දැරියන්ට අතවර කළ ටියුෂන් ගුරා 26දා තෙක් රිමාන්ඩ්

245

මානසික වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කරන්නත් නියෝග

මේවා බිරිඳ ගොතපු බොරු – විත්තියේ නීතිඥයා උසාවියට කියයි

කළුතර ප්‍රදේශයේ උපකාරක පංතිවලට සහභාගිවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ උපකාරක පංති ගුරුවරයා ලබනි 26 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙණිය මහත්මිය ඊයේ (12 දා) නියෝග කළාය.

කළුතර උතුර, සුභසාධක මාවතේ පදිංචි විදානආරච්චි සංක තිවංක ජයවික්‍රම යන 30 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලදී.

කළුතර උතුර ප්‍රදේශයේ ගණිතය විෂය උගන්වන උපකාරක පංතියක් පවත්වන, සැකකරු දැරියන්ට ලිංගික අතවර සිදුකර තිබූ බව පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

සැකකරු අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ බවත්, එහිදී ලද නිර්දේශ මත බන්ධනාගාරගත කර මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරන ලෙසට පොලිසිය අවසර ඉල්ලා සිටීමෙන් පසු ලබන මැයි 15 දා මානසික වෛද්‍යවරයකු වෙත යොමු කරන ලෙසටත් මහෙස්ත්‍රාත්වරිය අවසර දුන්නාය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා සඳහන් කළේ සිය එල්ලවී ඇති චෝදනා සැකකරුගේ බිරිඳ විසින් ගොතන ලද එවා බවත්, සිය සේවාදායකයා එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් සුදුසු ඇපයක් මත මුදාහරින ලෙසත්ය.

පොලිසිය වෙනුවෙන් පොලිස් පරීක්ෂක දිස්නා ප්‍රියන්ති, සැරයන් කේ. වී. ඩී. නයනකුමාර (40173) යන නිලධාරීහු අධිකරණයට කරුණු වාර්තා කළහ.

නඩුව ලබන මැයි 26 වැනිදා යළි කැඳවීමට නියමිතය.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment