දෙවොල්මඩු ශාන්තිකර්මයේ පුදපෙත් ලබන දෙවොල් දෙවියෝ

316

විජයරජු ලංකාවට පැමිණීමට පෙර මෙහි පැමිණි විදේශිකයෙක් ලෙස දෙවොල් දෙවියන් සැලකේ. උඩරට නර්තන සම්ප්‍රදායේ කොහොඹායක් ශාන්ති කර්මයට මුල්වූ පඬුවස් දෙවි රජ කතාව මෙන්ම දෙවොල් මඩුව සේරමාන් රජ පුවත හා සම්බන්ධ වෙයි.

දඹදිව කුදුප්පර නුවර රාමසිංහ නම් රජ කෙනකු රජකම් කෙළේය. රාමසිජහ රජුගේ අන්තඃපුරයේ බිසෝවරු සංඛ්‍යාව හත්සියයකි. ඒ බිසෝවරු හත්සියය අතුරින් අග්‍රමහේෂිකා තනතුර ලත් බිසෝවරු සත් දෙනෙකි. එම බිසෝවරු සත් දෙනා තෙදපති, ගුණපති, අමිතාපති, සිරිපති, මිහිපති, යසපති, ගිනිපති, නම් වූහ. මෙම බිසෝවරු හත්දෙනා එකවර ගැබ්ගත් අතර දසමස් පිරීමෙන් පසු කුමාරවරු සත් දෙනකු බිහි කළහ. එම කුමාරවරුන් සත්දෙනා අනුපිළිවෙළින් දෙවොල් සාමි, අළුත්බණ්ඩාර, හිරුරැස්සාමී, සදරැස්සාමී, තෙදරැස්සාමී, ගිනිරැස්සාමී, ගඟේබණ්ඩාර යනුවෙන් නම් වූහ.

මවුවරුන්ගේ සෙනෙහසින් හැදී වැඩුන මෙම කුමාරවරුන් සත්දෙන ඉතාම කෙළිදෙළෙන් පසුවූ අතර කල්යත්ම චණ්ඩ ගති ඇත්තන් බවට පත්වූහ. දුනු ශිල්පයෙහි අති දක්ෂ වූ කුමාරවරුන් වනවදුළු තුළ සැරිසරමින් වනසිව්පාවුන් මරා දැමීමටද පෙළඹුනාහ. එපමණක් නොව අහසේ පියාඹන පක්‍ෂීන් ගම්වැසියන්ගේ ගවයන් එළුවන් පවා මරාදමද්දී ගම්මු මේ බව රජුට දැන්වූහ. ඉන් මහත් කෝපයට පත් කුමාරවරු මිනිසුන් මරා දැමීමටද පටන් ගත්හ. මෙයින් මහත් කෝපයට පත් රජතෙමේ කුමාරවරුන් සත්දෙනා ඔවුන්ගේ පිරිස සමග රටින් පිටුවහල් කර දැමීමට තීරණය කළහ. ඔවුන් දොළුවර කණ්ණඩි ආදී පිරිසක් සමග රුවල් නැව් උපයෝගී කර ගනිමින් සිරිලකට පැමිණි බව පැවසේ.

ඉමක් කොනක් නොපෙනෙන මහමුහුදේ පැමිණි නැව් මහමුහුද මැද කැඩීගිය බවත් ඉන් බේරුන දෙවොල් කුමාරවරු සත්දෙනා සහ කුරුම්බර නම් සේවකයා සුණු විසුණු වූ නැව්වල ළී දඬු බදා ගනිමින් මහ මුහුද තරණය කරන්නට වූහ. මේ විපත සැලවුන සක්දෙව් රජ මොවුන්ට ගල්නැවක් සාදාදුන් බව උපත්කතාවේ කියැවේ. සක්දෙව්රජ මවාදුන් ගල්නැව මණිමේකලා ‘දෙවගන ඉලිප්පෙන්ට සැලස්ුසූ බව දේවකන්නලව්වේ කියවේ. මෙසේ පැමිණි කුමාරවරු වෙරළට ගොඩ බැසීමට තැත්කළවිට පත්තිනි මෑණිය ඔවුන්ගේ පැමිණීමට විරුද්ධ වූවාය. මෙහිදී කුමාරවරු සත්දෙනා පත්තිනිය විසින් මවන ලද යකඩ වැට බිඳ දමා ගිනිකඳු මැඬගෙන වෙරළට ගොඩබැස දෙවුන්දර, උඩුගල්පිටිය, බෙන්තොට, සීනිගම, පානදුර යන ස්ථානවලට පැමිණ පදිංචි වූ බව පැවසේ.

දෙවොල් කුමාරවරු වෙරළට ගොඩ බැස්සවිට පත්තිනිය ඔවුන්ට ගොඩබැසීමට ඉඩ නොදුන් අවස්ථාවේ ඇයගේ කරුණාව ලබාගැනීමට කුමාරවරු ඔවුන්ගේ දුක කීවේ මේ අයුරිනි.

කන්නූරම් පුරදී දුටු අක්කා
මදුරාපුරයේදී දුටු අක්කා
එදා මෙතනදී අප දුටු අක්කා
අපි ගොඩ ගන්නකො බුදු අක්කා

අක්කට මේදුක කියන්ට හිතුනි
මුහුදේ වැටිලා තද දුක වැදුනී
සක්‍ර දෙවිදු ගල් නැවක් මවාදුනි
අපි දැන් ගොඩගන්නකො සත් පත්තිනි

මෙහිදී දෙවොල් සත්කට්ටුව සහ ඔවුන්ගේ ආරක්‍ෂකයෝ වන අදුන් කුරුම්බර, හදුන් කුරුම්බර, හෙට්ටි කුරුම්බර, එර්දිකුරුම්බර, මල් කුරුම්බර, ගිනි කුරුම්බර, රීරිකුරුම්බර, හැඩ කුරුම්බර, දෙවොල් කුරුම්බර ආදී දෙළොස් දේවතාවෝ ගිනිකඳු සත පයින් මැඬ නිවා සීනිගම අත්පත්කරගත් බව පැවැසේ.

අතින් ගත්තු ගිනිජල් පන්දු කෙළිමින
කටින් සපා ගිනිජල් සිසිල් කරමින
පයින්ගසා ගණිජල් පන්දු කෙළිමින
සැනෙන් දෙවොල් දෙවි මෙතෙරට වඩිමින

කොහොඹා යක්කංකාරි පුරාවෘත්තයේ කියවෙන පඬුවස් දෙව් රජතුමාට වැළඳුන දිවිදෝෂය මෙන්ම සේරමන් රජතුමාට සුවකළ නොහැකි හිසරුජාවක් වැළඳෙයි. මෙම හිසරුදාව දුරුකරවීමට නොයෙකුත් වෙදහෙදකම් කළත් සුවකිරීමට නොහැකි වූ කල්හි දෙවොල් යකැදුරන් ගෙන්වා දෙවොල් මඩුවක් නැටීමට තීරණය කරයි. දෙවොල් ඇදුරන් විසින් දිගින් සැට රියනක් පළලින් පහළොස් රියනක් උසින් නවරියනකින් යුත් මණ්ඩපයක් සාදා එහි එක් පසෙකින් යහන් තනා රඹතොරණ හා වාහල තොරණ සකස්කොට සතරවරම් දෙවියන්ට පහන්පැල් තනා දෙවොල් යාගය පැවැත්වූ බව පැවසේ.

මෙහිදී කළස්පාලිය ‘දුම්මල පාලිය’ මල්පාලිය සිව්සැටක් පෙළපාලිවලින් සහ මහායක්කම, සීතායක්කම, කුරුම්බරයක්කම, දෙවොල්යක්කම ආදී යක්කම්කර සේරමන් රජුගේ හිසරුජා දුරුකළ බව පුරාවෘත්තවල කියවේ.

දෙවොල් උපත පිළිබඳ තවත් පුරාවෘත්තයකට අනුව දෙවොල් දෙවියෝ ඉන්දියාවේ කර්නාටික් වෙරළින් පිටත්වූ වෙළඳ නැවක අධිපතියා වූහ. එම පුවතට අනුව දෙවොල් දෙවියන් දකුණු ඉන්දියාවේ උපන් ද්‍රවිඩ ජාතිකයෙකි. කළුකුරුම්බර නමින්ද ප්‍රකට මොහු නැවක බඩුපටවා ගෙන මහමුහුදේ ගමන් කරනවිට නැව චණ්ඩ කුණාටුවකට හසුවෙයි. මෙයින් මහත් කරදරයට පත්වෙන මොවුන් දකුණු වෙරළෙහි පාවෙමින් තිබූ නැවක කරකියාගත හැකි දෙයක් නොමැතිව සිටියි. පසුව දෙවුන්දර වෙරළ ආසන්නයේ නවතා තිබූ පාරුවක එල්ලී ගොඩ බසින්නට උත්සාහ කරයි. නමුත් පාරුපදින්නා එයට අවසර නොදෙයි. ඔවුන් ඉන්පසුව සීනිගම වෙරළට ගොඩබැස දිවි ගලවා ගනියි.

දෙවොල් දෙවියන්ගේ මුල් ස්ථානය සීනිගම වුවද ලංකාවේ නොයෙක් ස්ථානවල දෙවොල් දේවාල පිහිටා ඇත. දෙවොල් දෙවියන්ගේ ගොඩ බැසීම වැළැක්වීමට පත්තිනි දේවිය ගිනිකඳු මැවූවේලේ ඒවා නිවාදැමීම සිහිපත් කරමින් කපු මහත්වරු දෙවොල්මඩු ශාන්තිකර්මයේදී ගිනිපෑගීම කරනු ලබති. එවක සීනිගම විසූ මැතිඳෙකු විසින් ඔහුට ඇතිවූ අසනීපයක් සුවකරදීම නිසා සීනිගම දේවාලය ඔහු විසින් කරදුන් බව පැවසේ. (සියැනෑ කෝරළයේ දෙවිවරු සහ දේව විශ්වාස. කර්තෘ ආර්.ඒ. පියදාස)

හික්කඩුවට නුදුරුව මුහුදේ ප්‍රධාන දෙවොල් දේවාලය පිහිටා තිබෙන අතර උණවටුන රූමස්සල වේරගොඩ අමනාවලද දෙවොල් දේවාල පිහිටා ඇත. දෙවොල් දෙවියන් වේරගොඩ ස්ථානයක තම සැරයටිය සිටුවා ගසක් හැටියට එය වැඩීමට සැලැස්සූ බවද අමනාවල ඇත්තේ මහාසාමිගේ දේවාලය බවද දේව පුරාණයේ සඳහන් වේ. මෙම දෙවොල් දෙවිවරු පිරිස ගම්බාර දෙවිවරු ලෙස බැතිමත්හු විශ්වාස කරති. ගම්මු දෙවියන්ගේ ලෙඩ යනුවෙන් හඳුන්වනු ලබන පැපොල සරම්ප කම්මුල්ගාය ආදී බෝවන රෝග වලින් මිදීම සඳහා දෙවොල් දෙවියන්ට පුදපූජා පැවැත්වීමට පෙළඹෙති. බොහෝ දේව සමූහයා මෙන්ම දෙවොල් දෙවියන්ද භාරතයෙන් මෙහි පැමිණියෝ වෙති. දෙවොල් යකුන් ලෙසින්ද දෙවොල් දේව සමූහයා හඳුන්වා ඇත. රටවන් දෙවියන් නාමය පස්බාගේ කෝරළේද දකුණු පළාතේදී වේරගොඩ යනුවෙන්ද ඇතැම්විට වාහල හාමුදුරුවෝ යන නාමයෙන්ද හඳුන්වා ඇත.

දෙවොල් යාදින්නාවක සඳහන් වන ආකාරයට දෙවොල් දෙවි කුදුප්පර නුවර ශ්‍රී රාමසිංහ නම් රජතුමාගේ මහාසාමී නම් පුතෙකු බවත් කියවේ. රජතුමන් තම පුතු නැවකට ගොඩ කරවා රටින් පිටුවහල් කළ බවත් අතරමගදී යාත්‍රාව බිඳී විශ්ම කර්මයා විසින් මවන ලද පහුරකින් යාපා පටුනට ගොඩ බැස්ස බවත් එහිදී නාථ දෙවියන් විරෝධය පෑම නිසා සීනිගමට පැමිණි බවත් පැවසේ. සීනිගම දේවාල පුරාවෘත්තයේ සඳහන් වන ආකාරයට දෙවොල් දෙවිවරු ස්ථාන හතකදීම එලවා දැමූ බව පැවසේ. දෙවොල් දෙවියන් එසේ එලවා දැමීමෙන් පසු සීනිගමට පැමිණ වැඩ වාසය කරන බව බැතිමතු්ගේ විශ්වාසයයි

කලාභූෂණ’ විශ්වාභිනන්දන, සියැනෑ ගෞරව
කීර්ති සරණපාල නුවරපක්‍ෂ. පූගොඩ
දුක:- 077 9139904

advertistmentadvertistment
advertistmentadvertistment