ගාලුමුවදොර අරගලයට එල්ල කළ  මිලිටරි ප්‍රහාරය හෙළා දකිනවා – කරු ජයසූරිය

76

ගාලුමුවදොර අරගල ප්‍රජාවට එල්ල කළ මිලිටරි ප්‍රහාරය හෙළාදකින බව සංධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

කරු ජයසූරිය මහතාගේ විශේෂ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

මේ රටේ දේශපාලනය තීරණාත්මක හැරවුම් ලක්‍ෂ්‍යයකට යොමුකරන ලද ගාලුමුවදොර අරගල ප්‍රජාව ඉලක්ක කරගෙන ආරක්‍ෂක හමුදා යොදවා එල්ල කරන ලද ප්‍රහාරය රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන හා අපේක්‍ෂා කරන සෑම පාර්ශ්වයක් විසින්ම තරයේ හෙළාදැකිය යුතුය. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ද එකී ක්‍රියාව තරයේම හෙළා දකින්නෙමු. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ වෙනස් මත දැරීමට හා තම අදහස් පළ කිරීමට මෙන්ම සාමකාමී ලෙස විරෝධය පෑමට ඇති අයිතිය ඉහළින්ම ආරක්‍ෂා විය යුතුය. කිසිදු සමාජ තීරුවකට පොදු සමාජයේ අභිලාෂයන්ගෙන් බැහැරව හුදෙකලා අරගලයන්හි නිරත විය නොහැකි බව ද අප සියල්ලන්ම පිළිගත යුතුය.

ගාලුමුවදොර අරගලය ඉතාමත් සක්‍රීය තලයක පැවතියේ එම හේතුව නිසාය. නිදහසින් පසු ලංකා ඉතිහාසයේ අසීමිත බලයක් දරමින් සිටි පාලකයකුට පවා ප්‍රථම වරට රට අතහැර පලායන පසුබිම නිර්මාණය වූයේද එකී අරගලය හා ජනතා අභිලාෂයන් සමාජගත වූ නිසා බව ද මේ රටේ පාලකයන් තේරුම් ගත යුතුව තිබේ.

අප මේ රටේ සමස්ත සමාජයෙන්ම ඉතාමත් ඕනෑකමින් යුතුව ඉල්ලා සිටින්නේ අද රට මුහුණ දී ඇති ඛේදනීය තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා අන් සියල්ලටම පෙර සියලු ජන කොටස් අධිෂ්ඨානශීලීව පෙරට එමින් මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට තවදුරටත් ඉඩක් නොතැබෙන පරිසරයක් නිර්මාණය කර  ගැනීම උදෙසා පෙළගැසෙන ලෙස ය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment