බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් පසුගිය කාලයේ මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර බොහෝ සෙයින් කතා බහට ලක් වූ පුද්ගලයෙකි. සරල ඇඳුමකින් සැරසී සිය බිරිඳ සමඟ ග්‍රාමීය හෝටලයකින් පිටව යන කැමරන් මහතාගේ ඡායාරූපයක් හා ඔහුගේ ගමන පිළිබඳව හුවමාරු වූ ලිපියක් හේතුවෙන් මෙම කතාබහ ඇති විය. ඔහු තම බිරිඳ හා දරුමල්ලන් සමඟ අප්‍රසිද්ධියේ ශ්‍රී ලංකාවට පැමිණ රට පුරා සංචාරය කර තිබුණි. සාමාන්‍ය සංචාරකයෙකු ලෙස පැමිණි ඔහු ඉතාම සරල ලෙසින් ගමන් බිමන් යමින් පෙට්ටි කඩවලින් කෑම බීම කමින් දින ගණනාවක් මෙරට ගත කළේය. ගුවන්තොටුපළ බලා ආපසු යමින් ගමනේදී ඔහුට ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය වූ නිසා හදිසියේම ඒ සඳහා කටයුතු යෙදී තිබුණි. කලක් පෘථිවිය මත ජීවත් වූ බලසම්පන්නම මිනිසකු වුවද බොහෝ ලාංකිකයන් ඔහුව හඳුනා ගත්තේ නැත.

ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වූ ඩේවිඩ් කැමරන් දැන් නැවතත් ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ පුවත් මවන්නකු බවට පත්ව ඇත. බ්‍රිතාන්‍ය පුවත්පත් දැන් ඔහුව හඳුන්වන්නේ කැමරන් සාමිවරයා (Lord) ලෙසිනි. කැමරන් සාමිවරයා බ්‍රිතාන්‍යයේ නව විදේශ ලේකම්වරයා නොහොත් විදේශ ඇමැතිවරයා වශයෙන් පත්කර ඇත. අගමැති රිෂී සුනාක් විසින් කරන ලද මෙම පත්කිරීමත් සමඟ කැමරන් මහතාගේ වසර හයක දේශපාලන නිහැඬියාව නිමා වී ඇත. 2016 වර්ෂයේදී අග්‍රාමාත්‍ය තනතුරට සමු දී ඩවුනින් වීදියේ අංක 10 දරන නිල නිවසින් නික්ම ගිය කැමරන් මහතා පසුගිය 14 වැනිදා උදෑසන නැවත එකී නිවසට පැමිණියේ අගමැති සුනාක් හමුවී නව තනතුර භාර ගැනීමටයි.

වර්තමාන අගමැතිවරයාට තම පූර්වගාමියෙකු තම දෑත් ශක්තිමත් කිරීම සඳහා කැඳවීමට සිදුවූයේ ඔහුගේ ආණ්ඩුවේ පැවති අභ්‍යන්තර අර්බුදය හේතුවෙනි. ස්වදේශ ලේකම් ලෙස කටයුතු කළ සුවෙල්ලා බ්‍රැවර්මන් මහත්මිය ඉවත් කරන ලෙස පාලක කොන්සවේටිව් පාක්ෂිකයන්ගෙන්ම අගමැතිවරයාට බලපෑම් එල්ල විය. බ්‍රැවර්මන් මහත්මිය ඉවත් කිරීමෙන් හිස් වූ ස්වදේශ ලේකම් ධුරයට විදේශ ලේකම් ධුරයේ කටයුතු කළ ජේම්ස් ක්ලෙවර්ලි පත්කර ඇති අතර විදේශ ලේකම් තනතුර භාරගැනීම සඳහා කැමරන් මහතාව කැඳවා තිබුණි.

බ්‍රිතාන්‍ය රජය දෙදරවූ ඊශ්‍රායල්-හමාස් ගැටුම

බ්‍රැවර්මන් මහත්මිය ස්වදේශ ලේකම් ධුරයෙන් ඉවත් කිරීම සිදුවූයේ වර්තමාන ඊශ්‍රායල-හමාස් යුද්ධයේම දිගුවක් ලෙසින් වීම විශේෂත්වයකි. ලොව බොහෝ රටවල මෙන්ම බ්‍රිතාන්‍යය තුළ ද පලස්තීනුවන්ට පක්ෂපාතී පාගමන් හා රැස්වීම් සංවිධානය විය. මේ සඳහා ජනතාව දහස් ගණනික් එක්රැස් වූහ. කොන්සවේටිව් රජය තුළ සිටින වඩාත් දක්ෂිණාංශික ඇමැතිවරියක වූ බ්‍රැවර්මන් මෙම පලස්තීනවාදී පා ගමන් දැඩිව විවේචනය කළාය. පසුගිය සතියේ The Times පුවත්පතට ලිපියක් ලියන බ්‍රැවර්මන් මහත්මිය මෙම පා ගමන්වලට සහභාගි වන්නන් “පලස්තීන ගැති මැරයන්” ලෙස හැඳින්වූ අතර එම ප්‍රකාශය බෙහෙවින් මතභේදයට තුඩු දුන්නේය. ඇය වැඩිදුරටත් විස්තර කළේ මෙම පාගමන් උතුරු අයර්ලන්ත ගැටුමේ උච්චතම අවස්ථාවේ පැවති ප්‍රචණ්ඩත්වය සිහිපත් කරන බවයි.

ස්වදේශ ලේකම්වරියගේ ප්‍රකාශය ලන්ඩනයේ අන්ත දක්ෂිණාංශික කණ්ඩායම්වලට උඩගෙඩි දීමක් බඳු විය. ලන්ඩන් නගරය තුළ දක්ෂිණාංශිකයන්ගේ පලස්තීන විරෝධී පා ගමන් සංවිධානය විය. කලහකාරීව හැසිරුණු අන්ත දක්ෂිණාංශික උද්ඝෝෂකයන් කිහිප දෙනකු බ්‍රිතාන්‍ය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර බ්‍රැවර්මන් මහත්මිය පොලිසියේ එම ක්‍රියාවද විවේචනය කළාය. පොලිසිය පක්ෂග්‍රාහීව හැසිරෙන බව ඇය පැවසුවාය.

ස්වදේශ කටයුතු ඇමැතිවරිය ධුරයෙන් ඉවතට

ඩේවිඩ් කැමරන් යළිත් කරළියට

සුවෙල්ලා බ්‍රැවර්මන් යනු කොන්සර්වේටිව් පක්ෂයේ දක්ෂිණාංශය නියෝජනය කරන ප්‍රධානතම චරිතයකි. ඇයද අගමැති සුනාක් මෙන් ඉන්දීය සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පුරවැසියෙකි. බොහෝ විට ලෝකය පුරාම දක්ෂිණාංශික නායකයන්ගේ ප්‍රකාශ ජනප්‍රියවාදී වුවද ඒවා ස්වභාවයෙන්ම ආන්දෝලනාත්මකය. ඒවා පවත්නා ලෝක දේශපාලන තත්ත්වයන්ට හා සමාජ සම්මතයන්ට අනුගත නොවන බව මතුපිටින් පෙනෙන්නට තිබේ. එම නිසා බොහෝ දක්ෂිණාංශික දේශපාලනඥයන් තම අදහස් සෘජුව ප්‍රකාශ කිරීමට මැලිකමක් දක්වති. බොහෝ බටහිර රටවල ඡන්ද පදනම ශක්තිමත් වන්නේ සුදු ජාතිකයන්ගේ ජන පදනම මතම නොවේ. සංක්‍රමණික ජන කොටස් විසින් එකී රටවල මැතිවරණ ප්‍රතිඵලයන්ට එල්ල කරන බලපෑම සුළුපටු නැත. කෙසේ නමුත් අන්ත දක්ෂිණාංශික මතවාද එක එල්ලේ ප්‍රකාශ කරන දේශපාලන චරිත විකල්පීය ජනප්‍රියත්වයක් උරුම කර ගැනීම විශේෂත්වයකි. බටහිර රටවල යම් ස්ථාවරත්වයක් හිමිකර ගෙන සිටින සංක්‍රමණික ජනතාව පවා දක්ෂිණාංශික ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා තමන්ට වැඩි පහසුවක් ඇති වන බව විශ්වාස කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉතාලියේ ජෝර්ජියා මෙලෝනි ආදී නායකයන් බලයට පත්වන්නේ එකී සමාජ නැඹුරුව හරහාය.

තම අන්ත දක්ෂිණාංශික ප්‍රකාශ නිසා සුවෙල්ලා බ්‍රැවර්මන් බ්‍රිතාන්‍ය දේශපාලනය පිළිබඳව කතාබහ කරද්දී සාමාන්‍යයෙන් කියවෙන්නේ කැමරන් මහතාට EXIT වීමට සිදුවූයේ BREXIT නිසා බවයි. යුරෝපා සංගමය පිහිටුවීමට පෙර පවා යුරෝපා රටවල් “යුරෝපා ප්‍රජාව (European Communities)” ලෙස එක්ව සිටි අතර එක්සත් රාජධානිය 1973 සිට යුරෝපා ප්‍රජාව සමඟ සන්ධානගතව සිටියේය. වඩාත් ලිබරල් දේශපාලනඥයෙකු වූ කැමරන් මහතා දැඩි ලෙසින්ම BREXIT විරෝධියෙකු විය. ඔහු පෙනී සිටියේ එක්සත් යුරෝපයක් වෙනුවෙනි. කෙසේ නමුත් තම රට තවදුරටත් යුරෝපා සංගමයේ සාමාජිකත්වය දැරිය යුතුදැයි විමසීම සඳහා 2016 දී එක්සත් රාජධානිය තුළ ජනමත විචාරණයක් පැවැත්වුණි. එයින් කැමරන් මහතාගේ එක්සත් යුරෝපා මතය පරාජය වූ අතර බ්‍රිතාන්‍ය ජනතාවගෙන් 52%ක් BREXIT ක්‍රියාවලියට පක්ෂපාතී විය. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වී පැය කිහිපයකට පසු කැමරන් මහතා අගමැති ධුරයට සමුදී ඩවුනින් වීදියෙන් නික්ම ගියේය. පසුව 2020 පෙබරවාරි 01 වැනිදා එනම් අගමැති බොරිස් ජොන්සන් යුගයේදී එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉවත් විය. කැමරන් මහතාගේ ඉවත්වීමෙන් අනතුරුව කොන්සවේටිව් පක්ෂයට බලය අහිමි නොවුණත් බ්‍රිතාන්‍ය දේශපාලනය වඩාත් දක්ෂිණාංශික නැඹුරුවකින් යුතු කැළඹිලි සහගත කාල පරිච්ඡේදයක් ඔස්සේ ගමන් කරමින් පවතින බව කිව හැකිය. කැමරන් මහතාගෙන් පසුව මේ දක්වා කොන්සවේටිව් අගමැතිවරුන් හතර දෙනකු විසින් බ්‍රිතාන්‍යය පාලනය කර ඇත.

කැමරන් වැඩ ආරම්භ කරයි

අගමැති සුනාක් විසින් තම අනුප්‍රාප්තිකයා කරළියට කැඳවීමට පෙර වහාම ඔහුව සාමිවරයෙකු ලෙස නම් කළේය. තමන්ට සුනාක් අගමැතිවරයා පිළිබඳව ප්‍රතිපත්තිමය විවේචන තිබුණත් ඔහු දක්ෂ පාලකයෙකු බව කැමරන් සාමිවරයා විසින් පවසා තිබුණි. සාමාන්‍යයෙන් කිසිදු අගමැතිවරයෙකු තමන්ගේ බලයට අභියෝග කළ හැකි පුද්ගලයෙකු තම කැබිනට් මණ්ඩල සාමාජිකයෙකු ලෙස කැමැත්තෙන් නම් කරන්නේ නැත. කැමරන් මහතාව කැඳවීමේ අභිප්‍රාය වන්නේ සුනාක් පාලනය තවදුරටත් ශක්තිමත් කර ගැනීම විය හැකිය. නමුත් මේ පත්කිරීම හේතුවෙන් කොන්සවේටිව් පක්ෂයේ අභ්‍යන්තර අර්බුද උග්‍ර වී ඇත. ඇමැති ධුරයෙන් නෙරපා දැමූ බ්‍රැවර්මන් මහත්මිය අගමැතිවරයාව දැඩිව විවේචනය කරමින් සිටියි. ඇය දැන් අගමැතිවරයාව හඳුන්වන්නේ “වැඩ බැරි බොරුකාරයෙකු” ලෙසය. යුරෝපාවාදී හිටපු අගමැතිවරයාගේ ආගමනය යුරෝපයේ සෙසු නායකයන් තුළ සතුටක් ඇති කළ බව පෙනෙන්නට තිබුණත් බ්‍රිතාන්‍යය නැවත යුරෝපා සංගමය හා එක්වීමක් පිළිබඳව ඒ කිසිවෙකු බලාපොරොත්තු වන්නේ නැත. බලයෙන් විසි වූ අගමැතිවරයෙකු නැවත බල කවයට කැඳවා අස්ථාවර ආණ්ඩුවක් තවදුරටත් පවත්වා ගැනීම වෙනුවට අගමැතිවරයා කළ යුත්තේ වහාම මහා මැතිවරණයකට ඉඩ සැලසීම බව යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ උප සභාපතිනි කැතරිනා බාර්ලි පවසා තිබුණි. කෙසේ නමුත් පවත්නා අර්බුදකාරී ලෝක තත්ත්වය කළමනාකරණය කරගැනීම සඳහා කැමරන් මහතාගේ මැදිහත්වීම සුබවාදී ලෙස භාවිත විය හැක.

විදේශ ලේකම් ලෙස පත් වූ වහාම කැමරන් සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සමඟ ඊශ්‍රායල-හමාස් ගැටුම, චීනය සමඟ සබඳතා පුළුල් කිරීම සහ යුක්‍රේන ගැටලුව පිළිබඳව සාකච්ඡා කළ බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. තම පළමු නිල සංචාරය ලෙස පසුගිය දා ඔහු යුක්‍රේනයේ කීව් අගනුවරට පැමිණියේය. බටහිර රටවල් චීනය සමඟ මිත්‍රශීලී ප්‍රතිපත්තියකින් කටයුතු කළ යුතු බව ඔහුගේ වර්තමාන මතය වී තිබේ. එය ගෝලීය ආරක්ෂාව වෙනුවෙන් වූ අත්හල නොහැකි වගකීමකි.

ශානක ලියනගම

advertistmentadvertistment
advertistmentadvertistment