ග්‍රහ මාරුවීම් තුනක් – ඔබේ ලග්නයට කොහොමද?

1507

2022 දෙසැම්බර් 01 වන ගුරු දින සිට 31 දක්වා ඇති වන ප්‍රබල ග්‍රහමාරුවීම් මෙසේය. එනම් රවි 4 වන දින වෘශ්චිකයෙන් ධනුවටත් සිකුරු 6 වන අඟහරුවාදා ධනු රාශියටත්, රවි 17 වන ශනි දින ධනු රාශියටත් ගමන් කරයි. එමෙන්ම දෙසැම්බර් 01 වන දින ග්‍රහ තත්ත්වය මෙසේය. එනම් එදින ලග්නය වෘශ්චික වෙයි. සියාවස නැකතේ 4 වන පාදයෙන්ද පුර අටවක තිථියෙන්ද හර්ෂණ යෝගයෙන්ද බවකරණයෙන්ද 22 වන දෙර්කාණය තුලාද 64වන නවාංශකාධිපති කුජද වෙයි. මෙසේ පටන් ගන්නා මාසයේ ඔබේ ලග්නයට මෙම ග්‍රහ මාරුවීම් කෙසේ බලපාවිද යන්න විග්‍රහ කරමු. විදේශ ගත අයටද මෙය විශේෂ මාසයකි.

මේෂ

මේ මාසයේ වැඩි වැඩියෙන් පින් කළයුතු මාසයකි. නමුත් ඒ සිතුවිල්ල ඔබට එන්නේ නැත. ආගමික කටයුතුවල යෙදෙන්නේ නම් සුළු වශයෙන්වත් ඔබට වන හානි වළක්වාගත හැක. මේ කාලයේ විවිධ අසනීප සහ මලානික, උදාසීන ගති ඔබේ ශරීරයෙන් මතුවේ. ඔබට නොවුණත් ඔබේ පවුලේ අයටද එය විය හැක. රැකියා කටයුතුවලින්ද, මිල මුදල්වලින් කරන කටයුතුද කල්පනාකාරීව කළ යුතුය. දුක් වීමට කරුණු යෙදේ. නින්දා අපහාසවලින් බේරී සිටීමට උත්සාහ ගන්න.

විදේශගත වී සිටින ශ්‍රී ලාංකිකයෙනි.

ඔබට ලැබෙන්න තිබෙන මිල මුදල් නිසි දිනට ලබාගන්න. එමෙන්ම මේ මාසය ඉතාම කල්පනාකාරීව ගත කරන්න. ඔබ නොකළ දේටත් වරදකරුවෙකු වෙන්නට ගත වෙන්නේ සුළු කාලයකි. ඇසුරුකරන ළඟම කෙනාගෙන් ප්‍රවේශම් වන්න. අන් අය මත විශ්වාසය නොතබා වැඩ කටයුතුවල යෙදෙන්න.

වෘෂභ

තමා රැකියාව කරන ස්ථානයේදී තමාට වඩා උසස් අයගෙන් තමාට කරදර හානි සිත් රිදවීම් ඇතිවිය හැක. ඔබ වෘෂභ ලග්නයෙන් උපන් උසස් රැකියාවක් කරන කෙනෙක් නම් ඔබට හානි සිදුවන්නේ ඔබට පහළින් සිටින අයගෙනි. එම නිසා මේ මාසයේ කිසිවෙක් විශ්වාස නොකරන්න. අඹු සැමියන් අතරද හිත් රිදවීම් ඇතිවිය හැක. අසනීපයෙන් සිටින අයට එතරම් සුවයක් නොදැනේ. මේ කාලයේ අධි රුධිර පීඩනයෙන් සිටින අයටත්, ලේ දෝෂත්, අර්ශස් ආබාධත් වැඩිවෙයි. නිසි වේලාවට බෙහෙත් හේත්වල නිරත වන්න. හදිසි අනතුරුවලින් හා නින්දා අපහාසවලින් ප්‍රවේශම් වන්න.

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට

හදිසි අනතුරුවලින් හා අසනීපවලින් ප්‍රවේශම් විය යුතු කාලයකි. ඉවසීමෙන් මේ මාසය ගෙවිය යුතුයි. ඔබ ගැන ලැබෙන ආරංචි සමහර විට ශුභ නොවන්නට පුළුවනි. සිත් තැවුල් ඇතිවෙන කාලයකි. රැකියාව රැක ගැනීමටත් තමාගේ කටයුතු හොඳින් සිදුකර ගැනීමටත් මහන්සි ගන්න. නිශ්ඵල ගමන් බිමන් යෙදේ. නමුත් ප්‍රයෝජනයක් නොලැබේ.

මිථුන

ඔබ අෂ්ඨම ඒරාෂ්ඨක තත්ත්වයකින් සිටින අතර මෙම ඒරාෂ්ඨකයේ අවසන් අදියර පසු කරයි. එම නිසා අන් අයට වඩා ඔබ විශේෂයෙන් පරිස්සම් විය යුතුයි. සිත් තැවුල් ඇතිවෙයි. මෙය තමා රැකියාව කරන තැන මෙන්ම තමා ආශ්‍රය කරන අයද, තම නිවසද, දූ දරුවන්ද ඔබට පීඩාගෙන දෙන තත්ත්වයක් ඇති කරයි. එමෙන්ම අධ්‍යාපනය ලබන දරුවන්ටද තරමක් අශුභ කාලයකි. එම නිසා ප්‍රවේශම් වන්න. හැම අතින්ම ප්‍රවේශම් වන්න. රැකියා කරන අයට මිල මුදල් අතින් පාඩුද, ලැබීම් අඩුවීම්ද ඇතිවෙයි. නොතේරුම් කමින් බොහෝ වැරදි සිදුකර ගනියි. දෝෂාරෝපණ ඇතිවෙයි.

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට

විශේෂයෙන් තරුණ කාන්තාවනි ඔබට මේ කාලයේ නොගැළපෙන ඇසුරවල්වලට ආරාධනා ලැබේ. මේ කාලයේ ඔබේ මිල මුදල් මෙන්ම චරිතයද රැකගත යුතු කාලයකි. ස්ත්‍රී පුරුෂ දෙගොල්ලන්ටම කියන්නේ නින්දා අපවාද අසන්නට ඇති ඉඩ වැඩියි. රැකියාව රැක ගන්න. අනවශ්‍ය ගමන් බිමන්වලින් ප්‍රවේශම් වන්න. සතුරන්ගෙන් ප්‍රවේශම් වන්න. ලංකාවේ සිටින දෙමාපියන් ගැන විමසිලිමත් විය යුතු කාලයකි.

කටක-

ඔබේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට උත්සාහ කළ යුතු මාසයකි. දේපළ ලාභ ලැබේ. යම් යම් දේ මිලදී ගැනීමට අවශ්‍ය කරන පසුබිම සැකසේ. මෙතෙක් පැවති කරදර බාධක දුරුවෙයි. රැකියාව කරන ස්ථානයේ කරදරයක් නැතුව තම කටයුතුවල යෙදෙන්නට සහ උත්සවලට සහභාගිවීමට අවස්ථාව උදාවෙයි. ඔබව සොයාගෙන හිත මිතුරන් නිවසට පැමිණේ. ප්‍රීතිමත් කාලයකි. ගරු සැලකිලි ලැබෙන කාලයකි.

විදේශගතව සිටින ලාංකිකයනි,

ඔබේ වැටුපේ වැඩිවීමක් පෙන්නුම් කරයි. එමෙන්ම ප්‍රීතිමත් ගමන් බිමන් යෙදේ. සේවය කරන ස්ථානයේ ස්වාමියාගෙන් ගරු සැලකිලි ලැබෙන කාලයකි. තිබෙන නිවාස ගොඩනැඟීමට, නිවාස අලුත්වැඩියාවට මෙන්ම ඉඩකඩම් ගැනීමට හොඳම කාලයකි. ව්‍යාපාරවලට අත ගැසීමටද මේ කාලය ශුභයි.

සිංහ-

දරුවන් සිටින දෙමාපියනි. මේ කාලයේ ඔබේ දරුවා හිතුවක්කාරී විය හැක. එමෙන්ම පෙර මෙන් කීකරු නොවන්නටත් ඔබට ඇහුම්කන් නොදෙන්නටත් පුළුවනි. එමෙන්ම ඔවුන් මේ කාලයේ ලෙඩවෙයි. විවිධ අසනීපවලින් පීඩා විඳින්නට පුළුවනි. එබැවින් කල්පනාකාරී වන්න. උෂ්ණ රෝගවලින් වැඩිහිටි අයද පීඩාවට පත්වෙයි. අර්ශස් වැඩිවෙයි. දරුවන් ලැබෙන්නට සිටින මව්වරුන්ද ප්‍රවේශම් වන්න. ඉතාමත් කල්පනාවෙන් දරුවා රැකගන්න. මේ කාලයේ කිසිම සැනසීමක් නැති කාලයකි.

රැකියාවත් ගෙදරත් දෙකම ඔබට පීඩා ගෙනදෙන තැන් දෙකකි. ප්‍රවේශමෙන් කටයුතු කරන්න. අතරමගදී මෙන් නිවසේදී ද අනතුරු කරදර ඇතිවිය හැකි බැවින් ප්‍රවේශමෙන් තම කටයුතුවල යෙදෙන්න.

විදේශගත ශ්‍රී ලාංකිකයනි

අනතුරු කරදරවලින් මෙන්ම රැකියාව කරන ස්ථානයේද ප්‍රවේශමෙන් කල්පනාවෙන් සිටිය යුතුයි. මිල මුදල් ලාභ ඔබ සිතන තරම් නොලැබෙන්නට පුළුවනි. නමුත් උත්සාහයෙන් ඔබට බොහෝ දේ ලබාගත හැකි කාලයක් නිසා පුළුවන් තරම් උත්සාහයෙන් ජයගන්න. නින්දා අපහාස අපවාද ලැබේ. නමුත් සිතට නොගන්න ඒ කිසිවක්.

කන්‍යා

අධික ලෙස වියදම් යන කාලයකි. මිල මුදල් ලාභ ලැබේ යැයි සිතා කරන කටයුතුවලින් කිසිම ලාභයක් නොලැබේ. ණය වීමට පවා සිදුවන කාලයකි. එමෙන්ම ණයට දීමෙන්ද ප්‍රවේශම් විය යුතුයි. මේ කාලයේ අවනම්බුවක් හෝ ලැජ්ජාවක් ඇතිවේ. සිතට කිසිම අයුරකින් සැනසීමක් නැති කාලයකි. දේපළ නැතිවෙයි. පාඩුවෙයි. අධ්‍යාපන කටයුතවල යෙදී සිටින දරුවන්ටද බාධා සහිත කාලයකි. උත්සාහයෙන් තම අධ්‍යාපන කටයුතුවල යෙදිය යුතුයි. එසේම ආදර සම්බන්ධතාවලට තිත තැබිය යුතු කාලයකි. ඔබේ ශරීරයේ නහර සම්බන්ධ රෝග මතුවෙයි. පපුවේ අසනීප ගෙනදෙයි. කැස්සක් ඇතිවෙයි. හෘද රෝග ඇති අයත් ප්‍රවේශම් විය යුතුයි. මව්පියන්ටද අපලදායක කාලයකි.

විදේශගත ශ්‍රී ලාංකිකයනි

ඔබේ කල්පනාව බොහෝ දුර යන කාලයකි. මේ කාලයේ ඇත්තෙන්ම ඔබේ ගෙදර අය ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න. විශේෂයෙන් ඔබේ දෙමාපිය දෙදෙනා ගැන. ඇත්තෙන්ම ඔවුන්ට අපලදායක කාලයක් මේ ගෙවෙන්නේ. ඔබද හෘද රෝග, මානසික පීඩා මෙන්ම නහර ගත රෝගවලින් ප්‍රවේශම් වන්න. සෙම් රෝග, කැස්ස ඔබට පීඩාවක් ඇති කරයි. හුදකලාවෙන් මිදෙන්න.

තුලා

සිතට සැනසීමක් ලැබෙන අලුත් බලාපොරොත්තු ඇතිකර ගත හැකි කාලයකි. ඇත්තෙන්ම නව පිබිදීමක් පෙන්නුම් කරයි. විශේෂයෙන් මේ කාලය දියුණුවට මඟපාදා දෙයි. සතුරු කරදවලින් ජය ලැබේ. රැකියාවේ බාධාවකින් තොරව තම කටයුතු සිදුකරගත හැකි කාලයකි. නව රැකියා මාර්ගවලට ඉඩකඩ ලැබේ. විදේශගත වන්නට සිටින අයටත් මේ කාලය ශුභදායකයි. තම බලාපොරොත්තු ඉටුවන කාලයකි. ගෙදර දොර වාසනාවද උදාවෙයි. සැනසීම ලැබේ. ගරු නම්බුව ලැබේ. ජය ලැබේ.

විදේශගත ශ්‍රී ලාංකිකයනි,

ඔබේ ආදායම වැඩිවෙයි. පෙරට වඩා උනන්දුව වැඩිවෙයි. ඔබට ගෞරවනාම ලැබේ. ඔබ සේවය කරන තැන මෙතෙක් මොන ප්‍රශ්න තිබුණත් එය සමථයකට පත්වී ඉදිරි කාලය ශුභ වෙයි. ආදර බන්ධන තීන්දු වෙයි. හොඳ මිත්‍ර ආශ්‍රයක් ඇතිවෙයි. වාසනාවන්ත කාලයකි. දේපළ මිලදී ගැනීමට, වාහන මිලදී ගැනීමට ශුභයි. අධ්‍යාපනය ලබන දරුවන්ටද මේ කාලය ශුභයි. වාසනාවන්තයි.

වෘශ්චික-

මේ කාලයේ වැඩි වැඩියෙන් වියදම් කරන්න සිතයි. නමුත් එයින් ඔබ අමාරුවේ වැටෙන කාලයකි. ණය වීමට කිසිම අයුරකින් නොයන්න. මිල මුදල් හානි මෙන්ම ධන හානිද ගෙනදෙන කාලයකි. අසනීප ගෙනදෙන කාලයකි. සිතට කිසිම අයුරකින් සැනසීමක් ගෙන නොදෙන කාලයකි. මොන දේ සිදු වුවත් ඔබ සිහි බුද්ධියෙන් සිටීනම් බොහෝ ප්‍රශ්නවලට ගැටලුවලට පිළිතුරු සොයාගත හැකි කාලයකි. අධ්‍යාපනය ලබන දරුවන්ට මේ කාලය අශුභදායක නොවේ. වෙනදාට වැඩි උනන්දුවක් උත්සාහයක් ඇතිකර ගන්නා කාලයකි. ආදර සම්බන්ධතා ඇති අය ඒ නිසා පීඩාවන්ට ලක්වෙයි. සහෝදර සම්බන්ධතාවයන් නිසා පීඩා විඳින්නට සිදුවේ.

විදේශගත ශ්‍රී ලාංකිකයනි,

ඔබට මේ කාලය ශුභදායකයි. යම් යම් අවස්ථාවලදී සිත් පීඩා ඇති වුවත් එය දිගින් දිගටම සිදුවන්නක් නොවේ. පුළුවන් තරම් මිල මුදල් ලාභ මෙන්ම නව බලාපොරොත්තු සඳහා සැලසුම් ඇතිකර ගන්න.

ධනු

ඔබේ සිතට මහ ලොකු බරක් දැනේ. ඇත්තෙන්ම මෙය මහ ලොකුවට සිතට නොගත්තත් ශෝක වීමට කරුණු කාරණා ඇතිවෙයි. සිතට කිසිම අයුරකින් සැනසීමක් ගෙන නොදේ. උෂ්ණ ගතිය නිසාද පීඩාවන්ට ලක්වෙයි. අධි රුධිර ධාවනය, ඇදුම, ඇස්වල දෝෂ ඇතිවෙයි. ශරීරයේ තෙත ගතිය අඩුවෙයි. මේ කාලයේ පියාට විශේෂයෙන් අඵලදායකයි. රැකියා කටයුතුවලින්ද කල්පනාවෙන් ප්‍රවේශමෙන් තම රාජකාරිවල යෙදිය යුතුයි. තමා භාරගෙන කරන කටයුතුවලින්ද, තමා යටතේ වැඩකරන අයගෙන්ද, ප්‍රවේශම් සහිත කළයුතු කාර්ය භාරයන් ගැන වගකීමෙන් සිටින්න.

විදේශගත ශ්‍රී ලාංකිකයනි

ඔබත් මේ කාලයේ ඔබේ ප්‍රධානියාගෙන් ඈත්වී වැඩකටයුතුවල යෙදෙන්න. ඔබ ප්‍රධානියෙක් නම් ඔබත් යම් කෙනෙක් හරහා තම කටයුතු මෙහෙය වන්නේ නම් ප්‍රවේශම් විය යුත්තේ ඔහුගෙනි. මිල මුදල් අතින් යම් යම් ප්‍රශ්න ඇති වුවත් එය ඒ තරම් දුරට සිතිය යුතු නොවේ. ලෙඩ රෝගලින් ප්‍රවේශම් වන්න. විශේෂයෙන් ගින්දරෙන්.

මකර

මකර ලග්න හිමියනි ඔබ තවමත් ගෙවන්නේ ලග්න ඒරාෂ්ඨක තත්ත්වයකි. ඇත්තෙන්ම ඔබට මෙතෙක් තිබුණු ගෞරවය නම්බුව ගැන සිතිය යුතු කාලයකි. නිතරම සිත් තැවුල් ගෙනදෙන කාලයකි. සැනසීම ඔබ කොතෙක් සෙව්වත් එය ඔබට නොලැබෙන කාලයකි. පුළුවන් තරම් හදිසි අනතුරුවලින් ද ලෙඩ රෝගවලින් ද ප්‍රවේශම් වන්න. තුවාලවීම් වලින් ප්‍රවේශම් වන්න. අලුතින් වෙළඳ ව්‍යාපාර ඇතිකර නොගන්න. ව්‍යාපාරවලින් පාඩු විඳින්නට සිදුවෙයි. පාඩු වන්නේ ණයට දීමෙන් බවත් මතක තබාගන්න. දරුවන්ටද මේ කාලය අපලදායකි. එමෙන්ම අධ්‍යාපන කටයුතුවලටද බාධා ගෙනදෙන කාලයකි.

විදේශගත ලාංකිකයනි

ඔබත් මේ කාලය කල්පනාවෙන් ගත කරන්න. ඔබට මේ යන්නෙ අපලදායක කාලයකි. හදිසි අනතුරු, මිල මුදල් අතින්, රැකියා ස්ථානයේ මෙන්ම උස්තැන්වල වැඩකරන අය විශේෂයෙන් පරිස්සම් වන්න.

කුම්භ-

ඔබත් ගෙවන්නෙ ලග්න ඒරාෂ්ඨකයක්. නමුත් රවිගේ පැමිණීමෙන් කෝටියක් දෝෂ භංග කරන බවක් පෙනේ. ගෞරව සැලකිලි ලැබෙන, සිතන අයුරින් සියල්ලම හොඳ විදිහට සිද්ධවන කාලයකි. මෙතෙක් ටික ටික ලැබුණු මුදල් එකවර ලැබෙන කාලයකි. දේපළ මිලදී ගැනීමටත්, විදේශ ගමන් බිමන් බලාපොරොත්තු වන අයටත් මේ කාලය ශුභදායකයි. අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගත වන්නට සිතන අයටත් ශුභයි. විනෝද වීමටත් පුළුවනි.

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට

ඔබට ඇත්තෙන්ම ඉතාම ශුභදායක කාලයකි. විනෝද වීමට කරුණු කාරනා යෙදේ. ද්‍රව්‍ය ලාභ මෙන්ම මිල මුදල් ලාභද ලැබෙන කාලයකි. පුළුවන් තරම් තම අනාගතය වෙනුවෙන් යමක් කරන්නට උනන්දු වන්න. අනාගතය, ආලය, විවාහය, අධ්‍යාපනය, රැකියා ගැන විශේෂයෙන් සිතන්න.

මීන

සිත සනසා ගන්නට අලුත් බලාපාරොත්තු ඇතිකර ගන්නට හොඳම කාලයයි. නව රැකියා මං පෙත් තරුණ තරුණියන්ට උදාවෙයි. විදේශගත වෙන්නට අවස්ථාව උදාවෙයි. අලුත් පිබිදීමක් ඇතිවෙයි. නව ව්‍යාපාරවලට මෙන්ම නව ආදායම් මාර්ගවලට දොරටු විවර වෙයි. ශරීර සනීපය යහපත් වෙයි. ප්‍රසිද්ධ තැන්වලට යෑමට අවස්ථාව උදාවෙයි. ආගමික කටයුතුවල වැඩි වැඩියෙන් යෙදේ. ආගමික භක්තිය වැඩිවෙයි. අමුත්තන් නිවසට පැමිණේ. උත්සව පවත්වන්නට සිදුවෙයි. පවුලට පිරිස වැඩිවෙයි. ශුභදායකයි.

විදේශගත ශ්‍රී ලාංකිකයනි

ඔබටත් ජයම ජයම ලැබෙන කාලයකි. අලුත් අලුත් දේ සිතන්නට උත්සාහ කරන්න. පුළුවන් තරම් මිල මුදල් ලාභවලින් ප්‍රයෝජන ගන්න. ඉන්න ස්ථානය ස්ථිර කර ගන්න. අධ්‍යාපනයේ යෙදී සිටින අයටද ශුභයි. නව රැකියාවන් ලැබෙන වාසනාවන්ත කාලයකි.

ග්‍රහ මාරුවීම් තුනක් - ඔබේ ලග්නයට කොහොමද?

ඉවෝන් දිසානායක
0777901702, 0715723434

advertistmentadvertistment
advertistmentadvertistment