප අපේක්ෂා කරන ප්‍රධාන ක්ෂේත්‍ර කීපයක් පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න මා කැමතියි.

  1. ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් උපරිම ක්‍රියාමාර්ග ගැනීම.

ලෝක ආහාර සංවිධානය මෑතකදී කළ සමීක්ෂණයකින් හෙළි වී තියෙන්නෙ ඒ සඳහා සහභාගි කරගත් පවුල්වලින් 73%ක් තම තමන්ගේ ආහාර වේල් සහ ආහාර ප්‍රමාණයන් කපා හැර දමා ඇති බවයි. ඒ තත්ත්වය වෙනස් කර මේ ආහාර සුරක්ෂිතතා වැඩ සැලැස්ම අනුව හිඟයකින් තොරව ආහාර ලබාදීමට අප ක්‍රියා කරනවා. තුන්වේල කන්නට පුළුවන් තත්ත්වයක් රටේ නිර්මාණය කරනවා.

  1. සහනාධාර සීමාව ඉහළ නැංවීම

ආර්ථිකය බිමටම වැටී ඇති මේ අවස්ථාවේ ජනතාව විවිධ පීඩාවන්ට මුහුණ දෙනවා. අප ඔවුන්ගේ පීඩාව හැකිතරම් ඉහිල් කරන්න පියවර ගන්නවා. ආර්ථික ශක්තියක් නැති ජනතාවට විවිධ සහන ලබාදීම උදෙසා දැනට වැය කරන වාර්ෂික මුදල ඩොලර් මිලියන 350ක්. මේ මුදල ඩොලර් මිලියන 550ක් දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වෙනවා.

  1. ගොවි ණය සියයට සියයක්ම කපාහැරීම

කුඩා ඉඩම්වල වී වගාව කරන ගොවි පවුල් අති දුෂ්කර තත්ත්වයනට පත් වී ඉන්නා බව අප දන්නවා. හෙක්ටයාර දෙකකට අඩු ඉඩම් ප්‍රමාණයක් ඇති වී ගොවීන් ලබාගෙන ඇති ගොවි ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා දමනවා.

  1. ජනතාවට තම ඉඩම්වල සින්නක්කර අයිතිය ලබා ලබාදීම

ස්වර්ණභූමි මහවැලි ආදී ඔප්පු මගින් ජනතාවට පවරා ඇති රජයේ ඉඩම් සින්නක්කරවම ලබාදීමේ වැඩපිළිවෙළක් මීට කලින් අප ආරම්භ කළා. සමහර පළාත් සභා ඒ වැඩපිළිවෙළට විරුද්ධ වුණා. ඒ නිසා එය සාර්ථක කර ගැනීමට හැකිවුණේ නෑ. දැන් එවැනි විරෝධතාවක් මතු වන්නේ නැති නිසා ජනතාවට සින්නක්කර අයිතිය ලබාදීමට පියවර ගන්නවා.

  1. නාගරික තට්ටු නිවාස අයිතිය සහනදායී පදනමකින් පදිංචිකරුවන්ට ලබාදීම

නගරාසන්න තට්ටු නිවාස ගණනාවක කුලී පදනම මත ජීවත්වෙන අයට සහනදායී පදනමක් යටතේ මේ සියලු නිවාසවල අයිතිය පදිංචිකරුවන්ට ලබාදීමට පියවර ගන්නවා.

  1. චීනය ඉදිකරන තට්ටු නිවාස ජනතා අයිතියට පත් කිරීම

මා කලින් අගමැති ධුරයේ කටයුතු කරන අවස්ථාවේ චීන මහජන සමූහාණ්ඩුවෙන් කළ ඉල්ලීමක් අනුව තට්ටු නිවාස 1888 ක් ඔවුන් ත්‍යාගයක් ලෙස අපේ රටට පිරිනමනවා. මේ නිවාස අතරින් එකසිය අටක් අපි කලාකරුවන් වෙනුවෙන් වෙන් කර තියෙනවා.

රට ඇද වැටී ඇති අවස්ථාවක ජනතාව දැඩි පීඩනයකට ලක් නොකොට ආර්ථිකයත් රටත් යළි ඔසවා තැබීමටයි අප මේ වෙහෙසෙන්නේ. හැම අංශයක් ගැනම විමසමින් හැම අංශයක්ම ආරක්ෂා කරගෙන ඉදිරියට යෑමයි අපේ අපේක්ෂාව.

මෙවැනි අනතුරුදායක තත්ත්වයක දී අතීතය පෑරීමෙන් පලක් වෙන්නේ නෑ. කෙටි කාලයකට අපි අතීතය අමතක කරමු. රට යළි ඔසවා තැබීමේ වෑයමේ දී අපි අනාගතය ගැන පමණක් සිතා කටයුතු කරමු.

රටක් යළි ඉහළට ඔසවා තැබීමේ දී ආර්ථික ප්‍රතිසංස්කරණ පමණක් සෑහෙන්නේ නැහැ. ඊට සමාන්තරව සමාජ දේශපාලන සහ රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණයන් ද අවශ්‍ය වෙනවා. පසුගිය දිනයක අරගල බිමේ සිට පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී මතු කළ කරුණක් ගැන මා ඔබේ අවධානය යොමු කරන්නට කැමතියි.

එහිදී අදහස් පළ කරමින් දමිතා අබේරත්න කලාකාරිනිය මගෙන් මෙන්න මෙහෙම ඉල්ලීමක් කරා. මේ ගැටලුවට විසඳුම් සොයා ගත යුත්තේ පාර්ලිමේන්තුවෙන් නිසා රටට ආදරේ ඇති අය එක්කරගෙන පාර්ලිමේන්තුව තුළින් විසඳුමක්

හොයාගන්න කියලයි එතුමිය ඉල්ලා සිටියේ. ඇය මෙහෙමත් කිව්වා. හැබැයි අගමැතිතුමනි ටොෆි ලොසිංජර දීලා ජනතාව රවට්ටන්න හදන්න එපා.

මේ අදහස ගැන මෙතැන සිටින ඔබ සැමගේ අවධානය යොමු කරන්න මම කැමැතියි. අද රට පත් ව ඇති තත්ත්වයට විසඳුම් සෙවීමේ වගකීම පැවරී තියෙන්නෙ මේ සභාවේ සිටින ජනතා නියෝජිතයන්ගේ උර මතයි. අපි ඒ වගකීමට උර දිය යුතුයි. ඒ වගකීම අපි ඉෂ්ට කළ යුතුයි. පැලැස්තර විසඳුම් වෙනුවට දීර්ඝකාලීන සහ ප්‍රතිඵලදායී විසඳුම් සෙවිය යුතුයි.

මේ වෙනස තුළ අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කරුණක් තියෙනවා. ඒ දූෂණයෙන් හා වංචාවෙන් තොර රටක් ගොඩ නැංවීමයි. එය අනිවාර්යයෙන්ම විය යුත්තක්. හොරකමින් තොර සමාජයක්. හොරුන්ට ඉඩක් නැති රටක්. හොරුන්ට දඬුවම් දිය හැකි ශක්තිමත් නීතිරීති ඇති පාලනයක්.

රට සාමාන්‍ය තත්ත්වයට යළි ඔසවා තැබීමේ වගකීමට අප සියලු දෙනාම එක සිතින්, එක හදින් උර දෙමු.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment