කොමර්ෂල් බැංකුවේ ‘තුරු පිරි රටක්’ තිරසාර වැඩපිළිවෙල යටතේ තවත් ගස් 100,000ක් සිටුවීමේ ව්‍යාපෘතියක්

51

කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ලංකාව පුරා ගස් 100,000ක් සිටුවීමේ රුක් රෝපණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර, මෙය එක්සත් ජාතීන්ගේ පැරිස් ගිවිසුම යටතේ නිර්වචනය කරන ලද ජාතික දේශගුණික ප්‍රතිඥාවන් සාක්‍ෂාත් කර ගැනීමේ ක්‍රියාවලියක් ලෙසින් සැලකෙයි.

‘තුරු පිරි රටක්’ වැඩසටහන ජාතික රුක් රෝපණ දිනය යෙදෙන නොවැම්බර් 15දාට දින හතරකට පෙර එනම් නොවැම්බර් 11 වැනිදා ආරම්භ කරන ලද අතර, දිස්ත්‍රික් 12ක ස්ථාන 17ක් තුළ ගස් 12,000ක් සිටුවා එක් දිනක් තුළ ඉලක්කයෙන් 12%ක් සම්පූර්ණ කෙරිණි. කොමර්ෂල් බැංකුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 1000කට අධික පිරිසක් මෙම රුක් රෝපණ වැඩසටහන සඳහා සහභාගී වූහ.

වැඩසටහන දියත් කිරීමේ මුල් දිනයේදී පැළ සිටුවීම සඳහා තෝරාගත් ස්ථාන අතරට, සිංහරාජ වනාන්තරයේ ගිගුරුව, හන්තාන කඳුවැටියේ පහළ බෑවුම, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පරිශ්‍රය, බෙල්ලන්විල අත්තිඩිය කුරුළු අභය භූමිය, තිස්සමහාරාම වැව ඉවුර, නුවරඑළිය වික්ටෝරියා උද්‍යානය සහ විශ්වවිද්‍යාල කිහිපයක භූමිභාගයන්ද අයත් විය. රටපුරා තෝරාගත් ස්ථානවල ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ආයතන, විශ්වවිද්‍යාල, ශ්‍රී ලංකා යුද හමුදාව, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාල ආයතන විසින් මෙම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වන ඉඩම් ලබාදෙන අතර, ගස් ස්වයංපෝෂිත වන තෙක් ඒවා ආරක්‍ෂා කිරීමට සහ නඩත්තු කිරීමට බැංකුවට සහාය වීමද සිදුකරන බව බැංකුව පවසයි.

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා, රුක් රෝපණ වැඩසටහනේ පළමු දිනයේ කටයුතු සිදුකළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment