පෙබරවාරි 6 දින “ජනතාව උදෙසා වන මැතිවරණ වෙනුවෙන් – සිවිල් සමාජයේ කාර්යභාරය” යන මැයෙන් විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද විද්වත් සාකච්ඡාවක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පවත්වන ලදී.

එම විද්වත් මණ්ඩලයට සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ සභාපති ආචාර්ය වින්‍යා ආරියරත්න, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වයේ (පැෆරල්) විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිඅරච්චි, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) හි විධායක අධ්‍යක්ෂ නදීශානි පෙරේරා, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ මැතිවරණ පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ කැඳවුම්කරු කනකා අබේගුණවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළත් වූහ.

දැවැන්ත මූල්‍ය අර්බුදයක බලපෑම් හමුවේ දරිද්‍රතාව, විරැකියාව සහ සීග්‍රයෙන් ඉහළ යන ජීවන වියදම විසින් පීඩාවට පත්ව සිටින ජනතාවට තීරණාත්මක දේශපාලන තීන්දු ගැනීමට 2024 වසරේ සිදුවන බවට ඉඟි පහළ වී තිබෙන බවත් මෙය මූල්‍යමය අර්බුදයක් පමණක් නොව ගැඹුරු දේශපාලනික අර්බුදයක් ද වන බව එහි දී සාකච්ඡාවට බඳුන් විය.

මැතිවරණ සාක්ෂරතාවයේ අවශ්‍යතාව, යහපත් දේශපාලනයක් සහ දේශපාලඥයන් සඳහා ඉල්ලුමක් ඇති කිරීමේ අවශ්‍යතාව සහ මැතිවරණ කාලවලදී පමණක් නොව සෑම විටම අදාළ පුරවැසියාගේ කාර්යභාරය ඉටු කිරීමේ අවශ්‍යතාව කථිකයෝ අවධාරණය කළහ.

ඉදිරියේ පැවැත්වෙන මැතිවරණ හරහා දේශපාලන එදිරිවාදිකම් තීව්‍ර වීමේ ඉඩ ඉහළ යා හැකි අතර දේශපාලන මෙන්ම ජාති-ආගම් විවිධත්වයන් මූලික කර ගනිමින් ජනතාව තවදුරටත් බෙදා වෙන් කිරීම සිදු වනු ඇති බවත්, කෘත්‍රිම බුද්ධිය සහ දේශපාලන මෙහෙයුම් භාවිතයේ ඉහළ යෑමත් සමගම මැතිවරණ දුස්තොරතුරු සහ වෛරී ආඛ්‍යානයන් තවදුරටත් ව්‍යාප්ත වීමේ අවකාශය ඇති බවත්, දේශපාලන පැලැන්තිය කෙරෙහි මහජනතාවගේ කලකිරීම පිළිබිඹු කරමින් අල්ලස, දූෂණය, මැතිවරණ ප්‍රමාදය, විනිවිදභාවය සහ වගවීම නොමැතිකම, ණය උගුල් සහ මහජන සේවය තහවුරු කිරීමට අපොහොසත් මැතිවරණ ක්‍රමය ආදී ගැටලුකාරී තත්ත්වයන් ඉදිරියේ දී ප්‍රධාන මාතෘකා බවට පත්වනු ඇති බවටත් එහිදී අදහස් ඉදිරිපත් විය.

ආචාර්ය වින්‍යා ආරියරත්න අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකිකයන් මූල්‍ය හා සමාජ-දේශපාලන අර්බුදයකින් පීඩාවට පත්ව සිටින බවත්, ජාතිය ඉදිරියේ ඇති දැවැන්ත අභියෝග ජය ගැනීමට පුරවැසියන් ක්‍රියාශීලීව පෙරමුණ ගත යුතු බවත්ය.

ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමට පුරවැසියන්ගේ දායකත්වය සහ දේශපාලන දූෂණයට එරෙහිව ක්‍රියාකාරී ව්‍යාපාරයක අවශ්‍යතාව පිළිබඳව නදිශානි පෙරේරා කතා කළාය. වගවීම සම්බන්ධයෙන් පාලන ආයතන අවම කැපවීමක් පෙන්නුම් කරන බවත්, මහජනතාව පාලකයන්ට අභියෝග කර වගවීම ඉල්ලා නොසිටින්නේ නම්, රාජග්‍රහණය දිගටම පවතිනු ඇති බවත් ඇය පැවසුවා ය.

අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂ තෝරා ගැනීමේ ගැටලුව පමණක් නොව තමන් නියෝජනය කිරීමට සුදුසුම පුද්ගලයන් තෝරා ගැනීම ගැන ඡන්දදායකයන් උනන්දු නොවීම ගැනද අවධානය යොමු වී ඇතැයි රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය. විශ්වසනීය වාර්තාවක් ඇති සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ඇති අපේක්ෂකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ වගකීම ඡන්දදායකයින්ට ඇති බව ඔහු අවධාරණය කළේය.

පාර්ලිමේන්තුව ඇතුළු තේරී පත් වූ ආයතනවල කාන්තා නියෝජනය දුර්වල වීම පිළිබඳව කනකා අබේගුණවර්ධන අවධානය යොමු කළා ය. ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 56% ක් කාන්තාවන් වුවද, ඔවුන්ගේ අපේක්ෂකත්වය දේශපාලන පක්ෂවල පිරිමින් විසින් පාලනය කරන ලද අතර කාන්තාවන් කිසි විටෙකත් ජයග්‍රාහී සලකුණක් ලෙස නොසලකන බව ඇය පැවසුවා ය. මෙම සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ විමර්ශන වාර්තාකරණ මධ්‍යස්ථානයේ (CIR) සම-නිර්මාතෘ සහ අධ්‍යක්ෂ දිල්රුක්ෂි හඳුන්නෙත්ති විසිනි.

මෙම රැස්වීමට මාධ්‍යවේදීන්, සිවිල් සමාජ නියෝජිතයන්, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් ඇතුළත් විය. CIR හි කොටස් හයක සාකච්ඡා මාලාවේ දෙවන සංවාද කථිකාව මාර්තු 6 වෙනිදා පැවැත්වේ.

සෝබා කෝලියවංශ

advertistmentadvertistment
advertistmentadvertistment