කෑලි කඩපු ඉඩම්වලට විදුලි සැපයුම් ගාස්තු අයකරන හැටි නිශ්චිතව දැනුම් දිය යුතුයි

43

අභියාචනාධිකරණය නියෝග කරයි

ඉඩම් කොටස් කර අලෙවි කරන සමාගම් විසින් එකී ඉඩම් සඳහා විදුලිබල සැපයුම ලබා ගැනීමට අයදුම් කිරීමේදී අයකරන ලබන සැපයුම් ගාස්තු කුමන ආකාරයෙන් සකස් කළේදැයි නිශ්චිතව අයැදුම්කරුවන්ට දැනුම් දිය යුතු බවට අභියාචනාධිකරණය ඊයේ (28දා) ලංකා විදුලිබල මණ්ඩලයට නියෝගයක් නිකුත් කළේය.

අයැදුම් කිරීමේදී ගණනය කරන මුදලට වඩා වැඩි මුදලක් අයකිරීම වළක්වන රිටි ආඥාවක් මේනකා ජයසුන්දර හා මොහොමඩ් ලෆාර් යන විනිසුරු මඬුල්ල විසින් ලංකා විදුලිබල මණ්ඩලයට නිකුත් කරන ලදී.

තම සමාගම් ඇතුළු ඉඩම් කොටස්කර අලෙවිය සිදුකරන සමාගම් එකී ඉඩම් සඳහා විදුලිබල සැපයුම ලබාගැනීමට අයැදුම් කරනා විට යම්කිසි මුදලක් ලංකා විදුලිබල මණ්ඩලය අයකරන බවත් පසුව ඒ සඳහා වැයවූ බවට ගණනය කර තවත් අතිවිශාල මුදලක් අයකරන නමුත් එකී ගණනය කිරීම් සිදුකළ ආකාරය තමන්ට දැනුම් නොදෙන බව කියමින් වෙන්නප්පුව හලාවත පාරේ පිහිටි සමගි රියල් එන්ටේට්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ගොනු කර තිබූ රිට් අඥා පෙත්නමක් සලකා බැලූ විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.

පෙත්සම්කාර පාර්ශ්වයට රුපියල් 25,000ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසට ද විනිසුරුමඬුල්ල ලංකා විදුලිබල මණ්ඩලයට වැඩිදුරටත් නියෝග කළේය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ශාන්ත ජයවර්ධන මහතාගේ උපදෙස් මත නීතිඥ රංජිත් තිලකරත්න මහතා පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment