ජනතාව පෝලිම්වල දුක්විඳිද්දී  – පිරවුම්හල් අසල මැරයෝ අණසක පතුරති! – අසාධාරණයක් වෙනවානම් ළඟම සිටින පොලිස් නිලධාරියාට කියන්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

304

ඉන්ධන අර්බුදය උග්‍රවීමත් සමග ජනතාව දින ගණන් පෝලිම්වල සිටියදී ඉන්ධන හල් ආශ්‍රිතව මැරයන් සිය අණසක පතුරුවාගෙන ඉන්ධන බෙදාහැරීම සියතට ගෙන ඇති බවට ප්‍රදේශ රැසකින්ම වාර්තා විය.

ඉන්ධන හල්වලට ඉන්ධන එන වෙලාවන් නොදන්නා නිසා ඉන්ධන ලබා ගැනීමට මහජනතාව දින ගණන් පෝලිම්වල සිටියදී ඉන්ධන තොග ඉන්ධන හලට පැමිණෙනවාත් සමග මෙම මැරයන් ඉන්ධන හලට පැමිණ සිය හිතවතුන්ට ඉන්ධන ලබාදීම මෙන්ම විවිධ අක්‍රමිකතාද සිදුකරන බව පෝලිම්වල සිටි මහජනතාව “දිවයින”ට පැවසූහ.

මීගහතැන්න, ආරච්චිකට්ටුව, ඇතුළු ප්‍රදේශ කිහිපයක ඇතැම් දේශපාලන පක්‍ෂවල නියෝජිතයන්ට සමීප මැරයන් විසින් ඉන්ධන පෝලිම්වල සිටි මහජනතාවට පහරදී පලවාහැරීම් සහ තුවාල සිදුකිරීම් වාර්තා විය. ඉන්ධන හල් අසල ආරක්‍ෂාවට පොලිස් නිලධාරීන් පවා යොදවා සිටියදී මෙම මැර ප්‍රහාර විශේෂත්වයක් විය. එවැනි දේශපාලන මැරයන් කිහිපදෙනෙකුද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබූ බව වාර්තා විය.

ගාල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුළු අත්‍යවශ්‍ය සේවාවල පිරිස් වෙත පෝලිම්වලින් පිට ඉන්ධන ලබාදීමට යෑම නිසා දින ගණන් පෝලිම්වල සිටින මහජනතාවට අසාධාරණක් සිදුවන බව පවසමින් දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයන් වාර්තා විය. ගාල්ල විවිධ සේවා සමුපකාර සමිතියේ ඉන්ධන පිරවුම්හල අත්‍යවශ්‍ය සේවා නිලධාරීන්ට ඉන්ධන ලබාදීම සඳහා වෙන්කර තිබූ අතර එහි ආරක්‍ෂාවට පොලිසිය සහ හමුදාව යෙදවීමට කටයුතු කර තිබිණි. එම පෝලිම් ද කිලෝමීටර් ගණන් දිගට පැවතුණි.

ඉන්ධන හල් අසල මැරයන් සිය අණසක පතුරුවා ගෙන ඉන්ධන බෙදාහරිනවාද යන්න සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියාසිටියේ එවැනි මැරයන් ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලියට දායක වී ඇති බවට වාර්තාවී නැති බවයි.

ඉන්ධන පෝලිමේදී යම් පාර්ශ්වයකට අසාධාරණයක් සිදුවනවා නම් ඉන්ධන හලේ ආරක්‍ෂාවට සිටින පොලිස් නිලධාරීන්ට ඒ බව පැවසිය හැකි බවත් එම ස්ථානයට පැමිණෙන පුද්ගලයා මැරයෙක්ද නැද්ද යන්න පොලිස් නිලධාරියා නොදන්නා බවත් ඔහු කීය.

කලහකාරී සිද්ධීන් වාර්තා වූ ඉන්ධන හලක් අසල ගිනි අවි අතතිව මැරයන් පැමිණි බව හෝ වෙනත් අවි ආයුද රැගෙන පැමිණ ඇති බවට වාර්තා වී නොමැති බවත් කී නිහාල් තල්දූව මහතා බොහෝ සිද්ධීන් ඉන්ධන පෝලිමේ සිටි පිරිස් නොසන්සුන්වීමේ තත්ත්වයන් නිසා ඇතිව තිබූ බවත් එවැනි නොසන්සුන්තාවයන් ඉන්ධන හලේ පොලිස් නිලධාරියාට හෝ දෙදෙනාට එකවර පාලනය කළ නොහැකි බවත් ඔහු කීය. ඔවුන්ට එය පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් අමතර කණ්ඩායම් කැඳවා තත්ත්වයන් පාලනය කරන බවත් ඒ මහතා කීය.

ඉන්ධන හල්වල පෝලිමෙන් පිට කෑන්වලට ඉන්ධන ලබාදීම, පෝලිමෙන් පිට වාහනවලට ඉන්ධන ලබාදීම වැනි කටයුතු නිසා උණුසුම්කාරී තත්ත්වයන් ඇතිවුවහොත් ඒවාට ඉන්ධන ලබාදීම හෝ නොදීම ඉන්ධන හල් හිමිකරු විසින් තීරණය කළ යුතු බව ද ඒ මහතා කීය. තෙල් සංස්ථාව මගින් බූලිවලට ඉන්ධන ලබා නොදෙන ලෙස උපදෙස් දී තිබියදී එය කඩ කරනවා නම් උපදෙස් පිළිනොපැදීම සම්බන්ධයෙන් තෙල් සංස්ථාව තීරණයක් ගතයුතු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

චමින්ද සිල්වා, ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment