ඩයනාගේ තහනම දිගුවේ

165

ඇය රට පනින්නේ නැහැ – ඩයනාගේ නීතිඥ
ගෝඨාභයත් රට පැන්නානම් ඩයනා ගැන කවර කතාද – ජනාධිපති නීතිඥ රියෙන්සි

අසත්‍ය තොරතුරු ආගමන විගමන පාලකවරයා වෙත ඉදිරිපත් කර ගමන් බලපත්‍රයක් ලබාගත්තේ යැයි චෝදනා එල්ල වී ඇති රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය විදේශ ගතවීම වළක්වමින් ඊයේ (17) දක්වා නිකුත් කොට තිබූ තහනම් නියෝගය ලබන දෙසැම්බර් 15 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ (17 දා) නියෝග කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය හා ඇගෙන් ලබාගත් ප්‍රකාශයේ පිටපතක් තම අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කළේය.

සිය සේවාදායිකාවට එරෙහිව නඟා ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයා හෝ වෙනත් වගකිවයුතු බලධාරියකු මේ දක්වා පැමිණිල්ලක් සිදු කර නොමැති බවත් ඇයට විදේශ ගමන් තහනමක් පනවන ලෙසට විමර්ශන සිදුකරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෝ ඉල්ලීමක් කොට නොතිබියදීත් නඩුවට පාදක නොවු බාහිර පාර්ශ්වයක් විසින් කරන ලද ඉල්ලීමක් අනුව එම විදේශ ගමන් තහනම පසුගිය 11 වැනිදා පනවා ඇති බැවින් එකී නියෝගය ආපසු කැඳවන ලෙසට ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඇයට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් නීතිපතිවරයාගේ උපදෙස් පතා ඇතත් එවැනි වරදක් සිදුවී ඇති බවට නීතිපතිවරයා මේ දක්වා තීරණය කොට නොමැති බැවින් අගතියටපත් පාර්ශ්වයක් යැයි කියමින් එක්තරා නීතීඥ කණ්ඩායමක් කළ ඉල්ලීම අනුව එවැනි තහනම් නියෝගයක් නිකුත් කිරීම යුක්ති සහගත නොවන බවද ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා එහිදී අධිකරණයට පැවසීය. සිය සේවාදායිකාව මේ දක්වා මෙම නඩුවේ සැකකාරියක ලෙස හෝ නම්කර නොමැති බවත් සංචාරක විෂය භාර රාජ්‍ය ඇමැතිනිය ලෙස කටයුතු කරන ඇයට රටින් පලා යෑමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ඒ බැවින් එකී පාර්ශ්වය පෙර නඩු දිනයේ අධිකරණයට පවසා ඇති පරිදි ඇය රටින් පලා යෑමේ අවදානමක් නොමැති බවත් ජනාධිපති නීතීඥවරයා අධිකරණයට පැවසීය. ඇය ශ්‍රී ලංකාවේ පුරවැසියාභාවය හිමි තැනැත්තියක බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිධුරයට තේරී පත්වීමට පෙර බි්‍රතාන්‍ය පුරවැසිභාවය ඇය ඉල්ලා අස්කර ගෙන ඇති බවත් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

ඇය බි්‍රතාන්‍ය ගමන් බලපත්‍රයක් භාවිත කරන අතරතුර දී ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ඉල්ලුම් කර ඇති බවත් විදේශීය පුරවැසිභාවය ලබාගත් බව වසන් කොට මෙරට පුරවැසිභාවය පෙන්වීම සඳහා උප්පැන්න සහතිකයක් සහ හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඇති බවටත් ආගමන විගමන නියෝජ්‍ය පාලකවරයා විසින් ලබාදුන් ප්‍රකාශය අනුව පැහැදිලි වන්නේ යැයි පැමිණිලිකාර ඕෂධ ලක්මාල් හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණයට පැවසීය. 1948 අංක 18 දරන පුවැසි පනත අනුව විදේශීය රටක පුරවැසිභාවය ලබාගන්නා ශ්‍රී ලාංකිකයකුට මෙරට පුරවැසිභාවය අහෝසි වන බවටත් නියෝජ්‍ය ආගමන විගමන පාලකවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය අනුව පැහැදිලි වන්නේ යැයිද එහිදී අධිකරණයට පැවසූ රියෙන්සි අර්සකුලරත්න මහතා සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි උගත් ජනාධිපති නීතීඥවරයා කුමක් කීවත් මේ රටේ විධායක ජනාධිපතිවරයා පවා කාටත් රහසින් රටින් පලා

ගිය නිසා මන්ත්‍රිවරියක හා රාජ්‍ය ඇමැතිනියක වන ඩයනා ගමගේ රටින් පලා යෑමේ ඉඩකඩ නොමැති බව කෙලෙස විශ්වාස කළ හැක්කේ දැයි අධිකරණයට පැවසීය. ඇය ආගමන විගමන පනත යටතේ ගැනෙන වැරදි සිදු කර ඇති බවට විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සෑහීමට පත්වීමෙන් පසුව අධිකරණයට කරුණු වාර්තා කර ඇති බැවින් අපරාධ නඩු සංවිධාන පනතේ 116 වගන්තිය අනුව කටයුතු කර ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු වන්නේ යැයිද ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා එහිදී අධිකරණයට පැවසීය. ඉදිරිපත් වූ විමර්ශන අනුව ඇය වරදක් සිදුකර ඇති දැයි තීරණය කළ යුත්තේ අධිකරණය මිස නීතිපතිවරයා නොවන බවත් රටේ ජනතාවගේ බදු මුදලින් වැටුප් හා අනෙකුත් වරප්‍රසාද ලබාගෙන බුක්ති විඳින ඇයට එරෙහිව සාමාන්‍ය ජනතාවට බලපාන නීතිය අනුව කටයුතු නොකරන්නේ ඇයි දැයි

ගැටලුවක් ඇති බවත් ජනාධිපති නීතීඥවරයා අධිකරණයට කීවේය. එබැවින් වහාම ඇය අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරනා ලෙසට ද අධිකරණයෙන් ඉල්ලා සිටි ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පෙර දිනයේ ඇයට පැනවූ විදේශ ගමන් තහනම ඉවත් නෙකරන ලෙස තාම පැමිණිලිකරු වෙනුවෙන් ඉල්ලා සිටින බවද අධිකරණයට පැවසීය.

පෙර දිනයේ ඩයනා ගමගේට එරෙහිව කරුණු දක්වා විදේශ ගමන් තහනමක් ලබාගෙන ඇත්තේ අදාළ නොවන පාර්ශ්වයක් බව පෙන්වීමට සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා උත්සාහ කළත් මෙය එක් පාර්ශ්වයකට නොව රජයට එරෙහිව සිදු කර ඇති වරදක් වන බවත් එබැවින් නීතීඥවරුන්ට මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමේ අයිතිය ඇති බවත් සමගි ජන බලවේගයේ පක්‍ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ අතුල රණගල මහතා අධිකරණයට පැවසීය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව අපරාධකරුවන් ආරක්‍ෂා කිරීමට උත්සාහ කළහොත් එය රටේ නීතියේ අභාග්‍ය වන්නේ යැයි ජ්‍යෙෂ්ඨ නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා අධිකරණයට කීවේය. මෙම විමර්ශනයේදී විමර්ශන නිලධාරීන් නිසියාකාරව කටයුතු නොකරන බවට විශේෂයෙන් බලවත් පුද්ගයන්ට එක් ආකාරයකින් හා සාමාන්‍ය ජනතාවට තවත් ආකාරයකින් කටයුතු කරන බව තම අධිකරණයට පමණක් නොව, රටේ ඕනෑම අයෙකුට පැහැදිලිව දක්නට ලැබෙන්නේ යැයි ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණය හමුවේදී ප්‍රකාශ කළේය.

නීතීඥ තුසිත ගුණසේකර මහතා ඇතුළු නීතීඥ මණ්ඩලයක් ද අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment