තාප්ප වෙනුවට පාලම් බඳිමු!

69

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලොව ප්‍රධාන බල කඳවුරු දෙකක් නිර්මාණය වුණා. ඒ, අමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර පාර්ශ්වයේ කඳවුර සහ රුසියාව ප්‍රමුඛ සමාජවාදී කඳවුර විදිහට. එම බල කඳවුරු දෙකටම සම්බන්ධ නොවී මැද මාවතේ යා යුතු බවට ලෝකයේ ප්‍රබල මතයක් ඇතිවිණ. නොබැඳි සංකල්පය බිහිවෙන්නේ ඒ අනුව. මේ අපූරු සංකල්පය ලොව රටවල් රැසක ව්‍යාප්ත වුණා.

1976 වසරේ නොබැඳි ජාතීන්ගේ සමුළුව ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත්ව පැවැත්වෙන්නේ ද එහි ප්‍රතිඵලයක් ලෙස.

වර්තමානය වන විට ලෝකයේ සෑම රටක්ම පාහේ ලෝකය තුළ තමන්ගේ ආස්ථානය සනිටුහන් කර ගන්නට අප්‍රමාණ වෑයමක් දරමින් ඉන්නවා. එක් අතකින් ආර්ථික අරගලය දේශපාලන අරගලයත් ඒ අතර වෙනවා.

ලෝකයේ කිසිම රටකට හුදකලාවේ ජීවත් වීමට නොහැකි බව අද වන විට යථාර්ථයක් වී අවසන්. රටවල් වශයෙන් තාප්ප ගසා ගන්නවට වඩා රටවල් රටවල් අතර පාලම් හදා ගැනීම තමයි වර්තමානයේ අත්‍යවශ්‍ය වන්නේ.

ඉතා වැදගත් භූ දේශපාලනික මාන තුනකින් සමන්විත සුවිශේෂී භූගෝලීය ස්ථානයක ශ්‍රී ලංකාව පිහිටා තිබෙනවා. ශිෂ්ටාචාර රැසක ආරම්භය සිදුවූ ඉන්දියානු උපමහාද්වීපයට සමීප වීම, නැඟෙනහිර ආසියාව හා නැඟෙනහිර අප්‍රිකාව අතර සමදුරින් පිහිටා තිබීම නිසා එම කලාප දෙක අතරමැද පිහිටීමේ වාසිය ලබාගැනීමට හැකිවීම සහ පෙරදිග හා අපරදිග යා කරන මුහුදු මාර්ග ශ්‍රී ලංකාව හරහා වැටී තිබීම ඒ විශේෂතා තුනයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාව නැඟෙනහිර හා බටහිර අතර සම්බන්ධතාව ඇති කරන තීරණාත්මක භූමියක්.

කෙසේ වෙතත් අවස්ථාවාදී දේශපාලනය විසින් බොහෝ අවස්ථාවල ශ්‍රී ලංකාවට හිමි වන්නට ගිය ස්වර්ණමය ඉඩකඩවලට අවහිර කිරීම් සිදු කොට තිබෙනවා. ආත්මාර්ථකාමී සහ බල ලෝභී න්‍යාය පත්‍ර මත පිහිටා කටයුතු කරන දේශපාලන අවස්ථාවාදීන් හේතුකොටගෙන රටක් ලෙස අපට අත්පත් කර ගන්නට තිබූ ජයග්‍රහණ රාශියක් වැළලී ගොස් තිබෙනවා.

නරක දේට සේම සේම හොඳ දේටත් එක සේ විරුද්ධ වීමට යෑම හේතු කොටගෙන අපේ රට පසුබා ගිය අවස්ථා බොහෝයි.

දකුණු ආසියාවේ ස්විට්සර්ලන්තය වන්නට හැකියාව තිබූ ශ්‍රී ලංකාව අද වෙන විට වෙනවිට බංකොලොත් බවේ පීඩනය විඳදරා ගනිමින් සිටිනවා. දකුණු ආසියාවේ ශ්‍රී ලංකාව වන්නට වෑයම් කළ සිංගප්පූරුව අද වන විට ශ්‍රී ලංකාව පසුකොට සැතපුම් ගණනාවක් වේගයෙන් ඉදිරියට ගොස් සිටිනවා.

සෑම දෙයටම විරුද්ධ වෙමින් තමන්ගේ තිබෙන අවස්ථාවාදී කම ප්‍රදර්ශනය කරමින් රට අගාධය කරා තල්ලු කරන තීන්දු තීරණ ගන්නා පිරිස් නිසා සිදු වුණේ අපේ රට විවිධ බලවතුන්ගේ පොර පිටියක් බවට පත් වීම පමණයි. ඒ නිසා, රටට ආදරය කරන සහ රට ලෝකයත් සමග ගනුදෙනු කරන දීප්තිමත් තැනකට ඔසවා තබන්නට හැකි පිරිස් වෙත අපි දෑත් දිගු කළ යුතුයි.

ලෝකය පුරා මතුවී තිබෙන නව ප්‍රවාහය තමයි නිපුණතාවය කුසලතාවය ඇති පිරිස් වලට වගකීම් හිමිවීම. සාම්ප්‍රදායක බල කඳවුරු වල බලවතුන් පසුබා යමින් අලුත් තාරුණ්‍යය ලෝකය අත්පත් කර ගනිමින් ඉන්නවා.

ඉන්දීය උප මහාද්වීපයේ කුඩා දිවයින සතු මූලෝපායික පිහිටීම ඉන්දියානු සහ ශාන්තිකර සාගර කලාපයන් ඉක්මවමින් තවත් ඈතට විහිදගොස් තියෙනවා.

එහිදී අවශ්‍ය වන්නේ නූතනවාදී, ශක්තිමත් දැක්මක් සහිතව ජාතික ප්‍රතිපත්ති උදෙසා අවශ්‍ය ප්‍රබුද්ධ පිරිස් තෝරාගැනීමයි. එහිදී නොබැඳි විදෙස් ප්‍රතිපත්තිය අවශ්‍යයෙන්ම සැලකිල්ලට ගත යුතුමයි.

සත්‍ය වශයෙන්ම අප කළ යුත්තේ රට වටා බඳින තාප්ප වෙනුවට, ලෝකය සමඟ පාලම් බැඳීමයි.

ඉම්තියාස්
බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment