නීතියට උඩින් ගිය නෙඩුන්කේණි කෝවිලේ පූසාරි ඇතුළු පස්දෙනෙක් අත්අඩංගුවට

101

වවුනියාව අධිකරණයෙන් නිකුත් කළ නියෝගයකට පටහැනිව නෙඩුන්කේණී වෙඩුක්කුනාරීමලෙයි කෝවිලේ පොංගල් පූජාවක් පැවැත්වීමට ගිය පූසාරීවරයා ඇතුළු පස් දෙනෙකු 7 දා නෙඩුන්කේණී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පූසාරිවරයා අත්අඩංගුවට ගෙන ඉතිරි හතර දෙනාගේ හැඳුනුම් පත්, ජංගම දුරකතන පොලිස් බාරයට ගෙන ඔවුන්ව නිදහස් කොට තිබේ.

ඓතිහාසික තොරතුරුවලට අනුව උතුරේ වඩ්ඩමාන පබ්බත විහාරය ලෙස සලකනු ලබන්නේ මෙම ස්ථානය වන අතර යුද සමයේදී එම පළාත්වලට බෞද්ධ ජනතාවට යෑමට නොහැකි වූ නිසා හින්දු බැතිමතුන් එම ස්ථානයේ ආදී ලිංගේස්වර කෝවිල නමින් ශිව කෝවිලක් තනාගෙන ඊට පුද පූජා පවත්වයි.

බෞද්ධ නටබුන්වලට හානි සිදු කරමින් මේ ස්ථානයේ ස්ථිර ගොඩනැඟිලි ඉදිකිරීමට කෝවිලේ පාලන අධිකාරිය පියවර ගත් අවස්ථාවේදී පුරා විද්‍යා නිලධාරීන් නෙඩුන්කේණී පොලිසියට ඒ බව පැමිණිලි කොට වවුනියාව මහාධිකරණයේ නඩුවක්ද ගොනු කොට තිබේ.

මේ නිසා එම ස්ථානය සම්බන්ධයෙන් දැඩි මත භේදකාරී තත්ත්වයක් හට ගත් අතර ඒ නිසාම වවුනියාව අධිකරණයේ ගොනු වූ නඩු සංඛ්‍යාව හයක් දක්වා ඉහළ ගොස් තිබුණි.

අවසන් වරට වවුනියාව මහාධිකරණය මගින් නිකුත් කළ නියෝගයේ සඳහන් වූයේ මෙම ස්ථානය සම්බන්ධයෙන් නිශ්චිත අයිතිවාසිකම් තීරණයකට එළඹෙන තුරු කිසිම සංවර්ධන කටයුත්තක් හෝ මහා පරිමාණයේ උත්ස්ව කිසිවක් නොපවත්වන ලෙසයි.

ඒ අතරවාරයේ මෙවර දීපාවලී උත්සවය නිමිත්තෙන් මෙම කෝවිලේ මහා පරිමාණයෙන් පොංගල් උත්සවයක් පැවැත්වීම පිණිස විදුලි ජනක යන්ත්‍ර ශබ්දවාහිනී යන්ත්‍ර ආදිය රැගෙන යමින් සිටියදී පූසාරීවරයා ඇතුළු පිරිස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. පොලිස් බාරයේ සිටින පූසාරිවරයාගෙන් පොලිසිය ප්‍රශ්න කරගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment