ප්‍රශ්න දාගන්න අකැමැති – ප්‍රවීණා

164

ගීතිකාට වඩා සිතාරා හරි වෙනස් – ප්‍රවීණා දිසානායක

පසුගිය කාලයේ විකාශය වුණු නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ගීතිකාගේ චරිතයෙන් ඔබ හමුවට පැමිණි ඇය, නමින් ප්‍රවීණා දිසානායක. මේ දිනවල ප්‍රවීණාව දකින්න ලැබෙන්නේ ජයප්‍රකාශ් ශිවගුරුනාදන්ගේ සර්කස්කාරයෝ ටෙලි නාට්‍යයේ සිතාරා ලෙසින්. ඉතිං ගීතිකාගේ ඉඳලා සිතාරාට මාරු වුණාම ප්‍රවීණාට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද කියල දැනගන්න අදහස් කළා.

● සිතාරා, සර්කස්කාරයෝ හි අත්දැකීම් මොන වගේද?

ඇත්තටම සතුටුයි. නැවතත් ජයප්‍රකාශ් ශිවගුරුනාදන් සහ සද්ධාමංගල සූරියබණ්ඩාර කියන දෙපළගේම නිර්මාණයකින් දකින්න ලැබීම ඇත්තටම සතුට දනවන කාරණාවක්. ඉතිං නාඩගම්කාරයෝ ගීතිකාට වඩා සර්කස්කාරයෝ හි සිතාරා හරි වෙනස්.

ප්‍රශ්න දාගන්න අකැමැති - ප්‍රවීණා

● සිතාරා හරි නපුරුයි කියල කවුරුවත් කියන්නේ නැතිද?

නපුරුම නෙමෙයි. සාමාන්‍යයෙන් අක්කලා, නංගිලා, අක්කලා, මල්ලිලා අතරේ පොඩි පොඩි රණ්ඩු තියෙනවානේ, ඒක සාමාන්‍ය දෙයක්. ගොඩක් දෙනෙක් චරිතයට හොඳ කියලා තිබුණා. බලමු, ඉස්සරහට බනීවිද දන්නෙ නැහැ.

● නාඩගම්කාරයෝ හි ගීතිකාගෙන් පස්සෙ මොනවද කළේ?

ඊට පස්සෙ මම නිර්මාණ කිහිපයකම හිටියා. හැබැයි සර්ක්කාරයෝ හි සිතාරාගේ චරිතය ඉස්මතුවීමක් තියෙනවා. මේ චරිතය වෙනස්ම එකක් හින්ද ගොඩක් දෙනෙක් කතා කරනවා.

● මගතොටේදී යනකොට ප්‍රවීණාට ලැබෙන ප්‍රතිචාර?

මාව හඳුනාගත්තාම අපි ඔයාගේ නාට්‍ය බලනවා කියල කියනවා.

ප්‍රශ්න දාගන්න අකැමැති - ප්‍රවීණා

● කට්ටිය තවමත් නාඩගම්කාරයෝ හි ‘ගීතිකා’ව මතක් කරනවාද?

අම්මෝ ඔව්. ඒ චරිතයට ගොඩක්ම ආදරය ලැබුණනේ. තවමත් මම ප්‍රවීණා කියලා දන්නවා වුණත් ගීතිකා කියල කතා කරන අවස්ථා ඕනෑ තරම් තියෙනවා.

● ප්‍රවීණාගේ ජීවිතයට ගීතිකාව දැනුණෙ මොන විදිහට ද?

ගීතිකා මට ගොඩක් සමීපයි. මගේ ජීවිතයේ ගීතිකා කියන්නේ එක්තරා හැරවුම් ලක්‍ෂ්‍යයක්. ගීතිකා කියන චරිතයට මම හරි ආදරෙයි.

● ගීතිකාව හම්බවුණේ නැතිනම් ප්‍රවීණා මොනවා කරයි ද?

ගීතිකාව හම්බවුණේ නැතිනම් අධ්‍යාපන කටයුතු කරගෙන ඉඳීවි.

● රඟපෑම වෘත්තියක් කරගෙන ද තියෙන්නේ?

ඇත්තටම එහෙම නැහැ. මම තවම අධ්‍යාපනය හදාරනවා. තව අවුරුද්දක් වගේ කාලයකින් පස්සෙ මගේ උපාධියේ වැඩකටයුතු අවසන් වෙනවා. මොකක්ද මගේ වෘත්තිය කියන කාරණාවට තවම මගේ අදහසක් නැහැ.

● උපාධිය ගත්තට පස්සෙ මොනවද කරන්න හිතාගෙන ඉන්නේ?

උපාධියට සරිලන රැකියාවක් කරන්න ආසයි.

● එතකොට රංගනය?

රංගනයට මම හරි ආදරෙයි. නමුත් ගොඩක් වෙලාවට රංගනය මගේ ෆැෂන් එක විදිහටයි මම දකින්නේ.

● පවුලේ එකම දරුවා රඟපානවාට ගෙදරින් විරුද්ධ වුණේ නැතිද?

එහෙම විරුද්ධත්වයක් නැහැ. ගෙදරින් මට හොඳ සහයෝගයක් ලැබෙනවා. මගේ හැම දෙයකටම අම්මයි අප්පච්චියි පිටිපස්සෙන් ඉන්නවා. ඉතිං ඒ දෙන්නගෙ හයිය මට තියෙනවා.

● රංගන ක්‍ෂේත්‍රයට එන්න ලැබීම ගැන මොකද හිතන්නේ?

ඇත්තටම සතුටුයි. මම පුංචි කාලෙ ඉඳල කලාවත් එක්ක හැදුණු වැඩුණු කෙනෙක්. නර්තනය තමයි ගොඩක් වෙලාවට කළේ.

● දැන් නර්තන වැඩකටයුතුවලින් ඈත් වෙලාද?

ඈත් වෙලා නැහැ. නමුත් හැදෑරීමක් කරන්නේ නැහැ. ඒ කොහොම වුණත් නර්තනයේ යෙදෙනවා.

● ප්‍රවීණාට වැඩිපුර ආරාධනා ලැබෙන්නෙ ‘ගීතිකා’ වගේ චරිතවලට ද?

ගොඩක් ආරාධනා ලැබුණා. ඒ චරිත කරගෙන යනකොට කොහොමත් එකකට එකක් වෙනස්. ඒක ලොකු ගැටලුවක් වෙලා නැහැ. අනික මම චරිත එහෙම වර්ගීකරණය කරන්නෙ නැහැ. මට ලැබෙන ඕනෑම චරිතයකට සාධාරණයක් ඉෂ්ට කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අනික මම ආසයි වෙනස් චරිත රඟපාන්න.

● ලැබෙන ජනප්‍රියත්වය ගැන අදහස?

ඇත්තටම සතුටුයි. ප්‍රේක්‍ෂකයන්ගේ ආදරය මම දකින්නේ වාසනාවක් විදිහට. ඒ ආදරය ලබන්න අපි ගොඩක් මහන්සි වෙන්න ඕනෑ.

● ප්‍රවීණා දකින සිහින මොනවද?

මගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන ක්‍ෂේත්‍රයේ ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.

● පසුගිය කාලය දෙස ආපසු හැරී බැලුවොත්?

සතුටුයි. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අත්දැකීම් ලැබුවා. ඒවත් එක්ක මම අද ඉන්න තැන ගැන ඇත්තටම සතුටු වෙනවා.

● කැපිලි කෙටිලිවලට මුහුණ දීල තිබෙනවාද?

එහෙම නැහැ. ගොඩක් වෙලාවට මම හැමෝමත් එක්කම සුහදව වැඩකරන කෙනෙක්. එහෙම දරුණු විදිහට කැපිලි කෙටිලි නම් ඇවිත් නැහැ.

● ප්‍රවීණා ප්‍රශ්න දාගන්න අකමැති ද?

ඔව්. මම හැමෝමත් එක්ක හොඳින් හිනාවෙලා ඉන්නවා. ඉතිං මම සාමාන්‍යයෙන් එහෙම ප්‍රශ්න ඇතිකරගන්නේ නැහැ. දැනට මට එහෙම ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලත් නැහැ.

● විලාසිතාවලට කැමතිද?

පුංචි කාලෙ ඉඳල මම ලස්සනට ඇන්දා. ඒක මම අදටත් ඒ විදිහටම කරනවා. තැනට ගැළපෙන විදිහට තෝරගෙන කරනවා.

● පෙනුම රැකගන්න මොනවද කරන්නේ?

එහෙම විශේෂ දෙයක් කරන්නෙ නැහැ. සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා.


මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment