නීති කඩා ම`ගුල් කනවාට මේරියන්ස් නලින් ‘කොක්ක’ අදී

973

විවාහ මංගල උත්සව සඳහා ලබාදුන් අවසරය සෞඛ්‍ය නීති රීතීන්ට අනුගතවෙමින් හෝටල් සහ සංගීත කණ්ඩායම් භාවිත නොකරන්නේ නම් තමා මැදිහත්ව නැවත එය තහනම් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා මහතා පැවසීය.
 
 කොරෝනා වසංගතය හේතුවෙන් හෝටල්හි විවාහ මංගල උත්සව පැවැත්වීම සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් මාස ගණණාවක් තහනම් කර තිබූ බවත් ඉන් මංගල සේවා සැපයීම් අංශයේ නිරත වන්නන්ට ඇති වූ බලපෑම හමුවේ හෝටල් සහ සංගීත කණ්ඩායම්වල ඉල්ලීම මත තමා මැදිහත් වී නැවත මංගල උත්සව පැවැත්වීමට සහ ගෘහස්ථ සංගීත ප‍්‍රසංග පැවැත්වීමට අවසර ලබාගත් බවත් පැවසූ නලීන් පෙරේරා මහතා එහෙත් සෞඛ්‍ය නීති තීන්වලට අනුගත නොවී ඇතැමුන් කටයුතු කරන බවට සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ යුද හමුදාපතිවරයා තමාට දුරකථනයෙන් දැනුම් දුන් බව කීවේය.
 
 ඇතැම් හෝටල්, සංගීත කණ්ඩායම් සහ ඞීජේ කණ්ඩායම් මෙම අවසරය නිසියාකාරව භාවිත නොකරන ආකාරය ඡායාරූපවලින් සහ වීඩියෝ මගින් පෙන්වා දුන් බවත් එවැනි හෝටල් වසා දමන ලෙසත් සංගීත කණ්ඩායම්වල ප‍්‍රසංග තහනම් කරන ලෙසත් තමා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් නලින් පෙරේරා මහතා සඳහන් කළේය.
 
 සියලූ දෙනා ආත්මාර්ථකාමී නොවී වගකීමෙන් කටයුතු කළ යුතු බවත් එසේ නොවුණහොත් තමාට කතා කරන්නේ ජනාධිපතිවරයා බවත් කී නලින් පෙරේරා මහතා එවැනි තත්ත්වයක් මත නිසි ලෙස කටයුතු නොකළහොත් විවෘත කිරීමට අවසර ගත්තා සේ තමා මැදිහත් වී වසා දැමීමටත් බලධාරීන්ට දැනුම් දෙන බවත් එදාට එය නතරකිරීමට කාටවත් බැරි බවත් සඳහන් කළේය.
 
 මංගල උත්සව පැවැත්වීමේදී ජනතාව හසුරුවාලීමේ
 
 වගකීම සම්පූර්ණයෙන්ම හෝටල් සංගීත කණ්ඩායම් විසින් සිදුකළ යුත්තක් බවද එසේ නොකළහොත් නැවත වරක් රට වැසීමට සිදුවන බවට බලධාරීන් තමාට දැනුම් දුන් බවද නලින් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 
 අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment