දකුණු අප්‍රිකාවෙන් ලෝක වාර්තාවක්

120

එක්දින ජාත්‍යන්තර තරගවල වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ජය ගත් කණ්ඩායම ලෙස (ඔස්ටේ්‍රලියාවට එරෙහිව ලකුණු 438) වාර්තා තබා සිටින දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දු වාර 20-20 ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් තරගයක් ජයගත් කණ්ඩායම බවටද වාර්තා අතරට එක්වීමට පෙරේදා (26 වැනිදා ) සමත් වූයේය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන 20-20 තරගයේදී ලකුණු 259ක ඉලක්කයක් හඹා ගොස් තරගය ජයගත් දකුණු අප්‍රිකා කණ්ඩායම එම වාර්තාව පිහිටුවීමට සමත් වූයේය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජොන්සන් චාල්ස් පන්දු 46 කදී ලකුණු 118 ක් ලබාගත් අතර එහිදී පන්දු 39 කදී චාල්ස් ශතකය ලබා ගන්නා විට එය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පිතිකරුවෙකු ලබාගත් වේගවත්ම පන්දු වාර 20-20 ශතකය බවටද වාර්තා විය. ලෝක මට්ටමෙන් එම ශතකය වේගවත්ම 6 වැනි තැන පසුවේ.

දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ක්ව්න්ටන් ඩි කොක් ශතකයක් ලබා ගත් අතර එම ගමනේදී ඔහු පන්දු 15ක් තුළදී ලබා ගත් අර්ධ ශතකය පන්දු වාර 20-20 තරගවල දකුණු අප්‍රිකාව වෙනුවෙන් වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකය බවටද පත් විය.

ඉලක්කය හඹා යෑමේදී දකුණු අප්‍රිකා කණ්ඩායම පළමු පන්දුවාර 10 තුළ ලකුණු 149 ක් ලබා සිටි අතර එය පන්දුවාර විස්සයි විස්ස තරඟයක ඕනෑම කණ්ඩායමක් පළමු පන්දුවාර 10 තුළදී ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක් විය.

ලකුණු සාරාංශය

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම – 258/5 (20)

දකුණු අප්‍රිකා කණ්ඩායම – 259/4 (18.5)

advertistmentadvertistment
advertistmentadvertistment