පාපැදියට හුළං ගහන්න ගිය දරුවා කෙළෙසූ දෙදරු පියා දාහත් අවුරුද්දක් දඟගෙට

162

ලුණුගම්වෙහෙර මුවන්වැවදී පාපැදියට හුළං ගහන්න පොම්පයක් ඉල්ලා ගැනීමට අසල නිවසකට ගිය බාලවයස්කාර සිසුවකු බරපතළ ලෙස ලිංගික අපයෝජනය කළ 54 හැවිරිදි දෙදරු පියෙකුට රුපියල් 19,000ක දඩයක්, රු. 40,000ක වන්දියක් හා වසර 17ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් හම්බන්තොට මහාධිකරණය ඉකුත් 09 දා නියම කෙරුණි.

මෙලෙස දඩ, වන්දි හා සිරදඬුවම් නියම වූයේ ලුණුගම්වෙහෙර මුවන්වැව පදිංචි 54 හැවිරිදි අජන්ත කුමාර රත්නායක නමැති දෙදරු පියෙකුටය.

11 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවෙකු සිය පා පැදියට හුළං ගැහීමට අසල පිහිටි චූදිතගේ නිවසකට ගොස් තිබේ. එහිදී චූදිත පුද්ගලයා හුළං ගහන්න පොම්පය ගේ ඇතුලේ ඇති බව පවසා බාලවයස්කාර දරුවා ගේ තුළට ගිය පසු ඔහුව බලහත්කාරයෙන් නිවසේ කාමරයක් තුළට රැගෙන ගොස් අපයෝජනය කර තිබේ. අදාළ චූදිත පුද්ගලයා මෙම බාලවයස්කාර දරුවා අපයෝජනය කිරීමෙන් පසු ඒ පිළිබඳව කිසිවෙකුටත් නොපවසන ලෙසත්, කිසියම් අයෙකුට මේ පිළිබඳව කිව්වොත් මරා දමන බවටද තර්ජනය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දරුවා සිය දෙමාපියන් දැනුවත් කිරීමෙන් පසු සිද්ධිය පිළිබඳව ලුණුගම්වෙහෙර පොලිසියට පැමිණිලි කර තිබේ.

පළමු චෝදනාව සඳහා වසර 01ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ අතර රු. 5000ක දඩයක් නියම කෙරිණි. චූදිත දඩ නොගෙවන්නේ නම් මාස 06ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරිණි. 02 හා 03 චෝදනා සඳහා වසර අට බැගින් වසර 16ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරිණි. මීට අමතරව රු. 7000 බැගින් 14000ක දඩයක්ද නියම කෙරුණු අතර දඩ නොගෙවන්නේ නම් මාස 08 බැගින් මාස 16ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරිණි.

ඉහත දඬුවම්වලට අමතරව අගතියට පත් බාලවයස්කාර දරුවාට රු. 40,000ක වන්දි මුදලක් ගෙවන ලෙසටත් චූදිතට නියම කෙරුණු අතර එම වන්දි මුදල නොගෙවන්නේ නම් ඉහත දඬුවම්වලට අමතරව තවත් වසර 02ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි. 1, 2 හා 3 චෝදනා සඳහා චූදිතට නියම කෙරුණු මූලික සිරදඬුවම් වසර 08කින් සමගාමීව ගෙවී යා යුතු බවටද මහාධිකරණ විනිසුරු වරයා බන්ධනාගාර අධිකාරීවරයාට නියම කෙරුණි. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ අනුරාධ විජේසුරේන්ද්‍ර මහතා පෙනී සිටියේය.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment