චිපයේ හිඟය මැද ලයිසන් දීම හිරවෙයි

282

මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය සිම්පත සහිත හිස් කාඩ්පත් නොමැතිවීම මත රියැදුරු බලපත‍්‍ර නිකුත් කිරීම බරපතළ අර්බුදයක් බවට පත්ව ඇති බව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ඔස්සේ ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට වාර්තා වෙයි.

මේ වනවිට මෝටර් රථ දෙපාර්තමේන්තුව සතුව සිම් පත සහිත හිස් කාඩ්පත් තුන් දහසක් වැනි කුඩා අගයක් පමණක් පවතින බව එම ආරංචි මාර්ග පවසයි.

මෙම තත්ත්වය මත අත්‍යවශ්‍ය කාරණා හැර රියැදුරු බලපත‍්‍ර නිකුත් කිරීමට නොහැකිව ඇති අතර ඒ තුළින් දෙපාර්තමේන්තුවේ ආදායම ද පහත වැටී තිබේ.

රියැදුරු බලපත‍්‍ර අපේක්‍ෂිතයන් මෙම තත්ත්වය මත දැඩි අපහසුතාවට පත්ව තිබෙන අතර රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් රාජකාරි කිරීමේදී අපහසුතාවයන්ට මුහුණ දෙමින් ඇති බව වාර්තා වෙයි.

කොළඹ මුද්‍රණ යන්ත‍්‍ර දෙකක්, අනුරාධපුරය සහ හම්බන්තොට එක මුද්‍රණ යන්ත‍්‍රයක් බැගින් මුද්‍රණ යන්ත‍්‍ර 4ක් මගින් රියැදුරු බලපත‍්‍ර මාසිකව ලක්‍ෂ හතරක් පමණ මුද්‍රණය කෙරෙන බව සඳහන් වන අතර පවතින තත්ත්වය මත එය ඉතා අඩු අගයක් දක්වා පහත වැටී ඇත.

මේ පිළිබඳව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් මහතාගෙන් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ කළ විමසීමේදී ඒ මහතා සඳහන් කළේ පවතින තත්ත්වය මත හිස් කාඩ්පත් ලැබීමේ යම් ප‍්‍රමාදයක් සිදුව ඇති බවත් එහෙත් ගැටලුවකින් තොරව රියැදුරු බලපත‍්‍ර නිකුත් කිරීම සිදු කෙරෙන බවත් ය.

පවතින සීමිත කාඩ්පත් අරපිරිමැස්මෙන් භාවිතා කර අත්‍යවශ්‍ය කාරණා සඳහා නිසි පරිදි බලපත‍්‍ර නිකුත් කරන බවත් නියමිත කාඩ්පත් ලබාදෙන තෙක් තාවකාලික රියැදුරු බලපත‍්‍ර ලබා දීමට කටයුතු කර ඇති බවත් සුමිත් අලහකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment