පක්‍ෂ සම්මේලනයක් පවත්වා එජාප ව්‍යවස්ථාව වෙනස් කරනවා – සභාපති වජිර කියයි

147

පවතින තත්ත්වයෙන් ඉදිරියට රට ගෙන යෑමට නම් වෙනසක් අවශ්‍ය බවත්, එහි මුල්ම පියවර ලෙස එක්සත් ජාතික පක්‍ෂ සම්මේලනයක් පවත්වා පක්‍ෂ ව්‍යවස්ථාව වෙනස් කරන්නට තීරණය කර ඇති බවත් එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

1978 ජේ. ආර්. ජයවර්ධන මහතා ජනාධිපති වෙලා 1978 දී එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථාව වෙනස් කළා. එක්සත් ජාතික පක්‍ෂයේ ව්‍යවස්ථාවට ඇතුළත් කළා එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකයෙක් ජනාධිපති වන්නේ ද ඔහු එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා වන්නේය කියන සංශෝධනය. 1987 දී පක්‍ෂ ව්‍යවස්ථාවට පටහැනිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළා. එහි ප්‍රතිඵලයක් හැටියට අපට බලය අහිමි වුණා. සමහරු නොදැන කියනවා ජේ. ආර්. ජයවර්ධන මහත්තයා මනාප ක්‍රමය හඳුන්වලා දුන්නා කියලා. එය සම්පූර්ණ වැරදියි. මනාප ක්‍රමය හඳුන්වලා දුන්නේ ආර්. ප්‍රේමදාස මැතිතුමයි.

1987 අපේ පක්‍ෂ සම්මේලනය පැවැත්වුණේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීයි. ඒ කාලයේදී පාර්ලිමේන්තුව කැඳවලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළා. ඒ අනුව මනාප ක්‍රමය හඳුන්වලා දුන්නා. මනාප 3 ක්. සිංහල අය බෙදුණා. දෙමළ අය බෙදුනා. මුස්ලිම් අය බෙදුනා. ආගම අනුව බෙදුනා. කුල අනුව බෙදුනා. ජාතිය විනාශ වුණා. ඒ විනාශ වෙච්ච ජාතිය වෙනස් කරන්න අලුත් මඟක් අවශ්‍යයි. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. අලුත් පක්‍ෂ ව්‍යවස්ථාවක් අවශ්‍යයි. රනිල් වික්‍රමසිංහ නමැති ජාතික නායකයා බෙදුනු, වැනසුණු ජාතිය නැවත නඟාසිටුවන්නේ කොහොමද කියලා කල්පනා කරනවා.

ඒ අනුව අප විසින් මේ බලමණ්ඩල පිහිටුවලා ජූලි මාසයේදී රනිල් වික්‍රමසිංහ නායකතුමා විසින් පක්‍ෂ ව්‍යවස්ථාව වෙනස් කරන්න තිබෙනවා. ඊට පසුව රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් වෙනස් කළ යුතුයි. රට වැනසී තිබෙනවා. විනාශ වෙලා තිබෙන රටක් ගොඩනඟන්න හොඳ පක්‍ෂ ව්‍යවස්ථාවක් වගේම හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකුත් අවශ්‍යයි යැයි ද ඔහු කීය.

රජය ව්‍යාපාරවලින් ඉවත් විය යුතුයි. ශ්‍රී ලංකාවේ එදා සිටි අදානිලා නැති කර ගත්තා. ලංකාවේ මහා පොහොසතකු වූ ගාල්ලේ අමරසූරිය වැනි අය හිටිය. එවැනි අය සතුව තිබූ බස් සේවා ජනසතු කළා. දුප්පත්කම නැති කළ යුත්තේ ඔවුන් කෙරෙහි දුප්පතා තුළ වෛර ඇති කිරීමෙන් නොවේ. එවැනි වෛරයන් වසර 75 ක රට ආපස්සට යෑමටත් හේතු වුණා. ගාල්ල සහ හබරාදුව එජාප බල මණ්ඩල රැස්වීම අමතමින් ඔහු එසේ කීවේය.
චමින්ද සිල්වා, ගාල්ල – ලලිත් චාමින්ද, රවින්‍ද්‍ර චන්‍ද්‍රලාල් සහ සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment