ක්‍ෂුද්‍ර මූල්‍ය ණය හමුවේ පීඩාවට පත්වන ආදිවාසී ජනතාවට හව්හරණක් නැතිද?

152

ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව මෙරට පුරවැසියන් පීඩාවට පත්කර තිබෙන බව විවිධ පුවත්පත් ලිපි සහ රූපවාහිනී වැඩසටහන් ඔස්සේ මම දැක ඇත්තෙමි.

අපගේ ආදිවාසි ප්‍රජාව නියෝජනය කරමින් හෙනානිගල සහ වාකරේ ඇතුළුව තවත් ප්‍රදේශවල ආදිවාසී ප්‍රජාව ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව නිසා දැඩි පීඩාවට පත්ව සිටින අතර ආදිවාසී නායකයා වශයෙන් ඒ පිළිබඳ මා දැනුවත් කළ ද ඊට මැදිහත් වී ක්‍රියාමාර්ග ගැනීමට මාහට හැකියාවක් නොමැත.

මෙසේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුවෙන් පීඩා විඳින ආදිවාසී ප්‍රජාව ඉතාම දුප්පත් ජීවන බරෙන් මිරිකී ජීවත් වෙන කොට්ඨාසයක් වන අතර ඔවුන්ගේ නොදැනුවත්කම සහ නූගත්කම භාවිත කොට ණය උගුලට සිරකර ඇති අතර බොහෝ ප්‍රජාවක් ඉන් මිදීමට නොහැකිව අසරණ තත්ත්වයට පත්ව සිටී. මේ වනවිට විවිධ ආයතන නියෝජනය කරමින් පැමිණෙන නිලධාරීන් අප ප්‍රජාවට බලපෑම් කරන අතර ඔවුන්ගේ දෛනික ජීවන කටයුතු සිදුකර ගැනීමට ඉඩ නොදෙන තත්ත්වයකට පත්ව තිබේ.

ආදිවාසී ප්‍රජාවන් මුහුණ දී ඇති ප්‍රශ්න ඔවුන්ගේ නායකයා වශයෙන් පහත ආකාරයෙන් ඉදිරිපත් කරමි.

  1. ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධ සමහර ගිවිසුම් සහ/හෝ ලියකියවිලි ඉංග්‍රීසි භාෂාවෙන් වන අතර අදාළ ලේඛනවල සඳහන් වන්නේ කුමක් ද යන්න පිළිබඳව ඔවුන්ට අවබෝධයක් නොමැති නමුත් මූල්‍ය දුෂ්කරතාවන්ගේ පීඩිතව සිටින පසුබිමක, ණය සේවා ලබන්නන්ට එක් එක් කොන්දේසිවලට එකඟ වන බවට අත්සන් කිරීමට සිදුව ඇත. විශේෂයෙන්ම අපගේ ආදිවාසී ප්‍රජාවන්ගේ බහුතරයකට සිංහල හෝ දෙමළ යන භාෂාවන් දෙකෙන් එකදු භාෂාවක් හෝ කියවීමේ හැකියා ද නොමැති පසුබිමක ඔවුන්ට ණය ලබාදෙන බව පවසා ලබාදෙන ඕනෑම ලේඛනයකට අත්සන් කිරීමේ පෙළඹීමක් ඇත. මෙමගින් ප්‍රජාවන්ගේ භාෂා අයිතිය ද උල්ලංඝනය කරනු ලබයි.
  2. ආදිවාසී ප්‍රජාවන්ට ක්ෂුද්‍ර මූල්‍ය සේවා සපයන ආයතනවල හෝ වෙනත් රජයේ අධිකාරියක අධීක්‍ෂණය, සන්නිවේදනය සහ පසු විපරම් පද්ධති නොමැති වීම සහ ඒ අනුව සේවාලාභීන්ගෙන් බහුතරයකට ලැබුණු මුදල් ප්‍රමාණය, ආපසු ගෙවන මුදල්, පොලී අනුපාත, ආපසු ගෙවීම ප්‍රමාද කිරීමේ දී අධිභාර ප්‍රතිශතය, ණය පැහැර හැරීම් සඳහා දඩ මුදල්, ණය කාලය සහ ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර තිබේද නැද්ද යන්න ආදිය පිළිබඳ පැහැදිලි දැනුමක් නොමැත.
  3. ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු සම්බන්ධ නියාමන අධිකාරීන්ගෙන් තොරතුරු වෙත ප්‍රවේශ වීම පිළිබඳ දැනුම සහ අවබෝධය නොමැතිකම සහ බලපෑමට ලක් වූ ආදිවාසී ප්‍රජාවන්ට ඔවුන්ගේ ගැටලු සහ අභියෝග මතු කළ හැකි ප්‍රායෝගික දුක්ගැනවිලි විසඳීමේ යාන්ත්‍රණයන් නොමැති වීම.
  4. ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලකට ගොදුරු වූවන්ට නීතිමය සහය නොලැබීම සහ එම නිසා සමාගම්වල මුදල් බලය නිසා ක්ෂුද්‍ර ණය ලබන්නන් නඩු පවරනු ලබන බවට බියවැද්දීම හේතුවෙන් ආදිවාසී ප්‍රජාවන් තවදුරටත් වඩාත් දුෂ්කර තත්ත්වයකට පත්ව ඇත.
  5. ක්ෂුද්‍ර මූල්‍ය සේවා සපයන්නන්ගේ නියෝජිතයන් විසින් ආදිවාසී ප්‍රජාවන්ට එකී ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳ මූලික තක්සේරුවකින් තොරව පවා ණය දීම සහ එම ණය ආපසු ගෙවීම් එකතු කිරීමේ විවිධ නීති විරෝධී හා හිරිහැරකාරී ක්‍රම භාවිත කිරීම නිසා අපගේ ආදිවාසී ප්‍රජාවේ මානව හිමිකම් ද කඩවන අවස්ථා පැවතීම.
  6. ප්‍රධාන වශයෙන් ක්ෂුද්‍ර ණය සම්බන්ධ ගැටලු, ලිංගික අල්ලස් ගැනීමට පෙළඹවීම සහ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල ණය එකතු කරන්නන්ගේ හිරිහැර, තර්ජන සහ බිය ගැන්වීම් සිදුවීම් හේතුවෙන් බිඳී ගිය පවුල්, සහකරු හෝ සහකාරිය හැර යෑමෙන් කාන්තාවන් තනි මාපියන් වීම වැනි සමාජ ප්‍රශ්නවල බලපෑම මෙන්ම ක්ෂුද්‍ර ණය උගුලෙන් පීඩාවට පත් ආදිවාසී පවුල්වල කාන්තාවන්ගේ ණය ගැති භාවයන්, ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට වන අහිතකර බලපෑම් ආදිය සම්බන්ධයෙන් තවමත් නිසි ලෙස තක්සේරු කර නොමැත.
  7. වත්කම් විකුණා හෝ උකස් කර ණය පියවීම් සඳහා මූල්‍ය සම්පත් එකතු කර ගැනීමේ සියලු විභව මාධ්‍යයන් වෙත යොමුවීම හේතුවෙන් බොහෝ කාන්තාවන් ඉඩම්, කෘෂිකාර්මික උපකරණ, ස්වර්ණාභරණ හා ගේ දොර ගෘහ භාණ්ඩ වැනි තම වත්කම් අහිමි වීමේ තත්ත්වයක් පවතී. මෙම ක්‍රියාවලිය අඛණ්ඩව මහා පරිමාණයෙන් ඉදිරියට ගියහොත්, ක්ෂුද්‍ර ණය උගුලකට ගොදුරු වූවන්ගේ ආදිවාසී පවුල්වල පැවැත්ම සහතික කිරීම සඳහා අවම වශයෙන් චංචල හෝ නිශ්චල වත්කම් නොමැති ආදිවාසී ප්‍රජාවන්ගේ විශාල සමාජ ප්‍රශ්නයක් සඳහා පදනම විය හැකිය.
  8. මා දන්නා පරිදි මෙම ව්‍යසනකාරී ප්‍රශ්නය අපගේ ආදිවාසී ප්‍රජාවන්ට පමණක් නොව මේ රටේ බොහෝ ප්‍රදේශයන්හි විශේෂයෙන්ම බහුතර කාන්තාවන් ප්‍රමාණයක් මුහුණ දී ඇති ගැටලුවක් වී ඇති හෙයින් මේ සඳහා විසඳුම් වශයෙන් ආදිවාසී ප්‍රජාවේ නායක ඇත්තන් වශයෙන් ඔබතුමන්ලාගේ අවධානය සහ පසුවිපරම් මෙන්ම විසඳුම් සඳහා යොමු කරමි.

ක්ෂුද්‍ර මූල්‍ය සහ වෙනත් අවිධිමත් ණය හේතුවෙන් ජීවිත අවධානමකට පත්ව ඇති ආදිවාසී ප්‍රජාවන්ගේ දුක්ගැනවිලි වෙනුවෙන් කෙරෙන ප්‍රධාන ඉල්ලීම්

  1. ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ කාර්යයන් අර්ථවත් ලෙස ප්‍රමිතිගත කරන ඵලදායී සහ ශක්තිමත් නියාමන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පවතින අඩුලුහුඬුකම් වූ කලී ප්‍රධාන ප්‍රතිපත්තිමය ගැටලුවලින් එකකි. එවැනි නියාමන ප්‍රතිපත්තියක් මගින් බලපත්‍රලාභී ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල මුවාවෙන් පුද්ගලයන් හෝ ආයතන නීති විරෝධී ලෙස ක්‍රියාත්මක වීම සහ ඔවුන්ගේ ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් සඳහා මූල්‍ය සම්පත් ලබාගැනීමට ආන්තික ප්‍රජාවන් සූරාකෑම වැළැක්විය යුතුය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්මාණය කරන ලද යෝජිත ණය නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ කඩිනමින් සභාගත කර එය ක්‍රියාත්මක කළ හැකි නීතියක් බවට පත් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග අවශ්‍ය බව ආදිවාසී ප්‍රජාව වශයෙන් අපි ඉල්ලා සිටිමු.
  2. ක්ෂුද්‍ර මූල්‍ය පනත හරහා රෙගුලාසි සඳහා වන නිර්ණායක හෝ ඒ යටතේ නිකුත් කෙරෙන ඕනෑම අනාගත නීති සම්පාදනයක මුදල් ණයට දීමට හැකි ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල සේවා ලබන්නන්ගේ භාෂා අයිතිවාසිකම්වලට ගරු කිරීම සඳහා අවශ්‍ය

මාර්ගෝපදේශ ඇතුළත් විය යුතු බව අපි ඉල්ලා සිටිමු. අත්සන් කරන්නන්ට කියවා තේරුම් ගත නොහැකි භාෂාවකින් ඉදිරිපත් කර ඇති අසාධාරණ කොන්ත්‍රාත් නියමයන් සහ කොන්දේසි 1997 අංක 26 දරන අසාධාරණ ගිවිසුම් කොන්දේසි පනතේ දක්වා ඇති විධිවිධාන උල්ලංඝනය කිරීමක් බව අපි නැවත අවධාරණය කරමු.

  1. බලපත්‍රලාභී ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වශයෙන් ලියාපදිංචි නොවී බැංකු නොවන මූල්‍ය සමාගම් වශයෙන් ඇති ආයතන සහ සමාගම් නීතිය වැනි වෙනත් නීති යටතේ ලියාපදිංචි වූ සමාගම් මෙන්ම කිසිම ආකාරයක ලියාපදිංචියක් නොමැති පුද්ගලික ආයතන ද මේ අන්දමින් විවිධ ණය දීමේ අනීතික ආකාරයන්ගෙන් ණය ආපසු අයකර ගැනීමේ ක්‍රමවේදයන් සිදු කරන බැවින් ඒ සියල්ල නීතියේ

රැහැනට හසුකර ගැනීමට සුදුසු වැඩපිළිවෙළක් කඩිනමින් ඇති කිරීමට පියවර ගැනීම.

  1. විශේෂයෙන් ආදිවාසී ප්‍රජාවන්ගේ ආර්ථික තත්ත්වයන් මීට වසර කීපයකට පෙර පැවති කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සහ දැනට පවතින ආර්ථික දුෂ්කරතාවයන් හේතුවෙන් ඉතාම පහළ මට්ටමකට ඇදවැටී ඇති අතර ඒ සම්බන්ධයෙන් සුවිශේෂී කාරුණික අවධානයක් යොමුකර පසුගිය වසර 5ක කාලය පුරාවට ආදිවාසී ප්‍රජාවන්ගේ සාමාජිකයන් විසින් ගන්නා ලද ක්ෂුද්‍ර මූල්‍ය හා වෙනත් එවැනි කුඩා පරිමාණයේ ණය සම්බන්ධයෙන් ඇගයීමක් සිදුකර එකී ණය හේතුවෙන් ජීවිත පවා අහිමි වීමේ අවදානමක් ඇති හෙයින් එකී ණය කපා හැරීමේ සහනයක් ලබාදීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි.

(ජනාධිපතිතුමන්ට හා ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිතුමාට යවන ලද ආයාචනයකිනි)

ආදිවාසී නායක
ඌරුවරිගේ වන්නිල ඇත්තෝ

advertistmentadvertistment
advertistmentadvertistment