කුඩු රොෂාන් ඇතුළු මත් ජාවාරමුන් 3කගේ ලක්‍ෂ 1060ක දේපොළ රජයට පවරා ගනී

131

යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන ‘කුඩු රොෂාන්’ ඇතුළු තිදෙනකුට අයත් රුපියල් ලක්‍ෂ 1060ක දේපොළ නීති විරෝධී වත්කම් සහ දේපොළ විමර්ශන ඒකකය මගින් රජයට පවරාගෙන ඇත.

කවිඳු මදුරංග සහ හෙට්ටිආරච්චිගේ ශ්‍රියානි නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් දේපොළ ද මෙසේ පවරා ගත් දේපොළ අතර තිබෙන බව පොලිසිය පවසයි.

මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කුඩු රොෂාන් ඇතුළු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ වරකාපොළ ප්‍රදේශයේ හෝටලයක ලැඟුම්ගෙන සිටියදීය.

පසුව මෙම ජාවාරම්කරුන් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ දේපොළ සොයා නීති විරෝධී වත්කම් සහ දේපොළ විමර්ශන ඒකකය පරීක්‍ෂණයක් ආරම්භ කළ අතර ඔවුන්ට අයත් දේපොළ සියල්ල අනාවරණය කරගෙන තිබිණි.

මෙසේ පවරාගත් දේපොළ අතර රුපියල් ලක්‍ෂ 330ක් වටිනා ජීප් රථයක් ලක්‍ෂ 130ක් වටිනා වෑන් රථයක්, ලක්‍ෂ 76 ක් වටිනා සී.එච්.ආර්. මෝටර් රථයක් ලක්‍ෂ 64 ක මෝටර් රථයක් සහ ලක්‍ෂ 10 ක් වටිනා ත්‍රිරෝද රථයක් ඇති බව පොලිසිය පවසයි.

මේ අතර කොටුගොඩ මාලඹේ තලගල, ජාඇල ප්‍රදේශවල පිහිටි රුපියල් ලක්‍ෂ 450ක් වටිනා ඉඩම් සහ ගොඩනැඟිලි ද නීති විරෝධී වත්කම් ඒකකය මගින් රජයට පවරාගෙන තිබේ.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment