ඉන්ධන සීමා කළොත් ඩොලර් සංචිත රැකගත හැකියි

327

පුනර්ජනනීය බලශක්තිවලට කඩිනමින් යොමුවෙමින් ඉන්ධන ආනයනය සීමාකර ගත යුතු යැයි ජනාධිපති ලේකම් හා මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

 ඛනිජ තෙල් ආනයනය සියයට දහයකින් අඩුකර ගතහොත් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක පමණ විශාල විනිමයක් වසරකට ඉතුරුකර ගත හැකි යැයි පැවසූ ඒ මහතා අල, ලූනු, මිරිස්, මුං ඇට සහ කහ වැනි ආනයන සියල්ල සීමා කළ ද වසරකට එවැනි විශාල මුදලක් ඉතිරිකර ගත නොහැකි යැයි ද කීවේය.

 අනෙකුත් ආනයන වියදම් ද අඩුකර ගත යුතුයි. එහෙත් තෙල් ආනයන වියදම් අඩුකර ගැනීම තමයි ප‍්‍රධානම ආනයන ආදේශනය. එසේම මීට විකල්පයක් ලෙස පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් වලට අප කඩිනමින් යොමු විය යුතුයි.

 මේ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අදහස වන්නේ ඉදිරි වර්ෂ දහය තුළ අවම වශයෙන් සියයට 70 ක් වත් පුනර්ජනනීය බලශක්තිවලට ගමන් කිරීමයි. ඉන්ධන මත රඳා පවතින ආර්ථිකයෙන් අපට ගැලවිය හැක්කේ එවිට යැයි ද ජනාධිපති ලේකම්වරයා පැවසීය.

 මේ අනුව රු. බිලියන 50 ක හරිත මූල්‍යකරණ පහසුකමක් ඇති කරන ලෙස තමා මහ බැංකු අධිපතිතුමාගෙන් සහ මුදල් මණ්ඩලයේ සාමාජිකන්ගෙන් ඉල්ලීමක් කළ බවද එයට මහ බැංකුවෙන් ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවද ජනාධිපති ලේම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment