නිදහස් සෞඛ්‍ය විනාශ කිරීමේ කුමන්ත්‍රණය පරදවා ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කරමු – ● පෙරඹර

268

රටක සෞඛ්‍ය සේවාව එම රටේ ජනතාවට ලබා දිය යුතු මූලිකම සේවාවන්වලින් එකකි. එම සෞඛ්‍ය සේවාව ජනතාවට බරක් නොවන පරිදි හා අවශ්‍ය වන මොහොතේම ප්‍රමාදයකින් තොරව ලබා ගත යුතු සේවයකි. එමෙන්ම මේ ආකාරයට සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යෑම ඕනෑම රජයකට අත්හළ නොහැකි වගකීමකි. රට වැසියන්ගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීමට සෑම රජයක්ම බැඳී ඇත.

 ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව රජය විසින් ජනතාවගේ බදු මුදල් යොදවා රාජ්‍ය අංශයේ සේවාවක් ලෙස මූලික ලෙස පවත්වාගෙන යනු ලබයි. එමෙන්ම පෞද්ගලික අංශයද යම් පමණ සැලකිය යුතු මට්ටමේ සෞඛ්‍ය සේවාවක් (විශේෂයෙන්ම බාහිර රෝගී අංශය) පවත්වා ගනී. එහිදී සමස්තයක් ලෙස ප්‍රතිකාර ලබා ගන්නා අවස්ථාවේ මුදල් ගෙවීමකින් තොරව සෞඛ්‍ය සේවාව ලබා ගැනීමේ හැකියාව කිසිදු බේදයකින් තොරව සියලු දෙනාටම රාජ්‍ය අංශයේදී ලැබී ඇත.

 මෙය නිදහස් සෞඛ්‍ය සේවාවක් ලෙස අර්ථ නිරූපනය කර ඇතත් ඇත්ත වශයෙන්ම සිදු වන්නේ ජනතාවගේ සෘජු හා වක්‍ර බදුවලින් ලබා ගන්නා මුදල් යොදවා රජය විසින් ජනතාවට සෞඛ්‍ය සේවාව සැපයීමයි. මේ ආකාරයට ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන සෞඛ්‍ය සේවාව ලෝකයේ අනෙකුත් රටවලට ආදර්ශයක් සපයමින් අන්තර්ජාතික පැසසුමට ලක්වූ අඩු වියදම් නමුත් සාර්ථක ප්‍රතිඵල ලබාගත් සෞඛ්‍ය මොඩලයකි. මෙය රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමට අපොහොසත් වූ දේශපාලනඥයින්ට හා ආර්ථික විශේෂඥයින්ට ආදර්ශයක් වන පරිදි රටේ ජනතාවගේ සෞඛ්‍ය සංවර්ධනය කර දිමට සෞඛ්‍ය සේවකයන් ලෙස අපට හැකියාව ලැබී ඇත. මේ නිසා කුමන තත්ත්වයක් යටතේ වූවද නිදහස් සෞඛ්‍ය සේවාව, එහි ප්‍රමිතිය හා ගුණාත්මකභාවය බිඳ වැටීමකට හෝ රටේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීමේ අයිතිය ගිලිහී යෑමට ඉඩදීමට අපට කිසිසේත්ම හැකියාවක් නැත.

 පසුගිය කාලය පුරාවටම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඖෂධ හිඟවීමේ අවදානම පෙන්වා දුන්න ද ඊට නිසි විසඳුම් ලබා දීමට රජය අසමත් වී ඇත. ජීවිත ආරක්ෂක ඖෂධ, අත්‍යවශ්‍ය ඖෂධ, අනිකුත් ඖෂධ වර්ගවල මෙන්ම ශල්‍ය උපකරණවලද දැඩි හිඟයකට මේ වන විට මුහුණ දෙමින් සිටී. එය විසඳීම සඳහා අප විසින් ක්‍රියාකාරී සැලැස්මක් ලබා දුන්නද එය 100% කින් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වී ඇත. මේ ආකාරයට කටයුතු කිරීම තුළින් ජනතාව මෙන්ම වෛද්‍යවරුන් වන අප ද දැඩි අපහසුතාවකට පත්ව ඇත. මන්ද යත්, රෝගීන් සිය ජීවිත ඉල්ලමින් පත්වන අසරණභාවය අප සජීවීව අත්දකින බැවිනි. මේ ආකාරයට සෞඛ්‍ය සේවාව තුළ ඖෂධ හිඟයක් ඇති වීම හරහා ජනතාවට පවත්නා සෞඛ්‍ය සේවාව පිළිබඳ විශ්වාස බිඳ වැටෙමින් පවතී. එය සෞඛ්‍ය පෞද්ගලීකරණය කරා යන ගමනේ මූලික පියවරකි.

 උදාහරණයක් ලෙස ඉන්ධන මිල රු. 10 කින් ඉහළ නැංවූ විට පවා කලබලයට පත් වන ජනතාව අද ඉන්ධන හිඟයක් ඇති අවස්ථාවේදී කීයට හෝ ඉන්ධන හා ගෑස් අඛණ්ඩව ලබා දෙන ලෙස උද්ඝෝෂණය කරති. මේ ආකාරයට නිදහස් සෞඛ්‍ය සේවාව තුළ තමාගේ ජීවිතය රැක ගැනීමට අවශ්‍ය ඖෂධ නොලැබෙන්නේ නම් කීයක් ගෙවා හෝ ඖෂධ මිලදී ගෙන ජීවිතය රැක ගැනීමට ජනතාව පෙළඹෙනු ඇත. ඒ ආකල්පය ජනතාව තුළ ඇති කරවීම සෞඛ්‍ය පෞද්ගලිකරණය කිරීමේ වැඩ පිළිවෙළේ කොටසකි. තවද, තෙල් හෝ ගෑස් හේතුවෙන් ජනතාවට පෝලිමේ සිටිය හැකි වූවද ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් ඖෂධ හිඟවී පෝලිමේ සිටීමට ජනතාවට කාලයක් ඉතුරු නොවනු ඇත.

 අද වන විට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සේවයට පැමිණීමට පවා ඉන්ධන ලබා ගැනීමට නොහැකි වී ඇත. අත්‍යවශ්‍ය සේවයක් ලෙස වෘත්තීය සමිති මර්දනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය සේවාව ගැසට් කර ඇතත් එම අත්‍යවශ්‍ය සේවාව පවත්වාගෙන යන සෞඛ්‍ය සේවකයන්ට සේවයට පැමිණීමට අවශ්‍ය ඉන්ධන ලබා දීමට නිශ්චිත වැඩපිළිවෙළක් නැත. ඒ සඳහා අප ඉදිරිපත් කළ වැඩ පිළිවෙළ පවා ක්‍රියාත්මක වන්නේ ඉතාමත් මන්දගාමීව වීම අවාසනාවන්ත තත්ත්වයකි. ඖෂධ හිඟය පවතින රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට නියමිත වේලාවට පැමිණීමට නොහැකි වූවහොත් ඇතිවන තත්ත්වය සිතා ගත නොහැකි තරම් බරපතළ වනු ඇත. රටේ ජනතාවට ජීවිතය ලබාදෙන සෞඛ්‍ය කාර්යමණ්ඩලය සඳහා ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළක් රජයෙන් නිශ්චිතව ක්‍රියාත්මක නොකරන්නේ නම් එවැනි වැඩපිළිවෙළක් සිවිල් සංවිධාන මගින් හෝ ඇති කරලීම ජාතික වගකීමක් වනු ඇත. එසේ නොවී සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ප්‍රමුඛතාවය නොලැබී

 ගියහොත් පෝලිමේ සිට හෝ ජීවිත ආරක්ෂා කර ගැනීමට ජනතාවට නොහැකි වනු ඇත. මේ ආකාරයට සෞඛ්‍ය සේවාවට නිසි ප්‍රමුඛතාවය ලබා නොදීම හරහා රජය නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් පෞද්ගලීකරණයේ ඉසව්වට ගෙන යමින් සිටී.

 රටේ උද්ධමනය ඉතා අධික ලෙස ඉහළ ගොස් ඇත. එය සෞඛ්‍ය සේවකයන්ට ද දැඩිව බලපාමින් තිබේ. සියලු දෙනා අධික ජීවන වියදමෙන් මිරිකී සිටී. රාජ්‍ය සේවකයන් ලෙස සෞඛ්‍ය සේවකයන්ට ද ලැබෙන මූලික වැටුප ඉතා අඩු අගයක් වන අතර විවිධ දීමනා හරහා කරන ලද සැරසිල්ලකින් ජීවිතය පවත්වා ගත හැකි මට්ටමේ වැටුපක් ලබා දී ඇත. එමෙන්ම වෛද්‍යවරුන්ට කැඳවීමක් ලැබෙන ඕනෑම මොහොතක රෝහලට යෑමට රෝහල ආසන්නයේ රැඳී සිටීමට සිදුවේ. 2015 දී පමණ අනුමත වූ දීමනා අද වන විටත් ලැබී නොමැත. ඒ සියල්ල කැප කරමින් පැය 24 පුරා ඉතා අඩු පහසුකම් යටතේ වැඩ කරමින් නිදහස් සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල වැටුප කප්පාදු කිරීමට රජය අත්තනෝමතික තීරණයක් ගෙන ඇත. මේ නිසා සෞඛ්‍ය සේවක කාණ්ඩ සිය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අපහසුතාවකට පත්ව ඇත. එය ඖෂධ හිඟ රෝහල් පද්ධතිය තුළින් සෞඛ්‍ය සේවාව ලබා ගන්නා ජනතාව තවදුරටත් අසරණ තත්ත්වයකට පත් කිරීමක් ලෙස සැලකිය හැක. එබැවින් සෞඛ්‍ය සේවක වැටුප් කප්පාදුව හරහා නිදහස් සෞඛ්‍ය සේවාවක අවසානය මෙන්ම පෞද්ගලීකරණය වූ සෞඛ්‍ය සේවාවක ආරම්භය සටහන් කරනු ඇත.

 සෞඛ්‍ය සේවාවක් පූර්ණ ලෙස පෞද්ගලීකරණය වූ විට ඒ හරහා අසරණ වන්නේ දුප්පත් ජනතාව මිස වෛද්‍යවරුන් හෝ සෞඛ්‍ය කාර්ය මණ්ඩල නොවේ. විවිධ ආර්ථික විශේෂඥයන්ගේ හා අදූරදර්ශී දේශපාලනඥයින්ගේ වැරදි ප්‍රතිපත්ති නිසා ඇති වූ ඖෂධ හිඟයත් සෞඛ්‍ය සේවාව සඳහා ප්‍රමුඛතාවය නොලැබීමත් මෙන්ම සෞඛ්‍ය වැටුප් කප්පාදුවත් හරහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය සඳහා ගෙන යෑම අප විසින් නතර කළ යුතුව ඇත. එය අප මත පැවරුණු ජාතික වගකීමකි. එය රටේ ජනතාවගේ ජීවත්වීම සඳහා වූ පරම අයිතිය සුරක්ෂිත කිරීම සඳහා වන යෝධ ක්‍රියාවලියකි. මෙම නිදහස් සෞඛ්‍ය සේවාව රැක ගැනීම සඳහා වන අරගලය ජයග්‍රහණයෙන් නිමා කිරීම සඳහා නායකත්වය දීමට අප සූදානම්ය.

 භේද අත්හැර එකමුතුව සටන් කොට නිදහස් සෞඛ්‍ය රැක ගනිමු.

 එකමුතු බව අපේ ශක්තියයි.

නිදහස් සෞඛ්‍ය විනාශ කිරීමේ කුමන්ත්‍රණය පරදවා ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කරමු - ● පෙරඹර

වෛද්‍ය නවීන් ද සොයිසා
 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

advertistmentadvertistment
advertistmentadvertistment