එංගලන්ත ලයන්ස් සිංහ සෙයියාවෙන් නැගිටියි

218

සාමාන්‍යයෙන් එක්දින තරගයකටත් වඩා වේගවත් පිතිහරඹයක් ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ප්‍රබල පිළිතුරක් ලබාදීමට සංචාරක එංගලන්ත ලයන්ස් ක්‍රීඩකයෝ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (08 වැනිදා) සමත් වූහ.

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 332ට පිළිතුරු ලෙස කඩුලු 3ක් දැවී ලකුණු 234ක් රැස් කිරීමට ඔවුන් සමත්ව සිටි අතර ඒ සඳහා ඔවුන් වැය කර තිබුණේ පන්දුවාර 35ක් පමණි.

පන්දුවාරයකට 6.68ක ලකුණු වේගයක් රඳවා ගෙන ඊයේ දිනයේ පන්දුවට පහර දී තිබූ එංගලන්ත ලයන්ස් ක්‍රීඩකයෝ දිනය නිමාවන විට ශ්‍රී ලංකා මුල් ඉනිමට වඩා ලකුණු 98ක් පිටුපසින් සිටි අතර තවත් කඩුලු හතක් අතැතිව සිටියහ.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් දියත් කරන ලද වේගවත් පිතිහරඹයේ වැඩි කොටසක බර ඉසිලු අංක 05 පිතිකරු ජේමී ස්මිත් පන්දු 56කදී නොදැවී ලකුණු 86ක් ලබා ගත් අතර එම ඉනිම සඳහා හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් අන්තර්ගත වී තිබුණි.

ජෙමී ස්මිත්ගේ පිතිහරඹය කෙතරම් වේගවත් වීද යත් තරගය නිම වීමට පෙර ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවාර දෙක තුළදී ද එංගලන්ත කණ්ඩායමට ලකුණු 38ක් ලැබී තිබුණි.

එහිදී ලක්ෂිත මානසිංහ ක්‍රියාත්මක කරන ලද 34 වන පන්දු වාරයේ දී ලකුණු 19ක් ද චාමික කරුණාරත්න ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවාරයේදී තවත් ලකුණු 19ක් ද එංගලන්ත ලයන්ස් ඉනිමට එක් වූයේය. එහිදී මානසිංහගේ පන්දුවාරයට හතරේ පහර තුනක් සහ එක් හයේ පහරක් එල්ල කළ ස්මිත් චාමික කරුණාරත්නගේ පන්දු වාරයට හයේ පහර දෙකක් සහ එක් හතරේ පහරක් එල්ල කිරීමට සමත් වී තිබුණි.

එංගලන්ත කණ්ඩායමට එරෙහිව පන්දු වාර පහක් පමණක් ක්‍රියාත්මක කළ ලක්ශිත මානසිංහ හමුවේ එංගලන්ත පිතිකරුවෝ ලකුණු 54 ක් ලබා සිටියහ.

එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඇලෙක්ස් ලීස් දිනය අවසන් වනතෙක්ම සිය අන්තය ආරක්ෂා කර ගනිමින් නොදැවී ලකුණු 75 ක් රැස්කරගෙන සිටියේය. පන්දු 82ක් පුරා ක්‍රියාත්මක වූ ලීස් ගේ ඉනිමට එකතු වූ හතරේ පහර සංඛ්‍යාව 8කි.

එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නායක හසීබ් හමීඩ් තමා ක්‍රියාත්මක කරන ලද තරගයේ දෙවන පන්දුවේදී ලබාගැනීමට චාමික කරුණාරත්න සමත් වූයේය. අනතුරුව ක්‍රියාත්මක වූ විශ්ව ප්‍රනාන්දු ටොම් ඇබල්ගේ කඩුල්ල ද ලකුණු හතරකට දවාගත් අතර සංචාරකයින්ගේ ලකුණු පුවරුව ඒ අනුව කඩුලු දෙකක් දැවී ලකුණු 17ක් ලෙස දිස් වුණි.

අනතුරුව පිටියේ එක් වූ ජෝස් බෝනමන් ආරම්භක පිතිකරු ඇලෙක්ස් ලීස් සමග එංගලන්ත ලකුණු පුවරුව ඉදිරියට කැඳවා ගෙන ගිය අතර බෝනමන් ලකුණු 54කට දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් වූයෙන් ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවය ලකුණු 105 කට සීමා විය.

පෙරේදා දිනයේ දී තරගය නතර කරන විට කඩුලු තුනක් දැවී ලකුණු 190ක් ලබා සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වරෙක කඩුලු 3ක් දැවී ලකුණු 211ක් දක්වා ලකුණු පුවරුව ඉහළට ගෙන පැමිණි අතර ඉන් අනතුරුව තවත් ලකුණු 121ක් ඉනිමට එකතු වෙද්දී ඉතිරි පිතිකරුවෝ 7 දෙනා දෙනා දැවී ගියහ.

ඒ අතරින් ශතකලාභී ලසිත් කෲස්පුල්ලේ ලකුණු 128 කට දැවී ගිය අතර නායක නිපුන් ධනංජය ලකුණු 61ක් ලබා ගත්තේය.

අවසන් පිතිකරුවන් ලෙසින් ලක්ෂිත මානසිංහ ලකුණු 43ක් සහ ලසිත් ඇඹුල්දෙනිය ලකුණු 42ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 300 සීමාව ඉක්මවා යෑමට දායක වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment